• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහාවංශයේ ආලෝක පරිච්ඡේදය ලියා ලංකාව එළිය කළ විශිෂ්ටයා

September 19, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
මහාවංශයේ ආලෝක පරිච්ඡේදය ලියා ලංකාව එළිය කළ විශිෂ්ටයා
Share on WhatsAppShare on Facebook

මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයැයි පැවසූ මහා පරාක්‍රමබාහු රජතුමා රට පුරා මහා වැව් බැඳ රට ස්වංපෝෂිත කළේය. කාලයාගේ ඇවෑමෙන් අපේ රට විදේශීය ආක්‍රමණයන්ට නතුව යළි කෙමෙන් හිස එසවීමට සූදානම් වන විට ලෝකය කෘෂි යුගයෙන් කාර්මික තාක්ෂණ යුගයට පියමං කරමින් තිබුණි. ඒ යුගයේ දියුණු ජාතියක් ලෙස නැගී සිටීමට නම් රට විදුලියෙන් ස්වංපෝෂිත කිරිම අත්‍යවශ්‍ය විය. විදුලියෙන් දියුණු වන ලෝකය දෙස නුවණැසින් බැලූ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයකු විදේශයෙන් ගෙන්වන බල ශක්ති ප්‍රභව මත නොයැපී රට තුළම විදුලිය නිපදවා රට විදුලියෙන් ස්වංපෝෂීත කළ යුතු යැයි තීරණය කළේය. සුදු රත්තරන් මෙන් කඳු බෑවුම් මතින් වැටෙන ජල දහරාවන් කෙරෙහි තම ඥානය යොමුකළ ඒ විශිෂ්ට පුරුෂයා දිය ඇල්ලකින් වැටෙන සෑම ජල බිඳුවක්ම තල බඹරයක් තුළින් මිස මුහුදට නොයැවිය යුතු යැයි අධිෂ්ඨාන කොට එය සාර්ථක කර ගැනීමට තම මුළු ජීවිතයම කැප කළේය.

1874 සැප්තැම්බර් 17 දින ගාල්ල වඩුගොඩ ප්‍රදේශයේදී මෙලොව එළිය දුටු දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර නම් වූ ඒ මහා යුග පුරුෂයා සිංහලයේ මහා වංශ කතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් විදුලියෙන් ස්වංපෝෂිත ස්වාධීන රාජ්‍යයක් බිහිකරමින් තම නාමය රන් අකුරින් සටහන් කිරීමට සමත් විය. කොළඹ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවේ පාසල් අධ්‍යාපනය ලැබූ එතුමා මරදාන ලංකා තාක්ෂණික විද්‍යාලයට 1893 දී ඇතුළත්ව 1895 දී සිවිල් ඉංජිනේරු උපාධිය ඉහළ සාමාර්ථ සහිතව ලබා ගැනීමට සමත්විය. ඒ මගින් බිතාන්‍ය සිවිල් ඉංජිනේරු ආයතනයේ සාමාජිකත්වයද හිමිකර ගනිමින් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ඉගෙනුම සඳහා බිතාන්‍යයේ ෆැරඬේ ආයතනය (Faraday House) වෙත ඇතුළත්වූ විමලසුරේන්ද්‍රයන් එහි දක්ෂතම ශිෂ්‍යා ලෙසින් ඉන් පිටවීමට සමත්විය.

1898 දී තරුණ ඉංජිනේරුවකු ලෙස රජයේ පරෑ්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට බැඳී එහි රජයේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන වැඩ පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කළ විමලසුරේන්ද්‍ර මහතා හට 1901දී තම ජීවිතය මෙන්ම මෙරට අනාගතයද සහමුලින්ම වෙනස් කළ රාජකාරියක් බිතාන්‍ය නිලධාරීන් පවරන ලදී. ඒ වන විට ලෝක යුද්ධයන්ට මැදිවූ බිතාන්‍යයේ ආර්ථිකය කඩා වැටෙමින් තිබූ නිසා නව ධන සම්පත් සොයා ගැනීම අත්‍යාවශ්‍ය විය. ඒ අනුව මෙරට සැඟවී තිබෙන වටිනා සම්පත් සොයා බැලීමට තීරණය වූ අතර මෙහිදී කැලණි ගංගා නිම්න ප්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීමත් එහි රත්තරන් තිබේදැයි සොයා බැලීමත් විමලසුරේන්ද්‍ර මහතා හට පැවරුණි. කැලණි ගංගා නිම්නයේ රත්‍රං සොයා ගිය විමලසුරේන්ද්‍රයන්ට දක්නට ලැබුණේ සුදෝසුදු පෙන නංවමින් ඇද හැලෙනා කිරිවන්එළිය ඇල්ලයි. වර්තමානයේ ලක්ෂපාන ඇල්ල ලෙස හඳුන්වන මේ දිය ඇල්ලේ ජල කඳ රත්‍රංවලටත් වඩා වටිනා බව වටහා ගත් විමලසුරේන්ද්‍රයන් බිතාන්‍ය නිලධාරීන්ට වාර්තා කළේ තමාට සුදු රත්‍රං සොයා ගැනීමට හැකිවූ බවයි.

මෙරට විදුලිබල උත්පාදනය 1895දී ආරම්භ වූ අතර පෞද්ගලික සමාගමක් මගින් ඛනිජ තෙල් මගින් ක්‍රියාත්මක වන කුඩා තාප බලාගාරයකින් කොළඹ නගරයේ වාණිජ වශයෙන් වැදගත් ස්ථානවලට සීමිත විදුලි සැපයුමක් ලබා දෙන ලදි. මේ නිසා මෙරට විදුලිබල සැපයුම කුඩා ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා විය. ප්‍රයෝජනයට නොගෙන ඇදහැලෙන දිය ඇලි තුළ ගබඩා වී ඇති ශක්තිය විදුලිය බවට පත්කළ හැකි බවත් පිටරටින් ගෙන එන ඛනිජ තෙල් වෙනුවට මෙරට ජල සම්පත හා කඳුකරයේ බෑවුම් භාවිතයෙන් මහා පරිමාණයෙන් ජල විදුලිය නිපදවා විශාල පිරිසකට විදුලි බලය ලබා දිය හැකි බවත් ඒ මගින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම මෙන්ම නව කර්මාන්ත බිහිවී නවෝත්පාදනයන් සිදුවීමෙන් රට ස්වාධීන රාජ්‍යයක් ලෙස සංවර්ධනය වන බවත් රත්‍රං සොයා ගිය ගමනේ අත්දැකීම් ඇසුරෙන් විමලසුරේන්ද්‍ර මහතා පෙන්වා දෙනු ලැබිණි.

ෆැරඬේ ආයතනයෙහි ලැබූ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් මෙරට ජල විදුලි බල නිෂ්පාදනය පිළිබඳ තම අදහස සාර්ථකව ඉදිරිපත් කළ විමලසුරේන්ද්‍ර මහතා මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය දිගේ ගලා එන ජලය එකතු කොට ජල විදුලි බලාගාරයක් තනා එය හරහා යැවීමෙන් ජනනය කර ගත හැකි විදුලියෙන් දළ වශයෙන් විදුලි පහන් ලක්ෂයක් පමණ දැල්විය හැකි වෙතැයි ගණනය කොට පෙන්වා දෙන ලදි. එවකට රාජ්‍ය විදුලි ඉංජිනේරු වූ රයිලන්ඞ් මහතාද ජල විදුලිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කොට තිබූ නමුත් එය ප්‍රායෝගික නොවූ අසම්පූර්ණ වාර්තාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණි. විමලසුරේන්ද්‍ර මහතා ඒ වන විටත් සිවිල් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර වෙනත් අංශයක සේවය කළ විමලසුරේන්ද්‍ර මහතා තම අංශයට අදාළ කාර්යයන් පිළිබඳ මෙවැනි අදහස් දැක්වීමට මනාපයක් නොදැක්වූ රයිලන්ඞ්, විමලසුරේන්ද්‍ර මහතා විදුලි අංශය වෙත නැඹුරු වීම වැළැක්වීමට වෙනත් ප්‍රදේශයකට මාරුකර හැරීමට ඉංග්‍රීසී බලධාරින් පොලඹවන ලදී.

මේ නිසා උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට ඔහු මාරුකර යවන ලද අතර එහිදී තවදුරටත් තම පර්යේෂණ කටයුතු සිදු කිරීමට විමලසුරේන්ද්‍ර මහතා හට හැකි විය. ඒ අනුව මෙරට තුළ ජල විදුලිය නිපදවීම හා ඒ මගින් ආර්ථිකය දියුණු කළ හැකි ආකාරය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් සකස් කළ විමලසුරේන්ද්‍ර මහතා එය වර්තමානයේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institution of Engineers Sri Lanka) හෙවත් එදවස ලංකා ඉංජිනේරු සංගමය (Engineering Association of Ceylon) වෙත ඉදිරිපත් කරනු ලැබීය. “ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය (Economics of Hydro Power Utilization in Ceylon)” නම් වූ එම විද්‍යාත්මක වාර්තාව මගින් මෙරට ජලවිදුලි විභවය ඇති ස්ථාන හා ඒවා හරහා විදුලිය ජනනය කිරීමට ගත යුතු පියවර පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කරන ලදී. එම නිබන්ධනය මෑත යුගයේ මෙරට විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම පර්යේෂණ නිබන්ධනය ලෙසද සැලකෙන අතර එය සපයන ලද දත්ත නිරීක්ෂණ හා ඒ මගින් ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක නිගමන අතින්ද උසස් මට්ටමක පැවතුණි.

මෙම වාර්තාව මගින් පවත්නා බල ශක්ති මූලයන්, විදුලි බල නිෂ්පාදනය මධ්‍ය ගතකිරීම, ජනන වියදම්, ජලබල නිෂ්පාදනය, ප්‍රාග්ධන වියදම්, පරිසර සුරක්ෂිතතාව, වෝල්ට් 2400 දුම්රිය විදුලිකරණය වැනි තාක්ෂණික කාර්යයන් පිළිබඳව සාකච්චා කළ අතර එහිදී මහවැලි හා කැලණි ගංගා ආශ්‍රිතව විදුලිය නිෂ්පාදනය කළ හැකි ස්ථාන සහ ඒවායින් ජනනය කළ හැකි විදුලි ප්‍රමාණයන් පිළිබඳවද සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලදී. එහි දැක්වෙන පරිදි මහවැලි ගංගාව මගින් 100MW, මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලා ඔය මගින් තවත් 50MW, කැලණි ගඟෙහි ඇබර්ඩීන් දියඇල්ල මගින් 50 MW සහ කැලණි ගඟෙහි කිරිවන්එළිය ඇල්ල (ලක්ෂපාන දියඇල්ල) මගින් 30MW පමණ ජනනය කළ හැකි බව දත්ත සහිතව පෙන්වා දෙන ලදී. ජලවිදුලි බලාගාර කොළඹින් ඈත පිහිටීම නිසා රට පුරා විදුලිය බෙදාහැරීමට ජාතික විදුලිබල සම්ප්‍රේෂණ ජාලයක් (national grid) පිහිටුවීමද ඔහු මෙම වාර්තාව මගින් යෝජනා කරන ලදී.

නිවාසවලට විදුලිය ලබා දීමට මෙන්ම මෙරට කර්මාන්ත දියුණු කිරීමටද විදුලිබලය ලාභදායී මිලට ලබාදීම ඉතා වැදගත් බව දැක්වූ විමලසුරේන්ද්‍ර මහතා ජල විදුලිය නිපදවීම මගින් කර්මාන්න ශාලා සඳහා ශත 2.5කටත් නිවාස සඳහා ශත 0.12කටත් විදුලිය ඒකකයක් ලබා දිය හැකි බව ගණනය කොට පෙන්වා දුන් අතර නගරාලෝකකරණය, කර්මාන්ත, කෘෂිකර්මය, වැවිලි කර්මාන්ත, වෛද්‍ය, ගමනාගමන, ඉදිකිරීම් වැනි අංශ මේ හරහා සීග්‍ර දියුණුවක් ලැබිය හැකි බවද සාධක සහිතව පෙන්වා දෙන ලදී. විදේශයන්ගෙන් ගෙන්වන ඛනිජ තෙල් හා ගල් අඟුරු දහනය කොට විදුලිය නිපදවීම තිරසාර විසඳුමක් නොවන බවත් අනාගතයේදි ඛනිජ තෙල් හා ගල් අඟුරුවලට ඇති ඉල්ලුම ඉහළ යන බැවින් ඒවායේ මිල වැඩිවීම හා පරිසර දූෂණය ගැටලුවක් විය හැකි නිසා මෙරට ජල සම්පතින් විදුලිය නිපදවා ගැනීමට හැකියාව තිබියදී විදෙස් බලශක්ති මත යැපීම නොකළ යුතු බව දැක්වූ විමලසුරේන්ද්‍රයන් මෙරට දියුණු කිරීමට නම් බලශක්ති ස්වාධීනත්වය සහිතව සැලසුම් සකස් කළ යුතු බව පෙන්වා දී තිබේ. මෙම යුගය වන විට ලොව ගල් අඟුරු දුම්රියන් කෙරෙහි උනන්දු වූ නමුත් විමලසුරේන්ද්‍ර මහතා පෙන්වා දී ඇත්තේ ලාභදායී ලෙස දුම්රිය විදුලිකරණය කළහැකි බවයි.

මෙම යෝජනාවන් සාර්ථක ඵලදායී ඒවා වූ නමුත් ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන්ගෙන් සමත්විත ලංකා ඉංජිනේරු සංගමය එය පිළිගැනීමට මැලිවූ අතර ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අදහස වූයේ ජල විදුලි යෝජනා ක්‍රමය දවල් සිහින දැකීමක් බවයි. මේ නිසා මෙම විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක වීම පසෙක දැමූ බිතාන්‍ය බලධාරීන්ගේ අවධානය ඛනිජ තෙල් හා ගල් අඟුරු කෙරෙහි තව දුරටත් යොමු විය. නමුත් මධ්‍යස්ථ ඉංජිනේරුවන්ගේ හා විද්වතුන් මෙහි වටිනාකම අවබෝධ කර ගත් නිසා ඒ පිළිබඳව උනන්දු වූ බැවින් එය තව දුරටත් අතහැර දැමීමට වැඩ දෙපාර්තමේන්තුවට නොහැකි වූ අතර විමලසුරේන්ද්‍ර මහතාගේ යෝජනා තවදුරටත් අධ්‍යයනය සඳහා ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි විය. ඒ අනුව විදුලි ජනන සැලැස්මක් 1923 දී විමලසුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කළ අතර එය ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජොන් ස්ට්‍රැවන් සහ රජයේ විදුලි ඉංජිනේරු ඇෆ්.බී. රයිලන්ඞ්ගේ නිර්දේශය පරිදි ආණ්ඩුකාර විලියම් හෙන්රි මැනිංගේ අනුමැතියෙන් 1924.01.21 දින ව්‍යවස්ථාදායක සභාව මගින් සම්මත කරනු ලැබූ අතර එම වසරේදීම ඇබර්ඩීන් ලක්ෂපාන යෝජනාක්‍රමයේ ඉදිකිරීම් ආරම්භ විය.

වසර ගණනාවක සලකා බැලීම්වලින් පසු 1924දී ලක්ෂපානේ ජලවිදුලි බලාගාරයක් තැනීමට ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ආරම්භ කළ නමුත් එහි සැලසුම්කරු වූ විමලසුරේන්ද්‍ර මහතා ඉන් ඉවත් කොට කනිෂ්ඨ නිලධාරියකු වූ ඉංජිනේරු හියුස් (Hughes) ඒ සඳහා පත් කරන ලදි. ඉන් කලකිරීමට පත් විමලසුරේන්ද්‍ර මහතා මෙරටින් පිටවී බිතාන්‍ය බලා ගිය අතර යටත් විජිත භාර ලේකම් සිසිල් ක්ලෙමන්ට් (Cecil Clemente) මෙරටට පැමිණ රජයේ විදුලි කටයුතු පිළිබඳ සොයා බැලීමේදී පෙනී ගියේ ලක්ෂපාන ජලවිදුලි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී හියුස් ඇතුළු පිරිස දක්ෂතාවයන් පෙන්වා නැති බවයි. මෙම කාර්ය කිරීමේ කුසලතාව පවතින එකම පුද්ගලයා විමලසුරේන්ද්‍ර මහතා බව අවබෝධ කර ගත් යටත්විජිත ලේකම්වරයා පෞද්ගලිකව මැදිහත් වී යළි මෙහි පැමිණ මෙම කාර්ය ඉටුකරන ලෙස විමලසුරේන්ද්‍ර මහතාගෙන් ආයාචනා කරන ලදී.

ඒ අනුව යළි මෙරටට පැමිණි විමලසුරේන්ද්‍ර මහතා වෙත යටත් විජිත ලේකම්වරයා විසින් මෙම කාර්ය නිරීක්ෂණය පවරන ලදී. ඒ අනුව මේ පිළිබඳව අධ්‍යයනය කළ විමලසුරේන්ද්‍ර මහතාට පෙනී ගියේ මෙම විදුලි යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අක්‍රමවත්ව සිදුවන බවයි. දේශීය සම්පත් හා දේශීය ශ්‍රමිකයන් යොදා ගනිමින් මෙය ඉදිකිරීමට සැලසුම් කළත් ගල් වඩුවන් යොදා ගලින් නිම කිරීම වෙනුවට විදේශයෙන් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය සහ ශ්‍රමිකයින් යොදා ගැනීම නිසා අධික පිරිවැයක්ද වැය වී ඇති බවයි. ඉංජිනේරුවරයාගේ අකාර්යක්ෂමතාවය නිසා ඉදිවන ජලාශයෙන් ගම්බිම් රැසක් ජලයෙන් යටවීමටද නියමිත විය. මේ සියලු කරුණු ඇතුළත් කරමින් විමලසුරේන්ද්‍ර මහතා විසින් වාර්තාවක් සකස් කළ අතර ඒ අනුව 1927 දී මෙහි ඉදිකිරීම් අත්හිටුවීමට බි්‍රතාන්‍ය බලධාරීන් කටයුතු කරන ලදී. මේ අතර කෙහෙල්ගමු ඔයේ කිලෝවොට් 1000ක ධාරිතාවයකින් යුත් කුඩා විදුලි බලාගාරයක් ඉදිකිරීමට විමලසුරේන්ද්‍ර මහතාට හැකිවූ අතර ඒ මගින් නෝටන් හැටන් දික්ඔය නාගරික ප්‍රදේශවලට විදුලි ආලෝකය සැපයීමට හා යාබද තේ කර්මාන්ත ශාලා සඳහා විදුලිය ලබා දීමට කටයුතු කරන ලදි. එය යටත් විජිත ලේකම්ගේ ඇගයීමටද ලක්විය.

යටත් විජිත ලේකම්ගේ ඇරයුමෙන් මෙහි පැමිණි විමලසුරේන්ද්‍ර මහතා 1925 දී රජයේ ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ විදුලි ශාඛාවේ ප්‍රධානියා ලෙස පත්කරන ලදි. පසුව එම තනතුර ප්‍රධාන විදුලි ඉංජිනේරු ලෙස වෙනස් කරන ලද අතර 1926 වසරේ සිට ඔහු ප්‍රධාන විදුලි ඉංජිනේරු ලෙස ක්‍රියා කරන ලදී. ප්‍රධාන ඉංජිනේරු ලෙස පත් වූ විමලසුරේන්ද්‍ර මහතා එම දෙපාර්තමේන්තුවේ විදුලි බල අංශය වෙනම ආයතනයක් කරන ලෙසත්, ඒ වන විට පෞද්ගලික සමාගම් විසින් පවත්වාගෙන යන ලද කොළඹ විදුලිබල උත්පාදන හා බෙදා හැරීම් කටයුතු රජයට පවරා ගන්නා ලෙසත් නිර්දේශ කරන ලදී. එම නිර්දේශ අනුව 1927 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ විදුලි ශාඛාව රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertaking” DGEU) ලෙස පිහිටුවන ලද අතර කොළඹ සියලු විදුලිබල කටයුතු එය යටතට පත් කරන ලදි. පසුව විදුලි බල මණ්ඩලය බවට පත්වූයේ මෙම ආයතනයයි. ඒ අනුව විදුලිබල මණ්ඩලය ආරම්භ කිරීමේ ගෞරවයද විමලසුරේන්ද්‍ර මහතා හට හිමිවේ. විමලසුරේන්ද්‍ර මහතාගේ නිර්දේශ මත කොළඹ විදුලි සැපයුම් ව්‍යාපාරය රජය විසින් මිලදී ගන්නා ලද අතර ඒ හරහා දිවයිනේ සමස්ත විදුලි කටයුතු එක් ඒකකයක් යටතට ගැනීමට හැකිවිය. එැතැන් පටන් දිවයිනේ සමස්ත විදුලි සැපයුම් ව්‍යාපාරය රජයේ ඒකාධිකාරයක් බවට පත්විය.

විමලසුරේන්ද්‍ර මහතා 1927 දී රජයේ විදුලිබල දෙපාර්තමේන්තුවෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලබන නමුත් ලක්ෂපාන බලාගාරයේ කටයුතු යළි පණ ගැන්වීම සඳහා ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය. එම බලාගාරය සාර්ථකවීම වැළැක්වීමට බොහෝ ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවන් උත්සාහ කළ බව කියවේ. කෙසේ හෝ විමලසුරේන්ද්‍ර මහතා විශ්‍රාම යන තුරුම එහි කටයුතු යළි ආරම්භ කිරීමට නොහැකි විය. මෙරට විදුලි ඉතිහාසයේ තම නම රන් අකුරින් සටහන් කරමින් රාජ්‍ය සේවයේ ඉහළම තනතුරක් හෙබවූ විමලසුරේන්ද්‍රයන් 1929 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ අතර තිස් වසරක රාජ්‍ය සේවය තුළ මෙරට ජල විදුලියෙන් ස්වංපෝෂිත කිරීමට සියලු සැකසුම් සකස් කළත් එය සැබෑ කර ගැනීමට ඔහුට නොහැකි විය.

විශ්‍රාම ගොස් විවේක ගනු වෙනුවට තම අරමුණ වෙනුවෙන් දේශපාලනයට පිවිසීමට තීරණය කරන විමලසුරේන්ද්‍ර මහතා රත්නපුර ආසනයට තරග කොට 1931 දී ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වීමට සමත් වූ අතර ඒ මහතා තුළ පැවති ඉංජිනේරු පසුබිම නිසා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉදිකිරීම් හා සන්නිවේදන විධායක කමිටුවට පත්වීමටද එතුමාට හැකි විය. ඒ හරහා ලක්ෂපාන බලාගාරයේ කටයුතු යළි ඇරඹීම වෙනුවෙන් එතුමා පෙනී සිටි නිසා දශකයකට වැඩි කාලයක් නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ වැඩ 1938 දී යළි ආරම්භ වන නමුත් දෙවන ලෝක යුද්ධය නිසා බිතාන්‍ය රජයට මුදල් හා පිරිස් බලය හිඟ වීමෙන් එහි වැඩකටයුතු යළිත් වරක් නවතා දැමීමට සිදුවිය. එසේ නැවතුණු බලාගාරයේ වැඩ අවසාන කර ගැනීමට හැකි වන්නේ 1948දී ලංකාවට නිදහස ලැබීමත් සමගිනි. ලක්ෂපාන ප්‍රථම අදියර යටතේ මෙගාවොට් 25ක විදුලි බලයක් ජනනය කොට 66V සම්ප්‍රේෂණ පද්ධතියක් හරහා කොළොන්නාවට යැවූ අතර 1927දී පිහිටුවන ලද රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව මේ පද්ධතිය භාරව ක්‍රියා කරනු ලැබීය. ඒ අනුව වසර 25 පමණ පසු ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ ප්‍රථම අදියර 1950 දෙසැම්බර් මාසයේ නිම කරනු ලැබූ අතර විමලසුරේන්ද්‍ර මහතා එයට සහභාගි වූයේ ගෞරවනීය විශේෂ ආරාධිතයා ලෙසිනි. ඒ වනවිට 74 වන වියේ පසු වූ ඒ මහතා විවෘත කිරීමේ උත්සව සභාව අමතා කලකට පෙර යෝජනා කළ මේ ජල විදුලි බලාගාරය නිමා කිරීමට මා හට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත් මගේ රටේ සහෝදර ජනයා විසින් එය ඉදි කොට හමාර කරන තෙක් ජීවත් වීමට මට වාසනාව තිබුණා. එය මාගේ සොම්නසට හේතු වෙයි. මගේ මනසෙහි මීට අඩ සියවසකට පෙර මා දුටු සිහිනය මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙසේ සැබෑවනු දකින්නට ලැබීම ඉමහත් ප්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටු කළ මිනිසකු ලෙසයි. යනුවෙන් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

ජලවිදුලි උත්පාදනයෙන් ලැබෙන ශක්තියත් සමගින් ලංකාව නව ලෝකයට දොරටු විවර වෙද්දී ඒ සියල්ල පිටුපස සිටි යෝධ මිනිසා වසර 78 ආයු වලඳා 1953 අගෝස්තු 10 වනදා මෙලොව හැර ගියේ සිංහල මහා වංශයේ එක් පරිච්ඡේදයක් තම නමින් සටහන් කර ගනිමිනි. එතුමා විසින් එදා බොහෝ කැපවීම් කරමින් මෙරටට ලබා දුන් දායාදය නිසා කෝටි දෙකකට ආසන්න වත්මන් පරපුරම ආලෝකමත් වී තිබේ. විදුලිය මත යැපෙන ඉදිරි තාක්ෂණික දියුණුව මේ රට ලබද්දි “ජල විදුලියේ පියා” ලෙස අදටත් ගරු බුහුමන් ලබන දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර නම් ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා සිංහල මහාවංශය සදාකල් ආලෝකමත් කරනු ඇත.

අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

ලී ක්වාන් යූ-ගෝඨා සහ 20 (රටේ පැත්ත)

Next Post

ලංකා බැංකු ‘Obsequentia 2020’ සඳහා අති විශිෂ්ට පිළිගැනීමක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.