අපේ බෞද්ධ හෙළ ඉතිහාසය තුළ කාන්තා චරිත ඇත්තේ පිරිමින්ට සාපේක්ෂව ඉතා අඩුවෙනි. එහෙත් ඇතැම් කාන්තා නාමයන් බෞද්ධ හෙළ ඉතිහාසය තුළ රන් අකුරින් ලියවී තිබේ. කවුරුන් මොන තර්කය නැගුවද එහි ප්‍රමුඛස්ථානය හිමිවන්නේ අප හොඳින්ම දන්නා විහාරමහා දේවියටය. එනම් කැලණිතිස්ස මහ රජුගේ දියණියටය. තවත් ලෙසකින් එය කිවහොත් කාවන්තිස්ස රජුගේ බිසවටය. තව තවත් එය සරල කළහොත් දුටුගැමුණු සහ සද්ධාතිස්ස රජවරුන්ගේ මෑණියන්ටය. සැබෑවටම මෙම විහාරමහාදේවිය ගැන ඔබ අප දන්නා කතා බොහෝය. විටෙක ඇය තමන්ගේ කැමැත්තෙන්ම මුහුදට බිලිවෙන්නට ගියාය.
පසුවට රට එක්සේසත් කිරීමෙහි පෙරමුණ ගන්නට විය. මේ අයුරින් ඇය ගැන ඔබ අප දන්නා කතා බොහෝය. ඒත් විහාරමහාදේවිය පිළිබඳව අදටත් ඔබ අප නොදන්නා කතා කීපයක් ඇත. සැබෑවටම ඒවා රහස් ලෙස අපේ හෙළ ඉතිහාසයේ සැඟවී ගොස් තිබේ. ඉතින් අද අපේ කතාව ඉතිහාසයේ සැඟව ගිය විහාරමහාදේවියගේ අවසාන සමය ඇතුළු ඇගේ ජීවිතයේ නොදන්නා කතා කිහිපයක් ගැනය.
විහාරමහාදේවිය යනු බොහෝ පින්දහම් කෙරූ බෞද්ධ කාන්තාවකි. දිනක් ඇය කරනු ලැබූ එක්තරා පින්කමකට අනුශාසනා කරන්නට වැඩි මහ රහතන් වහන්සේ නමක් දේශනා කරන්නේ දේවියගේ මේ භවයේ ලැබූ සම්පත් පෙර කළ පින් නිසා ලැබූ බවත් මතු භවයේදීත් එවැනි සම්පත් ලබන්නට නම් තවත් පින්කම් කළ යුතු බවත්ය. එහෙත් ඒ වන විටත් මෙම විහාරමහා දේවිය සිටින්නේ එක්තරා කනගාටුවකිනි. ඒ තමන්ට කොතරම් සැප සම්පත් තිබුණද උතුම් දරු සම්පතක් නොමැතිවීම නිසාය. එම නිසා තමන් ලබන සැප සම්පත්වලින් කිසිදු වූ ඵලක් නැති බවත් දේවිය උන්වහන්සේ ඉදිරියේ හඬමින් පැවසූ බව සඳහන් වෙයි. එම අවස්ථාවේදී මහ රහතන් වහන්සේ දේවියට උපදෙස් දෙන්නේ ඉතා රෝගාතුරව අපවත්වීමට ඉතා ආසන්න සාමණේර නමක් තම විහාරයේ වැඩ වසන බව සහ උන්වහන්සේ සොයා ගොස් එළඹෙන භවයේ තමන්ගේ පුත්‍රයා ලෙසින් ඉපදින ලෙස එක් ඉල්ලීමක් සිදුකරන ලෙසයි. නමුත් එම සාමණේර හිමිගේ එකම අරමුණ වී තිබුණේ අපවත්වී පසුව දෙව්ලොව උපත ලැබීමටය. එහිදී විහාරමහාදේවිය පවසා ඇත්තේ තම පුත්‍රයා ලෙස ඉපදී සම්බුද්ධ ශාසනයට විශාල දෙයක් කිරීමට උන්වහන්සේට හැකියාව ඇති බවයි. අවසන සාමණේර හිමියන් තම අරමුණ වෙනස්කර දේවියගේ කුසේ ඉපදීමට අදිටන් කළ බව පැවසෙයි. අනතුරුව විහාරමහාදේවිය මාලිගාව බලා යන විට තමන් ගිය කරත්තයේ රෝද පොළොවේ එක්වරම එරී යන අතර එයින් අදහස් වන්නේ දේවිය ඒ මොහොතේ ගැබ්ගත් බවයි. ඒ අනුව සාමණේර හිමි අපවත් වී එදා දේවියගේ කුසේ පිළිසිඳගත් බව සඳහන් වෙයි.
මෙසේ කාලය ගතවීමත් සමඟ විහාරමහාදේවිය පින්වත් කුමාරයෙක් බිහිකරන අතර එදිනම රටේ ආශ්චර්යමත් සිදුවීම් කිහිපයක්ම සිදුවී තිබේ. එයින් ප්‍රසිද්ධම සිදුවීමක් වන්නේ ඡද්දන්ත නම් විලේ සිට ආ ඡද්දන්ත නම් උසස් කුලයේ උන් ඇතින්නක් රෝහණ ජනපදයේදී ඇත් පැටවෙකු බිහි කර නැවත ඡද්දන්ත විලටම යෑමයි. පසුව කණ්ඩුල නම් වැද්දෙකු ඒ ගැන කාවන්තිස්ස රජතුමාට දැනුම් දී තිබෙන අතර රජු එයින් බොහෝ සතුටුව ඇත් පැටවා තම මාලිගයට ගෙන්වා ගෙන හදාවඩා තිබේ. පසුව එම ඇත් පැටවා වැද්දාගේ නමින්ම “කණ්ඩුල” ලෙස නම් කෙරූ බවද පැවසෙයි. පසුකලෙක දුටුගැමුණු රජුගේ මඟුල් ඇතු වන්නේද මෙම කණ්ඩුල හෙවත් කඩොල් ඇතුය. මේ අතර විහාරමහාදේවියට උපන් කුමරාට නම් තබන අවස්ථාවේ ඔහුට “ගාමණී අභය” ලෙසින් නම් තබා ඇත. පසුව “දුටුගැමුණු” යන නමින් ඔහු රාජ්‍යත්වයට පත්වී තිබේ. තවද එදා රටේ “දුට්ඨගාමිණී අභය” ලෙස හඳුන්වා ඇත්තේද මෙම දුටුගැමුණු රජුය. කාලයත් සමඟ දේවිය යළිත් ගැබ්ගෙන තිබේ. ඒ අවස්ථාවේ දේවියට හොඳින් මල් පිපුණු සපු ගසක් ආසන්නයේ අලංකාර යහනක වැතිරී මල් සුවඳ විඳින්නට දොළ දුකක්ද ඇතිවූ බව සඳහන්ය. දේවියගේ දෙවෙනි දරු උපත වෙන එය තිස්ස කුමරුගේ හෙවත් සද්ධාතිස්ස රජුගේ උත්පත්තියයි.
එවකට මෙම ගැමුණු කුමරා උපදින්නට සිටියදී විහාරමහාදේවියට උපන් දොළ දුක් ගැනද ඉතිහාසයේ සඳහන් කර තිබේ. සැබෑවටම එදා දේවියට ආ එම සියලු දොළදුක් සුළුපටු දොළදුක් නොවේ. එයින් එක් දොළදුකක් වන්නේ තමා අලංකාර යහනක වැතිරී රියන් හැටක් පමණ විශාල මී වදයක් තමන්ගේ ඉදිරිපිට තබාගෙන දොළොස්දහසක් වූ මහා සංඝයාට එම මී වද පිළිගන්වා ඉතිරිය තමන් අනුභව කිරීමයි. ඇතැම් තැන්හි මී වදයේ ප්‍රමාණය ඉස්බක් ලෙසද සඳහන් වෙන අතර එදා එය තිබූ බව සඳහන් වන්නේ මුහුදු වෙරළක් අසල නවතා තිබූ ඔරුවක් තුළය. මේ අතර දේවියට උපන් තවත් දොළදුකක් නම් එකල අනුරාධපුරය පාලනය කළ එළාර රජතුමාගේ ප්‍රධාන යෝධයාගේ හිස සිඳ දැමූ කඩුව සෝදපු වතුර ඒ හිස මත ඉඳගෙන පානය කිරීමයි. මෙම දොළදුකද ඇතැම් තැන්හි වෙනස් ආකාරයකට මෙසේ සඳහන් වෙයි. එනම් එළාර රජුගේ ප්‍රධාන යෝධයාගේ කඩුව මත සිටගෙන දේවියට ස්නානය කිරීමට ආසාවක් පැමිණි බවයි. මේ අතර අනුරාධපුර නෙළුම් කෙතෙන් රැගෙන ආ නෙළුම් මල්වලින් මල් දමක් කර එය කර පළඳින්නටත් විහාරමහා දේවියට දොළදුකක් ආ බව පැවසෙයි. එකල මෙම අමුතු පන්නයේ සියලු දොළදුක් ගැන කාවන්තිස්ස රජු නිමිති දන්නා අයගෙන් අසා ඇති අතර ඔවුන් සියල්ලෝම පවසා ඇත්තේ දේවියට ආ එම දොළදුක් සියල්ලම සංසිඳෙව්වොත් දේවියට ලැබෙන පුත්‍රයා රටට සතුරු වෙන දෙමළුන් විනාශ කර රට එක්සේසත් කර සම්බුද්ධ ශාසනය බබළවන පින්වන්ත කුමරෙකු වෙන බවයි.
විහාරමහාදේවියට ආ දොළදුක් කාවන්තිස්ස රජු විසින් සන්සිඳවූ ආකාරයද ඉතා රසවත්ය. මුලින්ම එදා රියන් හැටක් පමණ විශාල වූ මී වදය සොයා ගැනීමට රජු රටේ අණ බෙරයක් යවා තිබේ. ඊට ඇහුම්කන් දුන් මුහුදු වෙරළක් අසබඩ ජනපදයක සිටි අන්ධ මෙන්ම කොර මනුස්සයෙක් තමන්ගේ දරුවන්ට එක්තරා ස්ථානයක වූ මී ගසක මල් පිපුණු විට තමන් දැනුවත් කරන ලෙස පවසයි. එසේ මී ගහේ මල් පිපුණු පසු ඔහු තමන්ගේ දරුවන් ලවා ඒ ගහේ අත්තක අට්ටාලයක් බැඳගෙන මී මැස්සන්ගේ කතාබහට කන්දෙන අතර දිනක් මී ගහෙන් රොන් ගන්න ආ කණ මී මැස්සියක සහ තවත් මී මැස්සියක් අතර වෙන රණ්ඩුවකදී මේ මනුස්සයාට මී මැස්සියෝ දෙපළ කියන පුරාජේරුව ඇසී තිබේ. එහිදී වෙරළ ආසන්නයේ තිබෙන රියන් සියයක් පමණ වෙන ඔරු කඳක රියන් හැටක් පමණ වෙන මී වදයක් ඇති බව ඔහුට දැනගන්නට ලැබෙන අතර පසුව ඔහු එය රජතුමාට පවසා ඇත. මේ අතර දෙවියගේ අනික් දොළදුක් සංසිඳවන කාර්යය බාරගනු ලබන්නේ කාවන්තිස්ස රජුගේ වේළුසුමන නම් යෝධයාය. ඔහු වෙස් වළාගෙන අනුරාධපුරයට ගොස් එළාර රජුගේ අස් හලේ සේවයට එකතු වී තිබේ. පසුව ඒ අස් හලේ ප්‍රධාන අස්ගොව්වා හා මිත්‍ර වූ වේළුසුමන එම අස් හලේ වූ වේගවත්ම අශ්වයා හඳුනාගත් බව පැවසෙයි. එක් දිනක් ඔහු අනුරාධපුර නෙළුම් කෙතට ගොස් නෙළුම් මල් මිටියක් නෙළාගෙන රහසිගත වූ ස්ථානයක හංගා එම වේගවත්ම අශ්වයා පිටේ නැඟ “මම කාවන්තිස්ස රජතුමාගේ ඇමති වේළුසුමන….” යැයි උස් හඬින් පවසා පැන යයි. ඒ පිටුපස එළාරගේ ප්‍රධාන යෝධයාද තවත් වේගවත් අශ්වයෙක්ගේ පිටේ නැග හඹා ආ අතර සැඟව සිටි වේළුසුමන ඔහුට සිය කඩුවෙන් පහරදී බෙල්ල කපා තිබේ. පසුව ලේ සහිත කඩුවත් නෙලුම් මල් මිටියත් රැගෙන ගොස් දේවියගේ අනෙක් දොළදුක්ද සංසිඳවූ බව පැවසෙයි.
එළාර දුටුගැමුණු යුද්ධයේදී විහාරමහාදේවිය තම වැඩිමල් පුත්‍රයා වූ දුටුගැමුණු රජුට ඉමහත් මානසික ශක්තියක් වූ බව පැවසෙයි. එළාර රජු සමඟ යුද්ධයට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව තබාගෙන දුටුගැමුණු රජතුමා රජරට බලා පිටත්වෙද්දී විහාරමහාදේවියද එම පිරිසේ නොබියව ගමන් කිරීම ඊට හේතුවයි. එම යුද්ධයේදී විහාරමහාදේවිය සතු යුධ උපායශීලීත්වය මනාව පෙන්නුම් කෙරෙයි. එහිදී දේවිය දුටුගැමුණු රජතුමාගේ රූපය දැවයෙන් කෙරූ පිළිම ඇති ව්‍යාජ බලකොටු තිස්එකක් නිර්මාණය කිරීමටත් අවසන තිස්දෙවෙනි වූ බලකොටුවේ රජතුමා ඇතුළු පිරිසට සැබවින්ම සිටීමටත් උපදෙස් ලබාදීම ඊට හේතුවයි. එම උපක්‍රමයේ අරමුණ වන්නේ සතුරා රැවටීමයි. එය කොතරම් සාර්ථක උපක්‍රමයක්ද කිවහොත් එළාරගේ දීඝජන්තු යෝධයා බලකොටු එකින් එකට ගොස් එදා රජුගේ පිළිම විනාශ කිරීම නිසා වෙහෙසට පත්ව සිටින මොහොතක දුටුගැමුණු රජුගේ සුරනිමල නම් යෝධයා පහසුවෙන්ම දීඝජන්තුව මැරූ බව සඳහන් වෙයි. ඒ එළාර දුටුගැමුණු යුද්ධයේදී යුධ ජයග්‍රහණය දුටුගැමුණු රජුතුමාගේ පැත්තට එන්නට බලපෑ ප්‍රබල හැරවුමකි. මේ අතර විහාරමහාදේවිය ඉමහත් දිරිය කාන්තාවකි. එදා කැලණිතිස්ස රජ දවස රටට බලපානු ලැබූ මහා සුනාමියෙන් රට ජාතිය මුදවාගැනීමට පවා මුහුදට බිලිවූයේ විහාරමහා දේවියයි. නමුත් පෙර පින් බලයෙන් ඇගේ ජීවිතයට එදා කිසිදු හානියක් සිදුවූයේ නැත. එදා එසේ හානියක් වූවා නම් “දුටුගැමුණු” නම් වූ නාමයක් මහාවංශයේ ලියවෙන්නේද නැත.
මේ අතර ලාංකීය වංශකතාවේ විහාරමහාදේවිය යන උතුම් නාමය රන් අකුරින් ලියවී තිබුණද ඇයගේ අවසානය කොතැනක හෝ නිශ්චිත ලෙස සඳහන් කර නැත. සැබෑවටම එය ඉමහත් ප්‍රශ්නාර්ථයකි. අවසාන වශයෙන් විහාරමහාදේවිය ගැන මහාවංශය සඳහන් කරනුයේ දුටුගැමුණු රජුගේ මරණය ගැන සඳහන් වෙන තිස්දෙවෙනි පරිච්ඡේදය තුළය. එහි සඳහන් වන්නේ දුටුගැමුණු රජතුමා මතු බුදුවෙන මෛත්‍රී බුදු රජුන්ගේ දකුණත් අග්‍ර ශ්‍රාවක වෙන බවත් සහෝදර සද්ධාතිස්ස වමත් ශ්‍රාවක වෙන බවත් කාවන්තිස්ස රජතුමා සහ විහාරමහාදේවිය එම මෛත්‍රී බුදුන්ගේ පියා සහ මව වෙන බවත්ය. මේ අතර දුටුගැමුණුගේ පුත්‍රයා වූ සාලිය හෙවත් සාලිරාජ කුමරු මෛත්‍රී බුදුන් රජුන් බුදුවීමට ප්‍රථමව පුත්‍රයා ලෙස යළි ඉපදෙන බවද ඇතැම් තැන්හි සඳහන් වෙයි. කෙසේ වුවද සෙල්ලිපි සාධක හා සාහිත්‍ය මූලාශ්‍රය කීපයක් පාදක කරගෙන විහාරමහාදේවියගේ අවසානය සම්බන්ධව කිසියම් අනුමානයකට එළඹෙන්න අපට හැකියාවක් තිබේ. ඒ අනුව විහාරමහාදේවිය තම ජීවිතයේ අවසන් කලදී භික්ෂුණියක් ලෙස ගත කරන්නට ඇති බවට අනුමාන කළ හැකිය. මිහින්තලයෙන් හමුවී ඇති එක්තරා වූ සෙල්ලිපියක් මීට සාක්ෂි සපයයි. ඒ සෙල්ලිපියේ එන අර්ථය වන්නේ “කණගම රජු වූ තිස්සගේ දියණිය වූ ශවෙර භික්ෂුණියගේ ලෙන සංඝයාට පූජා කරන ලදී” යනුවෙනි. ඒ අනුව එම ලිපියේ සඳහන් කණගම යනු කල්‍යාණි ප්‍රදේශය බවත් තිස්ස යනු කැලණිතිස්ස රජු බවත් ශවෙර යනු විහාරමහාදේවිය බවත් අපගේ අනුමානයයි. ඒ අනුව විහාරමහාදේවිය තම අවසන් කාලය භික්ෂුණියක් ලෙස ගතකර ඇති බව පැහැදිලි වෙයි. එමෙන්ම ඇය එම භික්ෂුණී ජීවිතය බොහෝ විට මිහින්තලයේ තිබූ එක්තරා විහාරයක හෝ තමන්ගේ ලේලිය කරවූ මිලක්ඛ තිස්ස නම් විහාරයේ ගතකොට ඇති බවත් විශ්වාසයයි.
රුවන් එස්. සෙනවිරත්න











