බැසිල් රාජපක්ෂ මහත්තයගෙ ප්‍රධානත්වයෙන් පරිසරය රැකීම සම්බන්ධ කමිටුවක් පත්වුණාය කියලා අපි මුලින්ම දැනගත්තේ අපේ මතකය නිවැරැදි නම් මැයි මාසේ 10 වැනිදා. දෙශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම අරමුණු කරගෙනයි මේ කමිටුව පත් කළේ. එහෙම පත් කරලා ඒ අයගේ බලය අඩුවෙලාද වැඩි වෙලාද මොනව වෙලාද කියලා නොදන්න කාලෙක ආයෙත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මේ වගේ පියවරකට ඇවිල්ලා තියෙනවා.
ඒ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ අරමුණෙන්මයි.
මේ කමිටුව පත් කරලා තියෙන්නේ ඇත්තමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් යුතු කාර්යසාධක බලකායක් විදියට. මේ කාර්යසාධක බලකායට කැබිනට් අමාත්‍යවරු පස්දෙනෙක්, ආණ්ඩුකාරවරියක්, රාජ්‍ය අමාත්‍යවරු 14 දෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සාමාජිකයො 46 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වෙලා තියෙනවා. මේ කණ්ඩායමට විවිධ රාජකාරි පැවරිලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා. ඒ අතරතුර නැගී එන ගෝලීය ආර්ථික රටාව තුළ ඉහළ වාසිදායක තත්ත්වයක් රටට හිමිකර දීම, පරිසර හිතකාමී සමාජ ආර්ථික රටාවකට ජනතාව පෙළගැස්වීම ඇතුළු පරිසර හිතකමී කාරණා රැසක් සාක්ෂාත් කරගැනීම අරමුණු කොටගෙන තියෙන්නෙ. පරිසරය සුරැකීම වෙනුවෙන් ගොනුකළ කරුණු 24ක් කෙරෙහි මේ කණ්ඩායම විශේෂ අවධානය යොමුකරන්න නියමිතයි. කෘෂිකර්මාන්තය සඳහා රසායනික පොහොර, කෘමිනාශක, වල් නාශක වෙනුවට කාබනික පොහොර නිෂ්පාදන භාවිත කරමින් පූර්ණ වශයෙන් කාබනික පොහොර ගොවිතැනක් දීප ව්‍යාප්තව පවත්වාගෙන යෑමත් මේ අයගෙ කාර්යයක්. මේ විදියට පරිසරය සම්බන්ධව නිශ්චිත පියවර ගැනීමත් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම සිද්ධ වෙන දෙයක්. හැබැයි මේ විදියට මුළු ලෝකෙම මේ කාරණාව සිද්ධ වෙන අතරතුරේ අපේ කට්ටිය ගන්න තීන්දු තීරණ පිළිබඳ යම් කිසි ගැටලුවක් තියෙනවා කියලා සමහර අය කියනවා. අන්න ඒ ගැනත් අපට කතා කරන්න මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි නිතර නිතර කමිටු පත් කළාට, නිතර නිතර කණ්ඩායම් පත් කළාට ඒවායෙන් සාර්ථක විසඳුම් ලැබෙන්නේ නැත්නම් ඒවා හැමදාමත් සුදු අලි බවට පත්වෙනවා කියලයි අපේ අදහස.
ඒ නිසා මේ තත්ත්වයන් යටතේ මේ විදියට පත් කරන, මේ විදියට නම් කරන කණ්ඩායම්වලින් නිවැරැදි පියවර ගන්න පුළුවන්ද, ඒ වගේම මේ කණ්ඩායම්වල ඉන්නේ නිවැරැදි පියවර ගත හැකි පිරිසක්ද කියලත් අපට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා.
මේ හරිත බළකාය නමින් නම් කරපු කට්ටියට ඇත්තටම මොකද වුණේ කියලත් අපට ටිකක් හොයලා බලන්න සිද්ධ වෙනවා. මේ සඳහා ආමි එකේ හිටපු ප්‍රධානියෙක් පත් කරලා එතුමට මේ රාජකාරිය පවරපුවාම ඒගොල්ලන්ට මේ සම්බන්ධව හරි අවබෝධයක් තියෙනවද නැත්නම් හරි අවධානයක් යොමු කරන්න පුළුවන්ද කියන එක අපේ බලධාරීන් මීට වඩා කල්පනා කරන්න ඕනෙ කියලත් අපට හිතෙනවා.
අලුතින් පත්කරපු හරිත බලකායෙ ප්‍රධානියා විදියට ජනාධිපතිතුමා පත්කරල තියෙන්නේ හමුදාවේ හිටපු මේජර්වරයෙක් වන විජිත් වැලිකල. හැබැයි ඒ ගැන නම් ගැසට් එකේ මොනවත් සඳහන් වෙන්නෙ නෑ. විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ගැන කිව්වාම තමයි හැමෝම දැනගත්තෙ මෙතැනටත් දාලා තියෙන්නේ හමුදාවේ හිටපු කෙනෙක් කියලා.
ජෝ බයිඩ්න් පත්වෙලා ආපු අවස්ථාවෙදි ‘ක්ලයිමේට් චේන්ජ් එක’ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න කණ්ඩායමක් පත් කළා. ඒ, ජෝන් කෙරි, හිටපු රාජ්‍ය ලේකම්තුමාගෙ ප්‍රධානත්වයෙන්. ඇල්ගෝ කියන ප්‍රධානියාගේ රැකවරණය සහ ඇල්ම බැල්ම සහිතවයි මේ කමිටුව ක්‍රියාත්මක වුණේ. ඇල්ගෝ තමන්ගෙ රටේ ඉතා ප්‍රකට පුද්ගලයෙක් බවට පටන් අරගන්නේ දේශගුණ විපර්යාස සම්බන්ධව ඉතා සංවේදීව ඔවුන් කරුණු කාරණා හොයන්න ගත්ත නිසා. මේ කණ්ඩායමට ජෝන් කෙරිගෙ යටතෙ පත් කරපු සියලු දෙනා පරිසරය සහ ඊට අදාළ පර්යේෂණ සම්බන්ධව ඉන්න උගතුන්. එහෙම උගතුන් සහිතව තමයි ඔවුන් මේ සංකල්පය දියත් කරන්න පටන් අරගත්තේ. පහුගිය දවසක බි්රතාන්යයත් මේ විදියටම අලුත් හරිත ව්‍යාපෘතියකට පණ පොවන්න පටන් අරගත්තා. ඒ ගැන ඔවුන් පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් කතාබහ කරන්නත් පටන් ගත්තා. මේ සංකල්පයත් අපට ඇත්තටම බැලූ බැල්මට පේන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් ක්‍රියාත්මක කරන්න බලන හරිත සංකල්පයටම සමාන එක්ක විදියටයි. ඒ හරිත සංකල්පය, මේ හරිත සංකල්පයත් අතර තියෙන සමානතාව තමයි ඔවුන් හැම වෙලාවෙම පරිසර ආරක්ෂාකාරී, ඕසෝන් වියන සුරකින, ග්ලැසියර් දියවීම සිදු නොවෙන ආකාරයට කටයුතු කරන ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම. හැබැයි මේ කටයුත්ත කොහොම වුණත් ඒ ව්‍යාපෘතීන් දෙකේම අරමුණ එකක් වුණත් ඉලක්කය එකක් වුණත් පොඩි වෙනසකට තියෙන්නේ බි්රතාන්යය මේ සංකල්පය සාක්ෂාත් කරගන්න සූදානම් වෙලා තියෙන්නෙ 2050 අවුරුද්දෙදි.
හැබැයි අපි දැනටමත් පොහොර ගෙන්වීම නතර කරලා ඉවරයි. අපි දැනටමත් මේ සඳහා වැඩකටයුතු කරගෙන යන්න පටන් අරගෙන ඉවරයි. අපි ඉලෙක්ටි්රක් වාහනවලට ගියාට, අපිට ඉලෙක්ටි්රක් වාහනවලින් යන්න පුළුවන් කමක් තියෙනවද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි අපිට මේ වෙනකොට ඉලෙක්ටි්රක් වාහනයකින් යාපනයට යන්න විදියක් නෑ. ඒකට හේතුව යාපනයට යන්න කලින් ඉලෙක්ටි්රක් වාහනයෙ බැටරිය බහිනවා. එහෙම වුණාට පස්සේ බැටරිය චාර්ජ් කරගැනීම සඳහා චාර්ජින් ස්පොට්ස් ශ්‍රී ලංකාවෙ පිහිටුවලා නෑ. හයිවේ එකෙන් කටුනායකින් ඇතුළු කරන වාහනයක් මාතරින් නැත්නම් මත්තලින් එළියට දාන්න කලින් වාහනය චාර්ජ් කරගන්න පොයින්ට් එකක් අපි නිර්මාණය කරලා නෑ. ඒ නිසා අපි ග්රීන්ට් කන්සෙප්ට් එක ගැන කතා කළාට ඉලෙක්ටි්රක් වාහන ලංකාවට ගෙනාවට අවසානයෙ සිද්ධ වුණේ ඉලෙක්ටි්රක් වාහනයෙ කඩේට පොළට යන්න තියාගෙන, දුර ගමන් යන්න තවත් වාහනයක් ඒ අයට ගන්න සිද්ධ වෙච්ච එක. ඉලෙක්ටි්රක් වාහනවල මිල බැහැලා, ඒවා අලෙවි කරගන්නත් බැරි බෙලා. අද වෙන කොට පොහොර සම්බන්ධව දියත් කරන ඉතාම හොඳ හරිත සංකල්පය ශ්‍රී ලංකාවේදි ඔඩුදුවපු ප්‍රශ්නයක් බවට පත්වෙලා ඉවරයි.
කොහොම වුණත් කවුරු කිව්වත් නොකිව්වත් පරිසරය ආරක්ෂා කරන එක අපේ වගකීමක්. මොකද අපි පරිසරය ආරක්ෂා කළොත් තමයි පරිසරය අපිව ආරක්ෂා කරන්නේ. පරිසරය ආරක්ෂා කරන්න ගහක් හිටවන එක, ගහක් කපන එක නතර කරන එක, යන එන කොට පරිසරයට ටොෆි කොළයක් නොදා ඉන්න එක, වාහනයෙන් කළු දුමක් එනවා නම් ඒක නිවැරැදි කරගන්න එක ඔබේ වගකීමක්. ඒකට ජනාධිපතිතුමාටවත්, ලෝකයෙ බලධාරීන්ටවත් වෙන කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. හැබැයි පරිසරය අපිව ආරක්ෂා කරනව වගේම අපිත් පරිසරය ආරක්ෂා කරන්න ඕනෙ.
ජීවන පහන් තිළිණ










