මෙම වනාන්තරයේ භූමි ප්‍රමාණය සාමාන්‍යයෙන් හෙක්ටයාර 104ක් (අක්කර 257ක්) පමණ වෙනවා. උඩවාසලවත්ත යන නමින්ද උඩවත්ත වනාන්තරය හඳුන්වන අතර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙය පාලනය වනවා. දේශීය සහ විදේශීය සංචාරකයන් මෙන්ම පරිසරවේදීන්ගේ තෝතැන්නක් ලෙසද උඩවත්ත කැලය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි අභ්‍යන්තරයේ තිබෙන විවිධ පාරිසරික වෙනස්කම් හා ජෛව විවිධත්වය මූලික කරගෙනයි. උඩවත්ත වනාන්තරයේ එක කොනක් හන්තාන කඳුවැටිය දක්වාම දිවෙනවා. උඩරට වනාන්තර පද්ධතියත් සමග එකතු වන වනාන්තරයක් ලෙසද මෙය හඳුන්වන්නට හැකියි.
අංකෙන්ද, කටුඹුල්, වල්දෙල්, කිතුල්, පුස් වැල්, කුරුඳු, වල් මූණමල් සහ වල් කරපිංචා, කිරිවැල්, නිර්වැල් සහ ඇටඹ වැනි ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග මෙම වනාන්තරයේ සුලබව දැකිය හැකියි. එසේම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් සහ සංචාරක පක්ෂීන් වර්ග 80ක් පමණ නැරැඹීමේ හැකියාවද උඩවත්ත වනාන්තරයේදී ලැබෙනවා. අළු ගිරවා, රන්පිළිහුඩුවා, මහගොයා, අළුකොබෙයියා, පොලොස් කොට්ටෝරුවා, රන් මුහුණත් කොට්ටෝරුවා යන පක්ෂි විශේෂ ඒ අතරින් විශේෂ තැනක් ගනු ලබනවා. තෙත් කලාපයට ආවේණික මැඩි විශේෂ, හඳුන් දිවියා, කබල්ලෑවා, වල් බළලා, පිනුම් කටුස්සා, කැන්ගරු කටුස්සා සහ මුගටියා වැනි ඉතා කුඩා සතුන්ද උඩවත්ත වනාන්තරයේදී දැකගත හැකියි.
මෙම වනාන්තරයේ සංචාරය සඳහා සුදුසුම කාලසීමාව ලෙස උදෑසන 6 සිට උදෑසන 9 දක්වා වූ කාලය හඳුන්වා දීමට පුළුවන්. ඊට හේතුව වන්නේ එම කාලය තුළ සතුන්ගේ චර්යාවන් වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි වීමයි. වනජීවී ඡායාරූප ශිල්පීන්ට සහ පාරිසරික ඡායාරූප ශිල්පීන්ට එම කාලය තුළ වඩාත් අලංකාර ඡායාරූප සිය කැමරා කාචවල සටහන් කරගැනීමේ අවස්ථාව හිමිවනවා. උදෑසන සූර්යාලෝකය පතිත වන අලුයම් කාලයේදී උඩවත්ත වනාන්තරය ඉතා චමත්කාරජනක දසුන් මවන්නට සමත් වෙනවා.
කෙසේ වෙතත් උඩවත්ත වනාන්තරයේ පවතින පාරිසරික වටිනාකම දිනෙන් දිනම අඩුවෙමින් පවතින තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අද වන විට පෙම්වතුන්ගේ පාරාදීසයක් බවට එම වනාන්තරය පත්ව ඇති අතර, දෛනිකව එහි පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ නිදහසට එය මහත් බාධාවක්ව ඇති අයුරුදු හඳුනාගත හැකියි.
උඩවත්ත කැලේ නම් වූ මෙම මාහැඟි පරිසර කලාපයේ සුන්දරත්වය සහ වටිනාකම ආරක්ෂා කිරීමට බලධාරීන් මීට වඩා පුළුල් වැඩපිළිවෙළක් යොදනවා නම් එය අපේ අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මහා ආයෝජනයක් බවද කිව යුතුයි.

සමන් හල්ලොලුව