මහාබල හනුමාන්ගෙ ජීවිත කතාව
හනුමාන් අධ්‍යාපනය ලැබුවේ සූර්ය දිව්‍ය රාජයා සමඟ එකට ධාවනය කරමිනි. රාම රාවණා සටනේදී තුවාල වූවකුට අවශ්‍ය සංජීවනී ඖෂධය හිමාල වනාන්තරයෙන් ගෙනැවිත් ආපසු තබා ආවේ සුළු කාල පරාසයක් තුළදීය. ඒ ගමන් වේගය චණ්ඩ මාරුතයද පරදන්නකි. ඒ නිසා හනුමාන් පවන ධූත, පවන කුමාර සහ මාරුත නාමධාරි වේ.
ලංකා තරණයට පාලම ඉදිකරන අවස්ථාවේ හනුමාන්ට ඇති වූ විඩා ගතියක් නිවා ගැනීම සඳහා ඔහු ඒ සමීපයේ තිබූ ගංගාවක් අසලට ගියේය. ඒ අවස්ථාවේ එහි රූමත් අප්සරාවක් සිටියාය. ඇය “ස්වයං ප්‍රභා”ය. ඕ ඒ ආසන්නයේ වාසභවනයට හනුමාන් කැඳවා ගෙන ගොස් ආහාරපානාදියෙන් සංග්‍රහ කළාය. ඒ වන විට අඳුර වැටෙමින් තිබිණි. එදින රාත්‍රිය තම වාසභවනයේ ගෙවන ලෙසට අප්සරාව කළ ඉල්ලීමට අනුව හනුමාන් තෙමේ යහන් ගැබකට ගොස් නිදා ගත්තේය. අධික වෙහෙස නිසා හනුමාන් තද නින්දකට ඇද දැම්මද සිරුරට දැනුණු අමුතු ස්පර්ශයක් නිසා ඔහු උඩ ගොස් බිම වැටී අවදි වූවේය. ස්වයං ප්‍රභාවෙන්ම සියලුම ස්ත්‍රී ලාලිත්‍යනු අංගෝපාංග ප්‍රභාස්වර කෙරෙන අන්දමේ සිනිඳු දුහුල් සළුවකින් සැරසී “ස්වයං ප්‍රභා” සයනය අසල හිට ගෙන සිටියාය. ඇගේ සිරුර රත් වූ යවටක් මෙන් විය.
‘ඔබ මා ළඟ නවතින්න. හැකි සියලු සම්පතක්ම දෙන්නම්” ඈ මිමිණුවාය.
“බෑ මම බ්‍රහ්මචාරියෙක්” හනුමාන් කීය.
රාවණාගේ අන්තඃපුර ස්ත්‍රීන්ටත් හනුමාන් ඔය පිළිතුරම දුන්නේලු. කායික සහ මානසික යන දෙආකාරයෙන්ම බ්‍රහ්මචාරී හෙයින් හෙතෙම “පරම් බ්‍රහ්මචාරී” නම් වූවේය.
හනුමාන්ට තිබුණේ නම්‍යශීලී ශරීරයකි. ඒ නිසා හෙතෙම අවශ්‍ය විටෙක ඉතා කුඩා සතකුගේ වේශයකට පත් වූවේය. එසේ කළ හැකි වූයේ ඔහු යෝග අභ්‍යාස ප්‍රගුණ කර තිබූ හෙයිනි. ඒ නිසා හෙතෙම යෝගියෙකි. ළය යෝගි, හත යෝගි, ග්යාන යෝගි, කර්ම යෝගි සහ භක්ති යෝගි ආදී නම් යෙදී ඇත්තේ එහෙයිනි.
වානර වර්ගයා කිසිදින මාංශ භක්‍ෂක නොවූවේය. ඔවුහු නිර්මාංශකයෝය. බුදින්නේ පලවැල පමණි. එබැවින් හනුමාන්ද ඒ පොදු ධර්මතාවට යටත් කෙනෙකි. එහෙයින් හේ නිර්මාංශ භක්‍ෂකයෙකි.
වානර යෝනියේ උපන්නෝ ගාරික නොවෙත්. (නිවාස නැත) උහු (ඔවුහු) ගස් උඩ පමණක්ම වෙසෙත්. ඒ ධර්මතාවට අනුව හනුමාන් “අනාගාරික හනුමාන්” වේ.
අයෝධ්‍යා පුරයේ දශරථ රජතුමාට බිසෝවරු තිදෙනෙක් වූහ. රජුගේ අග බිසව කෞශල්‍යාය. ප්‍රියතම බිසව කෛකෙයි නමි. තුන් වැනි බිසව සුමිත්‍රාය. තිදෙනාටම දරුපල නොවූයෙන් රජු පුරෝහිත උපදෙස් අනුව ඍෂාශෘංග මුනිවරයා වෙනුවෙන් පැවැත්වූ යාගයක ප්‍රතිඵලයක් වශයෙන් ලැබුණු දිව්‍යමය පානයක් පානය කිරීමෙන් බිසෝවරු තිදෙනාම ගැබ් ගත්හ. රාම කෞශල්‍යාටත්, භරත කෛකෙයිටත් ලක්‍ෂ්මණ සුමිත්‍රාටත් දරුවෝවී උපන්හ. යාගයෙන් ලද දිව්‍යමය පානයෙන් ස්වල්පයක් සොරාගත් වායු දේවයා තමා මිත්‍රත්වයක් පවත්වන එහෙත් දරුපල නැති අංජානා (අංජනා) වැඳිරියට දුන්නාය. දිව්‍යමය පානය පානය කිරීමෙන් බිසෝවරුන් ගැබ් ගත්තා සේම අංජනාද ගැබ් ගත්තී වඳුරු පැටවකු ප්‍රසූත කළාය. ඒ පැටවා හනුමාන්ය. භරත සහ ලක්‍ෂ්මණ යන දෙදෙනා රාමගේ සොහොයුරන් සේම හනුමාන්ද ඒ අනුව ඔහුගේ (රාමගේ) සොහොයුරෙකැයි වේදයේ දක්වා ඇත.
දශරථ රජුගේ පුත්‍ර රාම සහ විදේහ රාජ්‍යයේ මිථිලා පුරයේ ජනක රජුගේ දියණිය වූ සීතා (ජානකී) විවාහ කරගත් දිනයේම දෙදෙනා පරිසරය නැරඹීමට මනස්කාන්ත වනාන්තරයකට ගියාහුය. නෙළඹු වැනි ජලජ පුෂ්පයන්ගෙන් සජ්ජිත පොක්ඛරණියක (පොකුණක්) දුටු සීතාට ජලස්නානය කරන්නට සිත් ඇතිවිය. ඇය රාමා සමඟ වඳුරු වෙස් ගෙන පොකුණට බැස ස්නානය කරද්දී වඳුරු පැටවකු ප්‍රසූත කළාය. ඉන් පසු ආපසු අයෝධ්‍යා පුරයට යෑමට මිනිස් වෙස් ගත්තද වඳුරු පැටියාට මිනිස් වෙස් ගැන්වීමට නොහැකි විය. වඳුරු පැටියා සිය වාස භවනයටද ගෙනයා නොහැකි බැවින් එම වනයේ විසූ කේසරී සහ අංජානි යන වඳුරු යුවළට දරුකමට හදා ගන්නට දුන් බව ඇතැම් ග්‍රන්ථයක සඳහන්වේ. ඒ අනුව හනුමාන් රාම සීතා යුවළට දැඩි බැඳීමක් ඇත්තේ ඔහු සීතාවගේ දරුවා නිසා බව කියත්.
දාහතර (14) වැනි සියවසේදී මුස්ලිම් භක්තිකයෝ හින්දු භක්තිකයන්ට හිරිහැර කරමින් තළන්න පෙළන්න වූහ. රාම රාවණා යුද්ධයේදී මහා වික්‍රම පෑ යෝධ බල යෝධ ශක්තිය ඇති හනුමාන්ට පමණක් තමන් ආරක්‍ෂා කළ හැකි බැව් සිතූ හින්දු භක්තිකයෝ ඔහු වෙනුවෙන් කන්නලව් කළහ. පුද පූජා පැවැත් වූහ. යාග හෝම කළහ. දේවාල ස්ථාපනය කරන්නට වූහ.
ජානකී (සීතා) සොයා ලංකාවට ආ ගමනේදී රාවණාගේ අත්අඩංගුවට පත් හනුමාන්ට දඬුවමක් වශයෙන් වල්ගයෙහි පාංකඩ ඔතා ගිනි තැබූ කල්හි ඒ ගිනි නිවා ගත්තේ මුහුදට පැනීමෙනි. පසුව අමතක වීමකින් වල්ගයෙන් මුහුණ පිස දැමීමෙන් වල්ගයේ තිබූ දැලි ගෑවී මුහුණ කළු පැහැ වූයේලු. එවක් පටන් මුහුණ කළු හනුමාන් “ලංගූර්” නමින් හඳුන්වනු ලබත්.
කුඩා හනුමාන්ට තිලකයක් තියන්නට ගිය සීතා අතින් සාදිලිංගම් බඳුන ප්‍රමාද දෝෂයකින් පෙරළී හැලීමෙන් ඔහුගේ සිරුර රත් පැහැ ගත්තේලු. එදා සිට හනුමාන්ගේ සිරුර රත් පැහැ වී තිබේ. රත් පැහැය ශක්තියේ සහ පෞරුෂත්වයේ සංකේතයයි. ඒ නිසා හනුමාන් “බණ්ඩාර” නම් වූවේය.
නිගමනයක් නොවරදින්නට හොඳින් සිතාමතා සැලසුම්කර කරන හෙයින් හනුමාන් “චිත්ත්‍යාමාස වානර” නමින්ද හැඳින්වේ.
උපනිෂද් ග්‍රන්ථවල හනුමාන් බ්‍රහ්මඤාණි, එකොළොස් වැනි රුද්‍ර, වේදාන්ත ආචාර්ය ලෙසින්ද දැක්වේ. ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් දෙන හෙයින් හෙතෙම “සංකට් මෝචන්” නම් වන්නේය.
සටන් කලාවේ නෛපුණ්‍යත්වයක් ඇතිව සටන් ජය ගත් හෙයින් සටන් අධිපතිය.
දූත මෙහෙවරෙහිද කිසිවකුට නොදෙවැනි බැවින් හෙතෙම “දූතාධිපතිය”
ජෛන ග්‍රන්ථවල කාමදේවයන් විසි හතර (24) දෙනකු සඳහන් වන අතර ඉන් දහඅට (18) වැන්නා හනුමාන්ය.
සංගීතයේ ආරම්ය පිළිබඳ සටහන් පාරිජාත. සංගීතයේ සමාරම්භක ආචාර්යවරුන් අර (8) දෙනාගෙන් කෙනකි හනුමාන්.
කිෂ්කින්ද නම් ප්‍රදේශය වඳුරු රාජධානියකි. එහි විසූ වානරයනට කතා කිරීමේ හැකියාව තිබියේලු. එම වානර පරම්පරාව පුලස්ති හෙවත් පුලතිසි ඍෂිවරයාගෙන් පැවැතෙන්නෝය. ඒ ගණයා අතර ප්‍රධානියෝ දෙදෙනෙක් වූහ. ඉන් එකෙකු සූර්ය දිව්‍ය රාජයාට (හිරු දෙව්ට) දාව උපන් “සුග්‍රීව”ය. අනෙකා ඉන්ද්‍ර දෙවියන්ට දාව උපන් “වාලි”ය. මේ දෙදෙනා (සුග්‍රීව සහ වාලි) පියවරුන් දෙදෙනකුගේ වුවත් එකම වඳුරු මවකගේ කුස උපන්නෝ බැවින් සහෝදරයෝය. එක කුස උපන්නද දෙදෙනා නයි පොළඟුන් මෙන් එකිනෙකා වෛරී වූහ. ඒ රජකමට (නායකත්වයට) තිබූ කෑදරකම නිසාය. සුග්‍රීව සාමකාමී සුශීලවන්තයෙක් වුවද “වාලි” ඉතා නපුරෙකි. අංජානි නම් වැඳිරියගේ කුසින් උපදින වඳුරකුගෙන් නායකත්වයට අභියෝගයක් අනාගතයේදී එල්ලවන බව ඍෂි භාෂිතයෙන් දැන ගෙන සිටි වාලි අංජානි ගැබ් ගන්නේ කවරදා දැයි මාන බලමින් උන්නේය. අංජානි ගැබ් ගත්තීය. වාලිගේ වාරය උදාවිය. රන් රිදී තඹයකට සහ බෙලේ යන් පස්ලෝ (ලෝහ) යොදා ගනිමින් වාලි සකස් කර ගත් අවියෙන් සිය නූපන් සතුරා (හනුමාන්) නසන්නට දරු ගැබට ඇන්නේය. කුසේ වැඩුණේ ශිව දෙවියන්ගේ දරුවෙකි. මහ දෙවියන්ගේ ආනුභාව නිසා අවිය උණුවී කුණ්ඩලාභරණයක් නිර්මාණය විය. එසේ නිර්මාණය වූ කුණ්ඩලාභරණය ගර්භාෂයේ සිටි හනුමාන්ගේ දෙකනට ආභරණ වූවේය. ඔහු ලොවට බිහිවුණේද දෙකනේ කුණ්ඩලාභරණ ඇතිවිය.
හනුමාන්ගේ ගෙල වටා මුතු පොටක් තිබේ. එය සීතාගේය. හනුමාන් සීතා සොයා ලංකාවට පැමිණ ඇය හමුවූ බව රාමාට පසක් (සනාථ) කිරීමට සංකේතයක් වශයෙන් ඇගේ කරේ තිබූ මුතු පොට ඔහුට දුන්නේය. හනුමාන් පැලැඳ සිටින්නේ එසේ ලද මුතු පොටයි. හනුමාන්ගේ නළලේ ඇති තිලකය ඔහුගේ මව් අංජානි විසින් තබන ලද්දකි.
චන්ද්‍රසේන මාරසිංහ











