දුර අතීතයේ සිට ශ්‍රී ලංකාවේ මානයා කුල මෙන්ම ඉන්දියාව වැනි රටවලද රජ, බමුණු, වෙළෙඳ, ගොවි වශයෙන් කුල සතරකට බෙදා වෙන්වීමක් තිබූ බවත් සඳහන් කළ හැක. ඒ අනුව පාලන තන්ත්රයට සමීපව කටයුතු කළ බ්‍රාහ්මණ වාංශිකයෝ අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දීමට සුදුසුකම් ලැබූයේ ඔවුනොවුන්ගේ බුද්ධිමත්භාවය තරකර තිබූ නිසාය. සිව්වේදය තුළින් දැන උගත්කම දියුණු තියුණු කරගත් බ්‍රාහ්මණ සංහතිය, සිව්සැට කලාවන්ටද දක්ෂ වූහ. නක්ෂත්රය, ගණිත කලාව, ගාන්ධර්ව කලාව, දූත මෙහෙවර, වෙද හෙදකම ආදී ශිල්ප ශාස්ත්‍ර බොහොමයකට දක්ෂයෝ වූහ.
එදා සුදෝවුන් රජ අවධියේ පටන් ඉන්දියාවේද, ජ්‍යොතිෂය, නර්තනය රැකුනේ උගත් බමුණන් නිසා බව සිදුහත් චරිත කතාවලින් පිළිබිඹු වෙයි. විවාහ මංගල, නම් තැබීම් කටයුතු බ්‍රාහ්මණ බුද්ධිය තුළින් සිදුවූ බවට හේතු සාධක බොහෝ ඇත.
සිදුහත් කුමාර උපතේදී අට කුලයක බමුණු බ්‍රාහ්මණයෝ කැඳවා සිදුහත් කුමාරයාණන්ට නම් තැබීමේදී රාම, ධජ, ලක්ධණ, මංතී, බෝධි, සුයාම, සුදන්ත යන අට කුල බමුණන්ගෙන් කොණ්ඩඤ්ඤ බමුණා එක් ඇඟිල්ලක් ඔසවා කියා සිටියේ ලොවට අර්ථවත් සිද්ධීන් සිදුකරන පින්වත් කුමාරයෙකු හෙයින් ‘සිද්ධාර්ථ’ යන නම උචිත වන බවය. ඒ දේහ ලක්ෂණ තෝරා ගැනීමේ බුද්ධිය නිසාමය.
ලංකාවේ සත්කෝරලය, සතර කෝරලය, උඩුනුවර, යටි නුවර, දුම්බර, හාරිස්පත්තුව යන ප්‍රදේශවල උරුමයට හිමිකම් ලැබූ පරම්පරා නර්තන ශිල්පීන් මෙම කලා ශිල්පය අදටත් සංරක්ෂණය කිරීමට ඇප කැපවී සිටීම සතුටට හේතූන්ය.
ඒ අනුව අහුගොඩ, දොරටියාව, පොල්ගහවෙල, කොන්පලය, බැවිලගමුව, රණවන, මීගස්වැව ආදී සත්කෝරලයේ දැනට ඉතිරිව ඇති පරපුරවලින් කිහිපයකි.
එසේම නිත්තපද්ගල, අමුණුගම, බුදවත්ත, සතරකෝරලයේ සහ මහනුවර එවැනි පාරම්පරික ගුරුකුල කිහිපයකි.
එමෙන්ම අපේ නර්තනයේ පුරාණය ඉතා අනභිභවනීය වෙයි. එය අපට උරුම වූයේ මීට වසර දහස් ගණනකට ඉහතදීය.
ඒ ඉතිහාසය සොයා විජය රජ අවධියට ඉහත බම්බා නුවර බම්බා රජුට සහ චන්ද්‍රාවතී බිසවට දාව උපන් සුරූපී කුමරිය ‘කුවේණිය’ දෙසට යොමු වෙමු.
ඇය යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර අඩුවක් නැතිව දැන සිටි අයෙකි. දරුණු බලගතු රජ කුමරකු වූ විජය රජු මෙල්ල කිරීමට හැකි වූයේ ඇයගේ කලාත්මක පැතිකඩ නිසාය. කුවේණියගේ ශාපය නිසා විජය රජු පසුව විනාශයට පත්විය.
පසුව රජ පැමිණි පඬුවස් රජුද ඒ ඒ හේතුවලින් රෝගාතුර වූ හෙයින් ක්රිසතිය, සඳලිඳුය, මලරජය යන රජ තුංකට්ටුව සමඟ සෙත් පැතීමට පැමිණි බමුණු බ්‍රාහ්මණයන් සිදුකළ සෙත් පැතීම තුළින් නර්තන ශිල්පය තවත් දියුණු විය.
අපේ නර්තනයේ ආරම්භය ලෙස වලියක් නර්තනය සැලකේ. එසේම වෙස් ඇඳුම යනු සිව්සැටක් රාජාභරණවලින් සමන්විත අඩක ඇඳුමකි.
මේ තුළ ජටාව, පායිම්පත, තොඩුපත්, සිවිලිය, නෙත්තිමාලය, කරපටිය, අවල්හැරය, උරභාහු, බන්ධි වළලු, හස්තකඩ, සඟල ඔලියල්, සිලම්බු සහ සෝපනය ඇතුළත් වන අතර මේ වස්තූන් උඩරට නැටුමට පලඳින වෙස් ඇඳුම් කට්ටලයට අයත් රාජාභරණ 64කින් අඩකි.
එමෙන්ම මෙම ඇඳුම් කට්ටලය අද පවතින ‘කොහොඹා යක් කංකාරියට උරුමව පවතින උඩරට ඇඳුම් කට්ටලයයි.
මෙය පැලඳවීමට උරුමකම් ලැබුවෝ අතලොස්සකි. ඒ එදා සහ අද හඳුන්වන යක්සෙස්සා යක්දෙස්සකු වීම එතරම් පහසු කරුණක් නොවේ. චාරිත්‍රානුකූලව වෙස් ඇඳුම් කට්ටලය ඇඟලා ගැනීමද එතරම් පහසු නැත. වෙස් නැටුමේ උපාධි නාමය යක්දෙස්සා යනුවයි. යක්දෙස්සා ශිල්පයේ උසස්ම තැනට පා තැබූ අයෙකි. නර්තනය ගායනය ඉහළ තලයටම පුහුණුව ලැබූවෙකි. යකෙකුට දෙවියන් දෙස් දෙවන්නෙකි. විනය ගරුක හික්මීමෙන් යුතු තැනැත්තියකි. හොඳ සිතුවිලිවලින් පරිපූර්ණ වූවෙකි. අව ජඩ වැඩ නොකරන්නෙකි. ගුරුන්, දෙවියන්, බුදුන් පුදන්නෙකි. එමෙන්ම පිරිසුදු වූ රූප ස්වභාවයක් ඇත්තෙකි. ශාන්තදාන්ත පෙනුමක් මිස රෞද්‍ර පුද්ගලයකුද නොවේ.
මෙවැනි අයට මෙම රාජකීය ඇඳුම එදා පලඳනු ලැබුවේ දහසක් ප්‍රතිපත්ති ගරුකොට නැකැත් හෝරාවන්ට අනුකූලව මාංශ අනුභවයෙන් තොරව දින ගණනක් පිළිවෙත් රැක පාරිසුද්ධභාවයට පත්වෙමින් පසුවය.
ඒ වගේම එවැනි ඇවතුම් පැවතුම්වලින් තොර අයට මෙම ඇඳුම හිමිවන්නේ නැත.
වෙස් ඇඳුම් කට්ටලයට සරිලන වෙනත් නර්තන ඇඳුමක් ලෝකයේ මෙතෙක් බිහිවී නැත.
එම නර්තනයෙන් තමන් සතුටට පත්වෙනවා සේම අන් අය සතුටට පත්කිරීම, සාරධර්ම රැසක් හිමිකර ගැනීම, ඉවසීම, භක්තිය, දියුණු කර ගැනීම, නිරෝගී පුද්ගලයන් බිහිකිරීම, දීර්ඝායුෂ වැඩිකර ගැනීම, පංච ඉන්ද්‍රියන් පිනවීම, දෙවියන් බුදුන් ප්රමුඛ ප්‍රභූන්ගෙන් ආශීර්වාද ලැබීම ආදී මහත් ඵල රාශියක් ලැබීමට තුඩු දෙන සම්පතක් සේ අපේ නැටුම පෙන්වාදිය හැක.
බී.පී. අහුගොඩ
පාරම්පරික නර්තන ශිල්පී, නර්තන කලා විශාරද, විශ්ව කලා කීර්ති, රාජ්‍ය ගෞරව කලා භූෂණ උත්තම සේවා පදක්කම් ලත් (විශ්‍රාමික නා.හ. ස.ප්‍ර.සු.නි.)











