දොළොස්බාගේ කඳුවැටියේ කඳු අතර පිහිටි කුඩා නගරයක් තමයි දොළොස්බාගෙ කියන්නෙ- මේ කඳුවැටියේ ප්‍රධාන මුදුනක් වන රාස්සාවත් ඒ ආසන්නයේම පිහිටලා තියෙනවා- ගම්පොළ නැත්නම් නාවලපිටියේ ඉඳලා කඳු පල්ලම් සහිත මාර්ගයන් ඔස්සේ දොළොස්බාගෙට එන්න පුළුවන්- රාස්සාව කන්දෙන් ඇරඹෙන දිය කඳුරු එකතුවෙලා නිර්මාණය වෙන දියතිර ඇල්ලත් දොළොස්බාගේ ආසන්නයේදී මාර්ගය අසලම දැකගන්න ලැබෙනවා- අද අපේ ගමනාන්තය වෙන්නෙ පැලම්පිටියේ පිහිටලා තියෙන දිය ඇගිරෙන ඇල්ල- ඒ සඳහා අපි තෝරාගත්තේ දොළොස්බාගේ ඉඳන් වින්සර්ෆොරස්ට් තේ වතුයායන් පහුකරගෙන පැලම්පිටිය දක්වා දිවෙන මාර්ගයයි-
කඳු, පල්ලම්, වංගු සහිත පටු මාර්ගය අවට දර්ශනය නම් හරිම සුන්දරයි- කඳුවැටි මැදින් ඈතින් ඈතට විහිදෙන ගැඹුරු නිම්නයේ ගලාගෙන යන්නෙ වී ඔය- වෑ ඔය කියලත් මේ දිය දහර හඳුන්වනවා- ඊට ඉහළින් දකින්න තියෙන්නෙ කුඩා වන තීරයන් හා තේ වතු යායන්- මාර්ගයේ වම් පස භූමිය වී ඔය දක්වාම බෑවුම් වෙනවා- අනෙක් පැත්තෙන් කඳු මුදුන් දක්වාම පැතිරුණු තේ වගා බිමයි දැකගන්න ලැබෙන්නෙ- කඳු මුදුන්වලින් පටන්ගෙන වී ඔය දක්වා ගලන කුඩා දිය කඳුරු පරිසරයට ගෙන එන්නේ අපූරු සුන්දරත්වයක්-
මේ විදියට දොළොස්බාගේ ඉඳන් කිලෝ මීටර් 5ක විතර දුරක් පැලම්පිටිය දක්වා යන ගමනෙදි වින්සර්ෆොරස්ට් වතුයායේ මෙන්ම කැල්වින් වතුයායේ පිහිටලා තියෙන කුඩා දිය ඇලිත් දැකගන්න ලැබෙනවා- ඒ වගේම පැලම්පිටියට ආසන්න වන තුරුම ජනාවාස ඉතාමත් අඩුවෙන් ඇති නිස්කලංක පරිසරයක් මැදින් ගමන් කරන්නට ලැබීමත් අපූරු අත්දැකීමක්- දොළොස්බාගෙ ඉඳලා පා ගමනින්ම යනවනම් තමයි මේ සුන්දරත්වය හොඳින්ම අත්විඳින්න පුළුවන් වෙන්නෙ- අපි මේ ගමන ගියේ දැන් ටික කාලෙකට ඉස්සර- දොළොස්බාගේ ඉඳන් කිලෝමීටරයක විතර දුරක් හැරුණාම ඉතිරි කිලෝ මීටර් 4ක විතර දුර මාර්ගය කාපට් කරලා හොඳින් සකස් කරලයි තිබුණෙ- බුලත්කොහුපිටියෙ ඉඳලා දේදුගල හරහා කිලෝ මීටර් 20කට ආසන්න දුරක් ගෙවාගෙනත් දිය ඇගිරෙන ඇල්ලට එන්න පුළුවන්- වංගු හා තියුණු බෑවුම් සහිත මේ කඳුකර පටු මාර්ගයේ දෙපස දර්ශනයත් හරිම චමත්කාරජනකයි- මේ ගමනෙදි තැටිබත්ගොඩ ඇල්ල, වෙළඳ ඇල්ල, රිකිල්ල ඇල්ල, නළඟන ඇල්ල, රුක්මල් ඇල්ල වාගෙ දිය ඇලි කිහිපයක්ම දැක බලා ගැනීමේ හැකියාවත් තියෙනවා-
මේ මොන පැත්තකින් ආවත් දිය ඇගිරි ඇල්ලට යන්න ඉහළ පැලම්පිටිය බස් නැවතුම අසලටම යන්න වෙනවා- එතැනට ටිකක් පහළින් තියෙන ගම්මැද්ද අතුරු පාරෙන් දිය ඇල්ලට යන්න පුළුවන්- මේ පාරෙ මීටර් 500ක විතර දුරක් ගමන් කරද්දී තේ වතුයාය මැදින් දකුණු පැත්තට බෑවුම දෙසට වැටුණු අඩි පාරක් මුණගැහෙනවා- ඒ අඩි පාර දිය ඇල්ලේ ජලය ගලාගෙන යන නිම්නය දක්වාම පහළට දිවෙනවා- පහළට එන්න තියෙන දුරත් මීටර් 500කට වැඩි නැහැ- ඒ කියන්නෙ පැලම්පිටිය බස් පාරෙ ඉඳන් දිය ඇල්ල දක්වා තියෙන්නෙ කිලෝමීටරයක විතර දුරක්-
තේ වගා බිම මැදින් පහළට එද්දි දිය ඇල්ලේ හඬ ඇහෙන්න පටන් ගන්නවා- මුලින්ම දිය ඇල්ලේ ඉහළ කොටස විතරයි ගහකොළ අතරින් පෙනෙන්නෙ- දිය ඇල්ල සම්පූර්ණයෙන් දැක ගන්න ආසන්නයටම යා යුතුයි- තේ වගා භූමියේ කෙළවර ඇති පඳුරු සහිත බිම පහුකරගෙන ඇල්ල පාමුලට යන්න පුළුවන්-
නිහඬ පරිසරයක ගහකොළවලට මැදිව ගලා හැලෙන අපූරු දිය ඇල්ලක්- ගලින් ගල හැපෙමින්, දිය විසුරවමින්, රටා මවමින් ජලය ගලා හැලෙන ආකාරය හරිම සුන්දරයි- ලංකා දිය ඇලි සංසදයේ දත්තවලට අනුව නම් දිය ඇගිරෙන ඇල්ලේ උස මීටර් 30ක්- මේ විදියට ඇද හැලෙන දිය දහර නැවත ගලාගෙන ඇවිත් ගල් කුළු දෙකක් අතර තියෙන පටු කපොල්ලකින් කුඩා දිය තටාකයකට ගලා හැලෙනවා- ගමේ කුඩා දරුවන් කිහිප දෙනෙක්ම මේ තටාකයේ දිය නාමින් විනෝදවන ආකාරය අපට දකින්න ලැබුණා- සොබා දහමෙන් ඔවුන්ට ලැබුණු මහඟු දායාදයක් තමයි මේ දිය ඇල්ල-
නිරන්තරයෙන්ම දිය වැගිරෙන හින්දා ‘දිය වැගිරෙන ඇල්ල’ නැත්නම් ‘දිය ඇගිරෙන ඇල්ල’ විදියට හඳුන්වපු බවයි අහන්න ලැබෙන්නෙ- ඇල්ලේ පෝෂක ප්‍රදේශවලට අවුරුද්දේ වැඩි කාලයක් හොඳින් වැසි ලැබෙන හින්දා ඇල්ලත් නිතරම දියෙන් පෝෂණය වෙනවා- ඒ වගේම ඈත ඉඳන් බලන කෙනකුට පෙනෙන්නෙ මේ දිය ඇල්ල ඇද හැලෙන ගල් තලාව තුළින් ජලය වැගිරී ගලා හැලෙන ආකාරයක්- ඒ හින්දත් දිය ඇල්ලට මේ නම ලැබුණා වෙන්න පුළුවන්- දේවගිරි කියන නමිනුත් මේ දිය ඇල්ල හඳුන්වලා තියෙනවා- දිය ඇගිරෙන ඇල්ල ඇද හැලෙන්නෙ කෑගල්ල හා මහනුවර දිස්ත්‍රික්ක වෙන්වන මායිමට ඉතාමත් ආසන්නවයි- ඇල්ල අයිති වෙන්නෙ කෑගල්ල දිස්ත්‍රික්කයට- කැලණි ගඟ දක්වා ගලන වී ඔයටයි ඇල්ලේ ජලයත් එකතු වෙන්නෙ-
සංචාරකයන් අතර මේ දිය ඇල්ල තවමත් ඒ තරම් ප්‍රචලිත නැහැ- ඒ හින්දා දිය ඇල්ල අවට පරිසරයත් බොහෝ දුරට සුරැකී පවතිනවා- කඳු අතර සැඟවී ජනාවාසවලින් තරමක් දුරස්ව ගලා හැලෙන දිය ඇගිරෙන ඇල්ල නරඹන්න ඔබත් එන්න- ඒ වගේම අවට පරිසරය ඒ විදියටම රැක ගන්නත් කටයුතු කරන්න-
මහේෂ් ඉන්දික විජේතිලක