කොළඹ සිට මහනුවරට මහා මාර්ගයේ එන විට කෑගල්ලට සැතපුම් පහක් තිබිය දී ගලිගමුව නගරය හමුවේ. නගරය මැදින් දකුණතට ඇති මාර්ගය අවිස්සාවේල්ලටය. එතැනින් ඇඹිලිපිටිය හරහා නෝනාගම හන්දියෙන් හම්බන්තොටට යා හැකිය.
මම ඉතාම කැමැති හරිය ගලිගමුවේ සිට අවිස්සාවේල්ල දක්වා ප්රදේශයයි. කඳු, පල්ලම් වෙල් එළි, තේ වතු, රබර් වතු, ලයින් පේළි, කෝවිල්, පන්සල්, මුස්ලිම් පල්ලි සීතල දේශගුණය කියලා වැඩක් නැත. අනෙක් අතට සීතාවක රාජසිංහ රජුගේ පාරාදීසය සීතාවක ගඟ පෙතන්ගොඩ උයන හරිම සුන්දරය. ඔය සුන්දර පරිසරය රාජසිංහ රජුට සුන්දර දේවල් කෙරෙහි ඇල්ම බැල්ම ඇති කරවන්නටද හේතු වන්නටද බැරි නැත. රාජසිංහ රජු දෑතට කඩු දෙකක් ගෙන සටන් කරන්නටත් වේගයෙන් ධාවනය කරන අසුන් දෙදෙනකුගේ පිට උඩ දෙපය රඳවා හිටගෙන සටන් කරන්නත් අති දක්ෂ රණශූරයෙක්ලු. යුද්ධයට මෙන්ම හෙතෙම රහස් වැඩවලටද රුසියෙක්ලු.
ගලිගමුව නගරයත් සමඟ ඇති වෙල් යාය සැතපුම් ගණනක් දුරය. එහි අවසන අරන්දර අම්බලම, සූනියම් දේවතා බණ්ඩාර දෙවියන්ගේ පුදුම හාස්කම් ඇතැයි කියන දේවාලය සමග විහාරස්ථානයයි. ඔය මඟ යන්නෝ නොවැරැදීම ඔය දෙපොළට නොගොස් නම් යන්නේම නැත. එතරම්ම මන බඳන පරිසරයයි. හැමතින්ම ගැමි සුවඳයි.
“ආච්චියෙ අනේ අපි ටිකක් අම්බලමෙ ඉඳල යමු.” පන්සලටත් දේවාලයටත් ගොස් සිය ආච්චිත් සමඟ ආපසු ගෙදර එන යුවතියන් තිදෙනාගෙන් එකියක් කීවාය. දෙදෙනකු ඇගේ මිනිපිරියන්ය. (සියපුත්රයාගේ දියණියන්ය) අනෙක් යුවතිය අසල් වැසි ඥාති දියණියකි.
“පරක්කු වෙන්ඩ බෑ පොඩි දුව. හැන්දෑ වෙනවට උයන්නත් තියෙනවා”
“ඉඳා, මෙන්න බොලේ වැඩක්. ඉර බහින්නත් තව පැය දෙකක් විතර තියෙනවා. අම්ම උයයි”
“අම්මට තනියම පුළුවනැ”
“ඇයි අප්පච්චි ඉන්නෙ. නේද අක්කෙ. ඇරත් අපි මෙතන පැළවෙනවයැ”
“පොඩි දුව ඔයා කියන කියන එකට මොකක් හරි කියනව. මනුස්සයෙක් එක්ක ගිහින් කොහොම දීගකයිද? මන්ද? හා හා යමං යමං”
“ආච්චියෙ ඇයි එක මනුස්සයෙක්. මට දෙන්නෙක් හොයල දෙන්ඩකො දීගකන හැටි මම ආච්චිට පෙන්නන්ඩ”
“ඇති ඇති අන්න කවුද මෙහාට එනව කෑ ගහන්ඩ එපා”
කෙල්ලෝ නිහඬ වූහ. ඔවුන්ගේ ආච්චී (මිත්තණිය) අත් මල්ලෙන් :්ය්බාඉ්ට* බුලත් විටක් එළියට ගත්තීය. ඔය වෙලාවෙ ඉර බැසයමින් තිබිණි. මළානික හිරු රැස් වෙල් එළිය පුරාම තැවරෙමින් අමුතු හැඩතල නිර්මාණය කෙළේය.
“හරි රස්නෙයි. මෙතන හුළං වදිනව ඒකයි ආවෙ” පවසමින් අම්බලමට ගොඩ වැදුණු අමුත්තා යුවතියන් දෙස බලා සුහද සිනාවක් පා ඔවුන්ගේ මිත්තණිය ආසන්නයෙන් ඉඳගත්තේය. අමුත්තා තලතුනා විය ඉක්ම වූ බව පෙනෙන්නට තිබිණි. ඒ වෙලාවේ පොඩි එකී හොරෙන් අක්කා දෙස ඔලොක්කුවට බැලුවාය. ඇය දකුණතේ ඇඟිලි හතරක් අකුළුවා දිග හළ දබරැඟිල්ල අමුත්තාට නොපෙනෙන්නට දෙතොල් මැදින් තබා නැඟණියට අනතුරු ඇඟෙව්වාය.
“විටක්නං මටත් තිබුණොත් හොඳයි” අමුත්තා ඇය දෙස බලා කීවේය.
“ටිකක් ඇති දෙන්න පිරිමහ ගෙන කමු. ඉක්මනට යන්ඩ ආපු හින්ද මම එක විටයි ගෙනාවෙ”
“ජෝඩුව මල් කඩන්න පටන් ගත්ත” පොඩි එකී අක්කලාට කීවාය. ඒ දෙන්නාට “හිකිස්” ගා හිනාවක් පැන්නේය. අමුත්තා ඇස් උඩ ඉන්දා තරුණියන් දෙසම බලා උන්නේය. “පොඩි බඞ්ඩ” මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්නට ඇති බව ආව්චි දැන ගත්තාය.
“ඇයි පොඩි දුව”
“මං හිතුවෙ ආච්චි ඩයිනමයිට් එකක් හිර කරයි කියල” ලොකු දෙදෙනාට හිනාව නවත්වා ගන්නට බැරිවිය. ඒ දෙදෙනා දෙකට නැමී උකුළේ මුහුණු සඟවා ගෙන සිනාසෙන්නට වූහ. ආච්චිටත් නිකං ඉන්න බැරි විය. ඩයිනමයිට් කතාව තේරුම් ගන්න බැරිවූ අමුත්තා හොල්මන් වී සිටියේය.
“මොකක්ද? ඩයිනමයිට් හිර කරනව කියන්නේ” ලොකු දෙදෙනා නැවතත් උකුළේ මුහුණු සඟවා ගත්හ.
“මම බුලත් විට කොටන එකට තමයි එයා ඩයිනමයිට් හිරකරනවා කියන්නේ”
එවර හිනාවෙන්න පටන් ගත්තේ අමුත්තාය. ඔහුට හිනාව නවත්වා ගන්නට බැරි විය. කටේ තිබූ බුලත් විට හිස් පොල්ලේ ගියේය. ඔහු හිනාවෙමින්ම කැස්සේය. කහිමින්ම හිනා වුණේය. අන්තිමේදී ඔහු හති අරින්නට පටන් ගත්තේය. ලොකු දෙන්නාට හුස්ම ගන්නත් අසීරු තරම් විය. නාස්පුඩු බරවී තිබිණි. ඇස්වලින් කඳුළු බේරෙන්නට විය. පස් දෙනාම ටික වෙලාවක් අමාරුවෙන් හුස්ම ගනිමින් හිනාවේ මහන්සිය නිවා ගත්හ.
“කට්ටිය කොහෙ ගිහිල්ලද?”
“මේ දරුවො ටික පන්සල් ගිහින් දේවාලෙට යමු කීව. මේ ගිහින් එන ගමන්” වෙල් එළිය හරහා සුළං රැල්ලක් හමා ආවේය. එය මඳ පවනකි. තිදෙනාගේම අක්බමරුන් නටන්න විය. ලොකු යුවතිය දකූණතින් කෙස් රොද සකස් කළාය.
“මේ තුන් දෙනා”
“දකුණු පැත්තෙන් ඉන්න දෙන්නා මගෙ පුතාගෙ දුවල දෙන්න. කෙරවළේ ඉන්නෙ මගෙ බාල මල්ලිගෙ දුව”
“වාසනාවන්” යැයි කී ඒ තලතුනා මනුස්සයා “පෙළවහක් කර ගෙන නැද්දැ”යි ඇසුවේය. ඔහුට ප්රශ්නය අසා නිම වෙන්නටත් පෙරම “පොඩිබඞ්ඩ” පිළිතුරු දුන්නාය.
“ආච්චිට තවම කෙනෙක් හම්බවෙලා නෑ. දැන්නං හරි වාගෙ”
ඉස්සර හිනාව දෙගුණ වී යේය. ආච්චිටත් හිනාය. ඇගේ ප්‍රේමවන්තයාටත් හිනාය.
“අපේ සීයත් එක පයින් කැමැති වෙයි”
හරි. හරි. මම ආච්චි එක්ක යන්න එනව. ගෙදර හොයාගන්නෙ කොහොමද?
“අය්යෝ සුළු දෙයක්නෙ. මේ වෙල් ඉස්මත්තට ඇවිත් මිල්ලගස්ටියෙ මොහොට්ටාලලගෙ ගෙදර කොහෙද කියල ඇහුවම කවුරුත් කියයි. ඒ අපේ සීය.”
“පොඩි දුව දැන් ඇති සුනංගු වුණා යමු.”
මිත්තණිය උන් තැනින් නැඟිට මිදුලට බැස්සාය. ඒ අනුව යුවතියන් තිදෙනාද මිදුලට බැස්සාහ.
දින දෙකකට පසුව අම්බලම පිහිටි වෙල් යායේ කෙළවර විසූ මිල්ලගස්පිටියේ මොහොට්ටාලගේ නිවසේ සියලු දෙනාට සීතාවක රාජසිංහ රජුගේ මාලිගාවේ වහාම පෙනී සිටින ලෙසට රාජ පුරුෂයෙක් පණිවුඩයක් ගෙනාවේය. දෙකාන්සියෙන් දාඩිය පෙරමින් මාලිගයට ගිය සියලු දෙන සිංහාරූඪ සීතාවක රාජසිංහ රජු ඉදිරියේ මුණින් තලාවී වැඳ වැටුණාහ. තොපගෙන් මට වරදක් සිදුවුණේ නැහැ. තොපට මගේ ආරක්ෂාව ලැබෙනවා. වහා නැඟී සිටුවයි” කී රජු “කෝ තොපගේ මිත්තණිය එක්ක ආවා දැයි” දැරිය දෙස බලා සිනාසෙමින්ම විචාළේය.
“ඒ අවට වෙල්යාය තොපට ඉර හඳ පවතින තාක් ගම්වර කොට දෙවා වදාරනවා. සීතාවක රාජසිංහ එදා මහත් සතුටට පත්කිරීම වෙනුවෙන් තොපට දෙන තුටු පඬුරුයි මේ.
එදා සීතාවක රාජසිංහ රජු විසින් ගම්වර කොට දෙන ලද වෙල් යාය අදත් “බිසෝවෙල” ලෙසින් හැඳින්වේ.
සීතාවක රාජධානියේ එදවස ජ්‍යොතිෂ ශාස්ත්රයේ සහ මන්ත්‍ර ශාස්ත්රයේ කෙළ පැමිණි ගණිතඥයෙක් විසුවේය. හෙතෙම fදාඩම්ගොඩ ගණිතයා නම් වූයේය. ඔහු යකුන් පමණක් නොව දෙවියන් බඹුන් පවා මන්ත්‍ර බලයෙන් බන්ධනයට ගත්තේය. fදාඩම්ගොඩ ගණිතයා ජීවත් වූවේ සීතාවක රාජධානියේ කෑගල්ලට අයිති පළාතේය.
රණශූරයකු මෙන්ම ස්ත්‍රී ලෝලයකුද බව කියන සීතාවක රාජසිංහ රජු අඟුරුවැල්ලත් රුවන්වැල්ලත් අතර ප්‍රදේශයේ පිහිටි පෙතන්ගොඩ උයන ආසන්නයේ තැනකට යන්නට එන්නටද පුරුදුව සිටියේය. අඳුර වැටෙන්නට ඔන්න් මෙන්න කියන මොහොතේ වෙස්වළා ගන්නා හෙතෙම හොර රහසේ තනි පංගලමේම අර නිවසට ගොස් පාන්දරින්ම ආපසු එන්නේය.
රජතුමා පෙතන්ගොඩ උයනේ ඇවිදින්නට ගිය අවස්ථාවේ උණ කටුවක් (එම කටු උණ පඳුර මේ දක්වාම තිබේ) ඇනුණ බව ඔය අතරේ ප්‍රසිද්ධ විය. ඒ ආරංචිය අසන්නට ලැබුණු දොඩම්ගොඩ ගණිතයාද ඒ ගැන අවදියෙන් සිටියේය. කන්ද උඩරටින් විෂ වෛද්‍යවරයකුද සීතාවක රජ වාසලට හොර රහසේ ගෙන්වා ගත් බවක් අවදියෙන් සිටි දොඩම්ගොඩගේ කනටද වැටුණේය.
ගණිතයා රජ්ජුරුවන්ගේ කේන්ද්‍රය පරීක්ෂා කෙළේය. ලග්නාධිපති නීචවී සිටියේය. අටවැන්න මාරකස්ථානාධිපති උච්චවී සිටියේය. ගණිතයා සියලු කරුණු ගැන සලකා තත්කාල කේන්ද්‍රයක් සකස් කර බැලුවේය. ග්‍රහ පිහිටීම අනුව රජු ඔත්පොළව සිටිය යුත්තේ සිරුරට කිසියම් තුවාලයක් සිදුවීමෙන් නොවේ. ඒ සර්ප විෂකින් බව ගණිතයා සහ සුද්දෙන්ම දැන ගත්තේය. “මට කෙළවපු එකාට මමත් කෙළවඤ්ඤං” ගණිතයා දත්මිටි කෑවේය. කෝපයෙන් පිපිරුවේය. මොන සක්කරයා ආවත් විෂ බස්සන්ට බැරිවිය. රණශූර සීතාවක රාජසිංහ රජු පරලොව ගියේ එපරිද්දෙනි.
චන්ද්‍රසේන මාරසිංහ











