වෙනදා මෙන් නොව දියලුම හරිම සන්සුන්ය. පූනාගල කඳු අතරින් බිහිවී බාධක පසුකරමින් සැතපුම් ගණනාවක් දුර ගෙවා කොස්ලන්ද සානුවෙන් පූනාගල ඔය යෞවනත්වය උදාකරගන්නීය. සානුවේදී මීටර 171ක උසකින් ඇදවැටී සුන්දරත්වය මවනුයේ සිරිලක උසින් තෙවැනි තැන ගන්නා දියලුම දියඇල්ල නිර්මාණය කරමිනි. කොළඹ රත්නපුර බළංගොඩ හරහා හපුතලේට ගමන් කිරීමේදී හමුවන බෙරගල හංදියෙන් හැරී වැල්ලවාය බෙරගල සුප්‍රසිද්ධ ්4 මාර්ගයේ කොස්ලන්ද පසුකර කිලෝමීටර 6ක පමණ දුරකින් දියලුම දියඇල්ල දැකගත හැකිය.
වැල්ලවායේ සිට නම් දියලුමට කිලෝමීටර 13ක දුරකි. දුම්රියේ පැමිණෙන සංචාරකයකුට හපුතලේට පැමිණ බෙරගලින් වැල්ලවාය මාර්ගයේ පැමිණ දියඇල්ලට ළඟාවිය හැකිය.
බඹරකන්ද දියඇල්ල, කිරිඳි ඔය දියඇල්ලට පසු උස්ම බෑවුමකින් ඇදවැටෙන ජලදහර දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වන්නේ මෑත කාලයේදීය. ඒ ඇල්ලට ඉහළ උඩ දියලුම කලාපයේ අතිශය සෞන්දර්යාත්මක පාරිසරික පද්ධතිය හේතුවෙනි.
දියලුම ඓතිහාසික පසුබිම සැලකීමේදී ජනප්‍රවාදයේ එන පරසිදු කතාවක් වේ. ඒ අනුව අතීතයේ පහතරට රජ කුමාරයකු තමාට වඩා කුලහීන තරුණියක් සමඟ පරම්පරාවේ දැඩි අකැමැත්ත මත විවාහ විය. තමන්ගේ රටවැසියන්ගේ දෝෂදර්ශනයට ලක්වීම නිසා කාන්තාව සමඟ හොර රහසේම උඩරටට පලා යෑමට කුමාරයා තීරණය කරයි. ඒ යන අතර මඟ පූනාගල කඳුවැටිය හරහා තරණය කිරීමට අධික බෑවුමක් හමුවේ. කුමාරයා පළමුව බෑවුම ඉහළට නැඟ කාන්තාවට එතෙර වීමට දිගු වැල් පටක් එවයි. එහෙත් මඟකදී කාන්තාවට වැල්පට අතහැරී වැටී එතැනම දිවිතොර වේ. ශෝකය දරා ගත නොහැකිව කුමාරයාද එතැනින් පහළට පැන දිවි තොරකර ගනී. ආදරය වෙනුවෙන් කළ කැපකිරීම දුටු පූනාගලට අධිපති දෙවියකු ගඟක් උතුරා පිටාර ගලන්නා සේ හැඬූ බව කියැවේ. ගැලූ කඳුළුවලින් දියහැලුම නිර්මාණය වූ බවත්, දිය හැලුම දියලුම ලෙස පසුව ව්‍යවහාර වූ බවත් කියැවේ. කෙසේ නමුදු දැනටත් විරහව දරාගත නොහැක්කන් දියලුම ඉහළ සිට පැන දිවි හානිකර ගැනීම නම් අනුමත කළ නොහැක්කකි. වසරකට මෙලෙස නිකරුණේ සිදුවන ජීවිත හානිද සැලකිය යුතු අගයකි.

අන්තර්ජාතික සංචාරක සඟරාවල උඩ දියලුමට හිමිවනුයේ සුවිශේෂ වූ ස්ථානයකි. දියලුම ඉහළ කලාපයේ සෞම්‍ය කාලගුණික තත්ත්වයන්, සංචාරකයන් ඒ දෙසට ඈඳවා ගැනීමට මනා උත්ප්‍රේරකයක් වේ. ත්‍රාසජනක ජලක්‍රීඩා, කඳවුරු බැදීම්වලට උඩදියලුම පාරාදීසයකි. දේශීය සංචාරකයකු නම් එහි කඳවුරු බැඳීම නියත වශයෙන්ම කළයුත්තක් බව අපේ හැඟීමයි. සැණෙකින් වෙනස්වනසුලු කාලගුණික තත්ත්වයන් පවතින ප්‍රදේශයේ අවධානයෙන් කටයුතු කිරීමටද සංචාරකයා වගබලා ගත යුතුය. පූනාගල ඉහළ කලාපයේ වර්ෂාව සමඟ ක්ෂණිකව වෙනස්වන ඇල්ලේ ජලමට්ටම භයානක වේ.
උඩදියලුම ස්වභාවික තටාකවල ස්නානය ලංකාවේ වෙනත් කිසිදු තැනක ලබාගත නොහැකි අත්දැකීමක් ලබාදේ. පූනාගල ඔයේ ජලය අඩු සාමාන්‍ය කාලගුණයක් යටතේ සංචාරයේ උපරිම වින්දනය ලබාගත හැකිය. කෙසේ නමුත් තමාගේ ප්‍රවේශම තමාම සලසා ගැනීම වඩාත් යහපත්ය. උඩ දියලුම උඩඇල්ල විදෙස් සංචාරකයන් ත්‍රාසජනක ජල කරණම් සඳහා යොදාගනියි. ඒ සඳහාම පමණක් දියලුමට පැමිණෙන්නන් බොහෝය.
මාගේ මිත්‍ර ළහිරුත්, ඔහුගේ හිතවත් යහළුවන් පිරිසක් සමඟ බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙන් හපුතලේ වෙත ගියෙමු. හපුතලෙන් උදෑසන 6ට පමණ බෙරගලට ළඟාවීමට අප කණ්ඩායම සමත්විය. උදෑසන හපුතලේ සිට බෙරගල දක්වා ගමනේදී හාත්පස විචිත්‍රවත් දර්ශනය සමඟ ආරම්භ වූ හිරු උදාව මනස්කාන්තය. බෙරගලින් නැවත වැල්ලවාය බසයෙන් කොස්ලන්ද පසුකර දියලුම පෙනෙන මානයෙන් අප පූනාගල කඳුමුදුන් වෙත යන මාර්ගයට පිවිස හෝරාවක පමණ අමතක නොවන පාගමනකින් අනතුරුව උඩදියලුමට පිවිසුණෙමු.

ඉතා හිතකර සෞම්‍ය කාලගුණික තත්ත්වයක් මැද ළහිරු, කසුන්, මධූ, ශානිකා ඇතුළු අප පිරිස දවස උපරිම සතුටින් ගෙවා දැමුවෙමු. වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ හාත්පස දර්ශනය විචිත්‍රවත් විය. ඒ අත්දැකීම උඩදියලුමට ගොස්ම විඳගත යුතුය. ඡායාරූප, වීඩියෝ ගත කිරීම් පාසටහන්වලට පමණක් දියලුම මතකයන් සීමා කරගැනීමට අප සියල්ලෝම වගබලා ගත්තෙමු. පොලිතින්, ප්ලාස්ටික් අපහරණයෙන් වැළකීම මෙන්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතාවෙන් තොරව සංචාරය කිරීම පරිසරයට ආදරය කරන සැමගේ යුතුකමක් ලෙස සලකන්න.
අකිල දහනායක











