ස්වභාවධර්මය අපට දායාද කොට ඇති අගනා වස්තූන්ගෙන් එකක් ලෙස නකල්ස් වනාන්තරය හා එහි තිබෙන කඳුවැටි සැලකිය හැකිය. ජෛව විවිධත්වයෙන් පොහොසත් සතා සිව්පාවුන්ට ජීවය දෙන නකල්ස් වනාන්තරයට අයත්වන තවත් එක් සුන්දර කඳුවැටියක් ලෙස “දෝතළුගල” කන්ද හැඳින්විය හැකිය.
පවුලේ සමාජිකයන් සමඟ වුවද සති අන්තයේ සංචාරයක් ලෙස යාහැකි, තරණය කිරීමට පහසු කන්දක් ලෙස මෙය හැඳින්විය හැකිය. කඳු මුදුණ තෙක් පහසු මාර්ගයක් තිබීමත්, කිසි ලෙසකින්වත් මාර්ගය නොවරදින ලෙස තිබීමත් නිසා මෙය තරණය කිරීම පහසුය. දෙපස තුරු වියන් යටින් ගමන් කරන ඔබට ඈතින් දිස්වන නීල හරිත කඳුවැටිද සුන්දරව දර්ශනය වෙයි. ලකේගල, යහන්ගල, කෙහෙල්පත්දෝරුවගල, දුම්බානගල, වාමරපුගල, ලබුලැස්සපතන, කොබේනිගල යන ප්‍රසිද්ධ කඳු සේම දියඇලි, වැව්, ගංඟා ඈතින් දැකගත හැකිය. පාරිසරික වශයෙන් අතිශයින්ම වැදගත් වූ මෙම කඳුවැටියෙහි මීමින්නා, දිවියා, කොළ දිවියා, හඳුන් දිවියා, ගෝනා සහ කුරුලු විශේෂ දහයක්, සමනල විශේෂ අටක්, සර්ප විශේෂ පහළොවක්ද දැකිය හැකිය.
කොළඹ සිට පැය පහකින් පමණ ළඟාවිය හැකි මෙම ස්ථානයට ගමන් මාර්ගය වැටී ඇත්තේ කොළඹ, නුවර, උඩුදුම්බර හරහාය. උඩුදුම්බර නගරයෙන් මීමුරේ ප්‍රවේශ මාර්ගයේ කිලෝමීටර හතක් පමණ ගිය පසු දකුණු පසින් හමුවන වන සංරක්ෂණ කාර්යාලය අසලින් පිවිසුම් මාර්ගය වැටී තිබේ. කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍රයක් මිලදීගත යුතුය. එක් දිනක් තුළ සාර්ථක කඳු තරණයකට කැමැති ඔබට මෙය කදිම සංචාරයකි. පැය හතරක් වැනි කෙටි කලකින් අවසන් කළ හැකි බැවින් කඳු තරණය අවසන් කළ පසු වන සංරක්ෂණ කාර්යාලය පසුපස පිහිටා තිබෙන පුංචි ලෝකාන්තයද නැරඹීය හැකිය. එයත් ඔබට නවමු අත්දැකීමක් වනු ඇත. සුන්දර ෆයිනස් වතු මැදින් වැටී ඇති අඩිපාර ඔස්සේ කිලෝමීටර එකහමාරක් ගිය පසු පුංචි ලෝකාන්තය දෙසට යා හැකිය. අවට ගම්දනව් හා මහා ප්‍රපාතයන්, ඈතින් පෙනෙන කඳුවැටි, හෙල් ඔබගේ සිතට මහත් වූ සතුටක් සේම නිදහස් මානසිකත්වයක් ගෙනදෙන බව නම් නොඅනුමානය.
ඉතින් ඔබත් යන්න මවුබිමේ සොඳුරු තැන් සොයා… ඔබේ සංචාරයේදී ගහකොළ සහ පරිසරය හැඩ කරන සතාසිවුපාවුන්ද ආරක්ෂා කර පැමිණීමට වගබලාගන්න.
ඉදුන් සම්පත් දැරණියගල