අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ ජෛව විවිධත්වයෙන් උපරිම පරිසර පද්ධතියක් වන කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි රුහුණ කන්ද පිළිබඳවයි. සිංහරාජ වනාන්තරයට යාබදව පිහිටි මෙම රුහුණ කන්ද වන පියස දෙස් විදෙස් සංචාරකයන්ගේ සහ පර්යේෂකයන්ගේ තෝතැන්නකි. විවිධ පක්ෂීන්, උරගයන්, කෘමි විශේෂ, මැඩි විශේෂ, ක්ෂීරපායීන් මෙන්ම ඉතා දුර්ලභ සමනල් විශේෂද මෙම වනාන්තරයේ දැකගත හැකියි. මගුරු ගඟ රුහුණ කන්ද වනාන්තරය හරහා ගලා යෑම නිසා තවත් අමතර ආකර්ෂණීය බවක් ඊට එක්ව තිබෙනවා. මෙම වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් ලෙස හැඳින්වෙනවා. රුහුණ කන්දේ විශේෂත්වයක් වන්නේ නිවාස තුනකින් පමණක් සමන්විත කුඩා ගම්මානයක් මෙම වනාන්තරය තුළ පිහිටා තිබීමයි. ගම්වැසියන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිසරට ආදරය කරන අය වීම ඉතා අගය කළ යුතු කරුණකි.
රුහුණ කන්ද පර්යේෂණ මධ්‍යස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. පර්යේෂණ, අධ්‍යයනය, ක්ෂේත්‍ර චාරිකා සහ පරිසර සංරක්ෂණය යන කටයුතු එම මධ්‍යස්ථානය හරහා සිදුකරන සේවාවලින් කිහිපයකි. උණහපුළුවා, පලා පොලඟා, වලිකුකුළා, අළු කෑ`දැත්තා, ඉන්දියන් පිත්තා, ගොනුස්සා, ඇහැටුල්ලා, මකුළුවන්, රත් කෑරලා, පිනුම් කටුස්සා සහ මැඩි වර්ග, මෙරටට ආවේණික මිරිදිය මසුන්, බත්කූරා, කුඩා කුහුඹු වර්ග, විෂ සහිත කඩි විශේෂ, විවිධ මල් වර්ග, ඒක දේශීය ශාක සහ ඕකිඩ් වර්ග ද මෙහි දැකගන්නට ලැබෙනවා. පිටතඹල වන බස්සා, ඒකදේශීය පඬුවන් බස්සා, වත රතු මල් කොහා, අළු දෙමළිච්චා, කැහිබෙල්ලා ආදී පක්ෂීන්ද සුලබව මෙහි දැකගත හැකිය.
කුරුලු විශේෂ 52ක් පමණ රුහුණ කන්ද වනාන්තරය තුළදී නිරීක්ෂණය කළ හැකි බව වාර්තාවල සඳහන්ය. නොඉඳුල් පරිසරය විඳගැනීමටත්, පරිසර අධ්‍යයනයන්ටත්, සොබාදහම සුරැකීමටත් මේ සුන්දර වනාන්තරයට යෑමට දැන් ඔබට අවස්ථාව විවරව තිබෙනවා. ඒ උදෙසා වන මාර්ගෝපදේශකත්වය සහ දැනුම බෙදාදීම සඳහා රුහුණ කන්ද සංචාරක සහ සංරක්ෂණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඔබ මේ සොඳුරු වන පියසට එන්නේ නම් පා සටහන් පමණක් ඉතිරි කර ආපසු යෑමට වග බලාගන්න. කිසිවක් රැගෙන නොයන්න. රුහුණු කන්ද සංචාරක මධ්‍යස්ථානයේ වැඩමුළු පැවැත්වීම සඳහා සහ රාත්‍රී නවාතැන් ගැනීම සඳහාද පහසුකම් පවතින අතර මස් මාංශ සහ මත්පැන්වලින් තොරව ආහාර ගැනීමට අදාළ නීතිරීති පද්ධතියක්ද එහි ක්‍රියාත්මක වේ. 2009 සහ 2011 වසරවල ආරම්භ වූ මෙම සංචාරක හා පර්යේෂණ මධ්‍යස්ථානය හෙක්ටයාර 5,000කින් පමණ සමන්විත වන්නකි. එම මිනුම්කරණය සිදුකර ඇත්තේ 1920දීය.
රුහුණ කන්ද පරිසර පද්ධතියට පැමිණීම සඳහා වඩාත් සුදුසු කාලසීමාව වන්නේ දෙසැම්බර් සිට මාර්තු දක්වා වන කාලපරිච්ඡේදය බව හඳුනාගෙන ඇත. එම කාලසීමාව තුළ වර්ෂාපතනය අඩු වීම ඊට හේතුවයි.
සිංහරාජ වනාන්තරය හා සමානත්වයේලා සැලකිය හැකි වටිනා පරිසර පද්ධතියක් වන මෙම රුහුණ කන්ද වනාන්තරය රැකගැනීම පරිසරට ආදරය කරන සැමගේ වගකීමක් බව ‘කැලෑ කොලමේ’ අපි සිහිපත් කරමු.
සමන් හල්ලොලුව