පුත්තලම සිට අනුරාධපුර මාර්ගය ඔස්සේ අනුරාධපුර දෙසට ගමන් කරන විට අපට හමුවන 17 කණුව හංදියෙන් වමට හැරී කිලෝ මීටර් 12ක් පමණ දුරක් ඝන වනාන්තරය මැදින් ගමන් කිරීමේදී ප්‍රථමයෙන් අපට හමුවන්නෙ ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් කැටිවූ පුරා විද්‍යාත්මක වටිනාකමකින් සමන්විත විලදගොඩ රජමහා විහාරස්ථානයයි.
මෙම විහාරස්ථානය ක්‍රි.ව. 4-5 වැනි කාලවලදී පෙර රජ දවස ඉදිවන්නක් බවට ඉපැරණි ඉතිහාස ග්රන්ථ සාක්ෂි සාධක මනාව හෙළිදරව් කරති.
මෙය සාලිය අශෝක මාලා සැඟව සිටි ලෙන ලෙස ජනවහරේ හැඳින්වේ.
ශිලා ලිපි දහයකට අධික ප්‍රමාණයක් මෙහි සටහන්ව ඇති අතර, පොදුවේ වහරල මිදීමේ ලිපි වශයෙන් හඳුන්වනු ලබන මේවා බොහෝ විට පඩි පේළි අසල සටහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතයට අනුව වහරල මිදීම යනු වහලුන් වහල් භාවයෙන් මිදවීම යන්න ඔහු විසින් අර්ථකථනය කර තිබේ.
දුටුගැමුණු රජු තම පුතණුවන් බැහැදැකීමට පැමිණි මොහොතේ විලඳ සමඟ මී පැණි ලබාදීම නිසාවෙන් එහි තිබූ විලඳ ඇට හා සමානව වෙහෙර විහාර ඉදිකරන ලෙස තම පුතුට අවවාද අනුශාසනා කළ නිසාවෙන් මෙය වර්තමානයේ විලදගොඩ ලෙසින් නම් කර ඇති බව ජන වහරේ සඳහන් වෙයි.
පසුව මෙහි තවත් විශේෂිත වූ වෙහෙර විහාර රැසක් එකල සිටි රජවරුන් විසින් බැතිසිතින් ඉදිකර ශාසනයට පූජා කර ඇති බව මනාව හෙළිදරව් වේ.
ඒ අනුව කලාවැව ඉදිකරවූ ධාතුසේන රජු විසින් ඉදිකරන ලද වෙහෙර විහාර 18ක් අතරින් මෙහි පිහිටා ඇති සල්වානා වෙහෙර, ගිරිපබ්බත වෙහෙර විශේෂ කොට සැලකිය හැක.
තවද මෙහි ගල් පඩි සහිතවූ සාලිය පොකුණ, අනුරාධපුර ලෝවාමහාපායට සමාන ගල් කණු කරු සහිත උපෝසථක ගෙය හෙවත් සීමා මාලකය, චන්ද්‍රකාන්ති පාෂාණයෙන් කරවන ලද බුදු පිළිමය, ඇතුළු කටාරන් කොටන ලද ලෙන් 60ක්ද මෙහි භික්ෂුන් වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකරන ලද පොකුණු කිහිපයකට අමතරව ගිනිහල් පොකුණ, අඩි දහඅටක් ගැඹුරැති දිය කෙමිය ඇතුළු තවත් විස්මිත වූ සුවිශේෂී නටබුන් රැසක්ද දැකිය හැකිය.
ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ අරුම පුදුම විස්මය දනවනසුලු විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයාගේ නව නිර්මාණයක් මෙහි පිහිටීම මුළු මහත් රටට පමණක් නොව ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ටද මහත්වූ ආඩම්බරයක් එක් කරන්නක් බව පැහැදිලිය.
එනම් විස්මය දනවන බැලුම් ගලයි. එය යන එන කොයි කාගේත් නෙත් සිත් පිනවන්නක්ව තිබේ.
උස අඩි 60ට ආසන්න විශාල ගල් පර්වතයක් පොළොව මට්ටමට සවි වී ඇත්තේ අඩියක් වැනි සුළු කොටසකින් කිවහොත් පුදුමය දනවනසුලුය. නමින් බැලුම් ගල යනුවෙන් හදුන්වනු ලබන මෙම ගල් පර්වතය එකල රහතුන් වහන්සේලා භාවනා කිරීම සඳහා ධ්‍යාන ලෙන් වශයෙන් උපයෝගි කර ගෙන ඇති බව මනාව පැහැදිලිය.
අක්කර 500ට ආසන්න භූමි වපසරියකින් සමන්විත වූ මෙම විහාර භූමිය එක් පසෙකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට සීමා මායිම්වත්, තවත් පසෙකින් නීලබැම්ම ගොවි ජනපදයට සීමා මායිම්වත් පිහිටා ඇති අතර, මෙහි පෞරාණික වැව් 15ට අධික සංඛ්‍යාවක් පිහිටා තිබීම එහි ඇති සුවිශේෂිවූ ලක්ෂණයක්ව තිබේ.
එල්ලංගා පද්ධතියට හිමිකම් කියන ගස් ගොම්මන සහිත වූ මෙකී වැව් එකිනෙක පරයා ජලය රැගෙන යෑමේ ක්‍රියාන්විතය නිසි ලෙස ක්‍රමවත්ව සිදුකරන ආකාරය එහි යන කාගේත් නෙත් ඇද ගන්නාසුලුය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි, කොටි, වලසුන්, මුවන්, ගෝනුන් ඇතුළු අපා දෙපා සිව්පාවුන්ගේ නිජ භූමිය කරගෙන ඇති මෙම විහාර භූමිය ඔවුන්ගේ පරම වාසස්ථානය බවට පත්ව තිබේ. කොටි ලෙන, ඇත් පවුර එයට කදිම නිදසුනක්ව තිබේ.
මෙහි වනවාසී භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරන අතර, උන්වහන්සේලා ධ්‍යාන ලෙන් තුළ භාවනා යෝගීව වැඩ වාසය කරති.
කේ. ප්‍රියංකර කළුපහන











