නාගදීපය කියූ සැණින් අපේ මතකයට නැඟෙන කාරණයක් තියෙනවා. ඒ තමයි බුදුන් වහන්සේ දෙවැනි වරට ලංකාවට වැඩම කළේ නාගදීපයට කියන එක. හැබැයි මේ තරම් කාලෙකට ඒ විශේෂ සිදුවීමත් සමඟ අපි කතාබහ කළේ යාපන අර්ධද්වීපයේ ඇති නාගදීප පුදබිම ගැන. මේ වෙනකොට එම සිතුවිල්ලට යම් අභියෝගයක් එල්ල කරන්නට හැකි ඉතිහාසගත තොරතුරු හා ජනප්‍රවාදයන් රැසකින් යුතු විශේෂ ස්ථානයක් මහියංගනය ප්‍රදේශයෙන් මතු වී තිබෙනවා. ඒ තමයි මහියංගනය රිදීමාලියද්දට අයත් නාගදීප විහාරස්ථානය. මෙතරම් කාලයක් රහසේ සැඟවී තිබුණු මහියංගනය නාගදීපය කියන්නේ මහා අනුහස් ඇති බලවත් ඉසව්වක් ලෙස විවිධ ජනප්‍රවාද ඇසුරින් මේ වන විටත් හෙළිවී තිබෙනවා.
බුදුන් වහන්සේ පළමු වතාවට මහියංගනයට වැඩම කරලා ආපසු යළිත් වතාවක් ඒ කියන්නෙ දෙවැනි වතාවට මහියංගනයේ නාගදීපයට නොවැඩියා හෝ එසේ විය නොහැකි යැයි තර්ක කිරීමත් අපහසුයි.
කෙසේ නමුත් මහියංගනය නාගදීප පුදබිම කියන්නේ විස්මිත අනුහස් පිරුණු ඉසව්වක් ලෙසත් බොහෝ දෙනකු හඳුන්වනවා. අක්කර හතරකට ආසන්න ඉඩකඩකින් යුතු මෙම භූමිය නාගදීප වැවෙන් වටවෙලා තිබෙන්නේ. එයින් විශේෂ ආරක්‍ෂාවක් වගේම අලංකාරයකුත් එකතු වෙනවා. මෙහි ඉතිහාස කතාව සොයාගෙන යන කෙනකුට කාවන්තිස්ස සහ දුටුගැමුණු රජ සමයන් අමතක කළ නොහැකියි. යුදමය කටයුතුවලදී හා වෙනත් භාරධුර කටයුතු කාරණාවලදී දුටුගැමුණු රජු බාරහාර වුණෙත් මේ පුදබිමට බවට මතයකුත් තිබෙනවා.
පෙර රජ දවසටත් ඈත ඉතිහාසයේ සිටම නාග ගෝත්‍රික ජනයා මෙහි ජීවත් වූ බවත්, එනිසා මෙම ප්‍රදේශය නාගදීපය ලෙස හඳුන්වා ඇති බවත් පැවසෙනවා. එමෙන්ම විවිධ ආලෝකයන්, රශ්මි ධාරාවන් මෙන්ම කිරණ විහිදුවන නාගයන් සිටි හෙයින් මෙයට නාගදීපය ලෙස නම් ලැබුණු බවට තවත් ජනප්‍රවාදයකින් කියැවෙනවා. නාගදීප වැවෙන් ආරක්‍ෂිතව ඇති මෙම භූමිය දුටුගැමුණු රජ සිය සේනාවට සටන් පුහුණුව ලබා දීමට භාවිත කළ බවටත් විවිධ ජනප්‍රවාදයන්ගෙන් හෙළි වෙනවා.
ඊළඟට නාගයන් සහ නාග ගෝත්‍රිකයන් සම්බන්ධ ජනප්‍රවාද තුළ ඇති කරුණු කාරණා සත්‍ය බවට පසක් කරදෙන විශාල ප්‍රමාණයේ තුඹස් මෙම භූමිය පුරාම දක්නට ලැබීම විශේෂ දෙයක්. ඒත් සමඟම මෙම භූමියේ පූජනීය වටිනාකම ඒත්තු ගන්වන ප්‍රබලම සාධකය වෙන්නේ, ගරා වැටෙමින් ඇති චෛත්‍ය ද්විත්වයයි. ඉන් එක් චෛත්‍යයක් තරමක් කුඩා වුවත් අනෙක් එක අතිවිශාලයි. ජනප්‍රවාද සහ මූලාශ්‍රවලට අනුව නම් පොඩි චෛත්‍ය හදවලා තිබෙන්නේ දුටුගැමුණු රජුයි.
මහා පස්කන්දක් සේ දුරට දිස්වන විශාල චෛත්‍ය අසල කුඩා බුදුමැඳුරකුත් දකින්න තිබෙනවා. මෙහි තවත් විශේෂත්වයකුත් තියෙනවා. ඒ තමයි විහාරගොඩ කියන කන්ද. එයට නැග්ගාම අපට මෙම චෛත්‍යයේ ඉහළ කොටස දැකගන්න පුළුවන්. ඒ වගේම විහාරකන්ද පාමුල ඉදිකර තිබුණා යැයි අනුමාන කෙරෙන විහාරයේ නටබුන්ද අද දක්නට ලැබෙනවා.
විවිධ අවස්ථාවන්හී මෙම භූමිය සංරක්‍ෂණයට කටයුතු සූදානම් වී ඇතත් ඒ සියලුම අවස්ථාවන් ඉතාමත් අද්භූත හෝ විශ්මය දනවන ආකාරයට වැළකී හෝ ව්‍යර්ථ වී ගිය බවකුත් පැවසෙනවා. එවැනි අවස්ථාවන් සිහිපත් කරන පිරිස් පවසන ආකාරයට එක්තරා අවස්ථාවක මෙම ස්ථානයට සංරක්‍ෂණ කටයුතු සඳහා පැමිණි ඩෝසර් රථයක් හදිසියේ නොසිතූ ආකාරයට ගිනිගෙන දැවී තිබෙනවා. එවැනි සිදුවීම් රාශියකින් මෙහි සංරක්‍ෂණ කටයුතු යටපත්ව ඇත්තේ විශේෂ හාස්කමකින් බවටයි ජනතාවගේ විශ්වාසය.
කෙසේ නමුත් වාර්ෂිකව පුණ්‍ය උත්සව 7ක් පැවැතියා යැයි කියන මේ විහාරස්ථානයට ගම් හතකින් පෙරහැර 7ක් පැමිණි බවත් පැරැන්නන් සිහිපත් කරන කාරණයක්.
මේ කරුණු කාරණා සමඟ තවත් විශේෂ දේකුත් මතුවෙනවා. ඒ තමයි යාපනයේ නාගදීපය කියන ස්ථානයට වඩා මහියංගනය නාගදීපය ඉසව්ව නාගයන් නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ තොරතුරු සහ ස්ථාන රාශියකින් සමන්විත වීම. ඊළඟට සොළොස්මස්ථාන වන්දනා ගාථාවත් මේ මොහොතේ කෙනකුට මතකයට එන්න පුළුවන්. ඒ තමයි ‘මහියංගනං නාගදීපං’ කියන කොටස. එහෙම බලද්දී බුදුන් වහන්සේ වැඩිය නාගදීපයේ මහියංගනය නාගදීපය නෙවෙයි කියලා තර්කයක් ගේන්න කිසිවකුට බැහැ.
ඉදිරියේදී මේ කාරණාවල සත්‍ය අසත්‍යතාව හෙළිදරව් කරන තවත් කරුණු හමුවනු ඇතැයි අද වෙද්දි බොහෝ දෙනකු අවබෝධ කරගෙන සිටින බවකුත් පෙනෙන්නට තිබෙනවා. එහෙයින් වැඩි කලක් නොගොස් බුදුපා පහස ලද සැබෑ නාගදීපය කුමක්ද යන්නත් හෙළිවනු ඇතැයි අපද බලා සිටිමු.
කුමාර රත්නායක











