රිවස්ටන් කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සන, සුන්දර පරිසරයකට උරුමකම් කියන ප්‍රදේශයක්. රිවස්ටන්වලදී ශ්‍රී ලංකාවේ ඇති පරිසර කලාප
සියල්ලගේම දේශගුණය එක ස්ථානයකදී විඳගන්න පුළුවන්. අති රමණීය දුම්බර කඳු පන්තියත් නකල්ස් රක්ෂිතයත් මායිම් කරගෙන රිවස්ටන් පිහිටා තිබෙනවා.
රිවස්ටන් අයත් වන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයට. ඔබ කොයි සිට හෝ රිවස්ටන්හි සංචාරය කරනව නම් මාතලේට පැමිණ මාතලේ සිට රත්තොට හරහා රිවස්ටන් බලා ගමන් කළයුතු වේ. මේ ගමන අතරමගදී ඉතා සුන්දර දර්ශන පෙළක ආශ්වාදය විඳගැනීමට හැකිවේ.
මාතලේ නගරයේ සිට කිලෝමීටර් 30ක පමණ දුරකින් රිවස්ටන් පිහිටා තිබෙනවා. එහි රිවස්ටන් දක්වා ඇති මාර්ගයේ පිහිටීම නිසාම සුදු ජාතිකයින් රිවර්ස්- ටර්න් හෙවත් රිවස්ටන් ලෙස හඳුන්වා මෙයට නම් තැබූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. මාතලේ සිට රිවස්ටන් දක්වා යන ගමනේදී බොහෝ දෙනෙක් දන්න සුන්දර බඹරකිරි ඇල්ල හමුවනවා.
පහුගිය දවස්වල සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වුණු පෝස්ට් එකක් තමයි “මාතලේ ටවුන් එකෙන් රටකජු ගොට්ටක් අරන් මාතලේ ඉඳන් හෙට්ටිපොළ යන බස් එකේ ජනේලයක් අයිනෙ වාඩිවෙලා හෙට්ටිපොළ දක්වා යන්න, අතිශය සුන්දර අත්දැකීමක් ලබා ගන්න පුළුවන්” කියලා. අන්න ඒ සඳහන් වුණු මාර්ගය තමයි මාතලේ සිට රිවස්ටන් හරහා හෙට්ටිපොළ දක්වා දිවෙන මේ මාර්ගය.
මේ රිවස්ටන් හරහා මාතලේ හෙට්ටිපොළ මාර්ගයේ ගමන් ගන්න ඕනම කෙනෙක්ට ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරත්වය විතරක් නෙවෙයි දේශගුණික කලාප කීපයක් හරහා ගමන් කරන්න පුළුවන්. විටෙක මීදුමෙන් පිරුණු පෙනෙන තෙක්මානය දක්වා නිල්වන් දුම්බර කඳුකරය මැදින්. තවත් විටෙක වියළී ගිය වන ලැහැබවල් මැදින්, කුඩා දිය කඩිති, තේ වතු , දිය ඇලි, ජල දහරා, වෙල් යායවල් මැදින් අතිශය සුන්දර ගමනක ආශ්වාදයක් මෙහි සංචාරය කිරීමෙන් ඔබට ලබාගැනීම හැකිවේ.
එක් පසෙකින් නකල්ස් රක්ෂිතයත් දුම්බර කඳු පන්තියේ මානිගල පෙරටු කරගත් දැවැන්ත කඳු වන මැද යෝධයින් සේ බලා සිටිමින් නකල්ස් රක්ෂිතයට අමුතුම සුන්දරත්වයක් එකතු කරයි.
රිවස්ටන් පසුකර පිටවල ගම්මානය දක්වා ගිය විට රිවස්ටන්හි ඇති කුඩා වැව් දෙකක් හමුවේ. රිවස්ටන් සංචාරය කරන බොහෝ දෙනෙක් මේ පිළිබඳව නොදනී. පිටවල සහ ඇටන්වල ගම්මාන නකල්ස් රක්ෂිතයට මායිම්ව වෙල් යායවල් මැදිකරගත් සුන්දර දර්ශන ගම්මානයක සිරියාව මැනවින් පෙන්නුම් කරන අතර මේ පරිසර කලාපයට අමුතුම සුන්දරත්වයක් එකතු කරයි.
රිවස්ටන්හි ඇති පිටවල පතන හරහා ගමන් කොට ලංකාවේ ඇති ලෝකාන්තවලින් ප්‍රසිද්ධ ලෝකාන්තයක් වන පිටවල පතනේ පුංචි ලෝකාන්තය දැකගත හැකි වේ. තව දුරටත් රිවස්ටන්හි සිට හෙට්ටිපොළ මාර්ගයේ ඉදිරියට ගියවිට සුන්දර සේර ඇල්ල, වැද්දාපැනි ඇල්ල මෙන්ම තෙල්ගමුව ඔය ආසියාවේ කුඩාම ගම්මාන වන රෙඩ්බානා, සහ ඇටන්වල හරහා ගොස් අතහැර දැමූ වල්පොලමුල්ල ගම්මානයද නැරඹිය හැකි වේ. ඇටන්වල සහ රඹුක්ඔලුව ගම්මානවලින් සුන්දර නකල්ස්වලට පිවිසීමේ සුප්‍රසිද්ධ මංපෙත් දෙකක් පිහිටා ඇත. ඒ හරහා ගොස් නකල්ස් වනයේ ඇති සුප්‍රසිද්ධ දූවිලි ඇල්ල, අනන්ත තටාකය සහ දුම්බර ඇලි දුම්බර කඳුපන්තිවල, නකල්ස් වනයේ සුන්දරත්වය විඳගත හැකිවේ. නමුත් රඹුක්ඹලුව ගම්මානය මේ වන විට කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් නුදුරේදීම අපට අහිමි වන තවත් සුන්දර ගම්මානයක් බවට ඉතිහාසයට එක් වනු නොඅනුමානය.
පහුගිය මාස කීපයක කාලය තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින්ගෙන් හිස්වූ හුදකලාව තිබූ මේ පරිසර කලාපය ඉදිරියේදී කුමන අතකට යයිද යන්න ඉතා කෙටි කාලයකදී මෙම පරිසර කලාපය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින ගොඩනැගිලි දකින ඕනම කෙනෙක් හට පැහැදිලිව තේරුම් ගැනීමට හැකිවේ.
ශශින් විජේතුංග