අපේ රටේ කෝච්චි නියම වෙලාවට එන්නෙ නැහැනේ. ඒ වගේම අපිට ඕනෙ වෙලාවට කෝච්චි ඇත්තෙත් නැහැ. අනෙක් එක අපේ කෝච්චි ඔක්කොම පරණයි. ලංකාවේ දුම්රිය සේවය ගැන කතාකරද්දි අහන්න ලැබෙන චෝදනා ටිකක් තමයි ඒ. ඒ මොන දේ වුණත් ඉක්මනට ගමනක් යන්න නම් දුම්රිය සේවය තරම් දෙයක් නැහැ. අපේ රටේ දුම්රිය සේවය දියුණු වෙනවා නම් කොච්චර හොඳද කියලා අපේ රටේ මිනිස්සු කියන්නේ ඒකයි.
හැමදාම නරකම කියන අපේ දුම්රිය සේවය ගැන සුබාරංචියක් තමයි මේ කියන්න හදන්නේ. ලංකාවේ දුම්රිය සේවයට පහුගිය දවස් ටිකේදි අලුත් බලවේග කට්ටල කිහිපයක් එකතු වුණා. ඒ එක්කම එම බලවේග කට්ටල යොදවලා නව දුම්රිය ගමන් වාර කිහිපයක් ආරම්භ කරන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා.
මෙච්චර දවසක් වවුනියාව දක්වා ගමන් කරපු නගරාන්තර දුම්රිය කන්කසන්තුරය දක්වා දීර්ඝ කිරීම තමයි ඒ විදියට කරපු පළමුවැනි වෙනස්කම. කන්කසන්තුරයට දීර්ඝකිරීම විතරක් නෙවෙයි, ඒ සඳහා ඉන්දියාවෙන් අලුතින්ම ආනයනය කළ ී13 පන්තියේ බලවේග කට්ටල ද්විත්වයක් යොදන්නත් දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. පසුගිය 05 වැනිදා ඇරැඹුණු එම නව දුම්රිය සඳහා යොදලා තියෙන නම තමයි “ශ්‍රීදේවී”. ඒ අනුව කොළඹ කොටුවෙන් හවස 03.55ට පිටත්වන ශ්‍රීදේවී රාත්‍රී 10.16ට කන්කසන්තුරයට ළඟාවෙන්න නියමිතයි.
ඊට අමතරව නුදුරේදීම කොළඹ කොටුවේ සිට පොළොන්නරුව දක්වා රාත්‍රී දුම්රියක් යොදවන්නත් තීරණය කරලා තියෙනවා. ඒ සඳහා යොදාගන්නෙත් ී13 බලවේග කට්ටලයක් කියලයි ආරංචි. සවස 03.10ට කොළඹ කොටුවෙන් පිටත් වන එම දුම්රිය රාත්‍රී 08ට පොළොන්නරුවට ගිහින් නැවත පාන්දර 02ට කොළඹ කොටුව බලා පිටත්වීමට නියමිත වෙලා තියෙනවා කියලයි ආරංචි. අද හෙටම ධාවනය ආරම්භ වන එම දුම්රියට පුලස්ති රැජින ලෙස නම් තබන්නටත් තීරණය වෙලා තියෙනවා.
ඒ වගේම කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් අලුත් දුම්රියක් ළඟදීම ආරම්භ වෙන්න නියමිතයි. කොළඹ කොටුවෙන් උදෑසන 07.10ට පිටත් වන එම දුම්රිය සඳහා චීනයෙන් ආනයනය කළ ී14 පන්තියේ බලවේග කට්ටලයක් යොදාගන්න නියමිතයි. උඩරට මාර්ගයේ ගමන් කරන්නේ මැණිකෙලා. ඒ හින්දා මේ අලුත් දුම්රියටත් මැණිකේ කෙනකුගේ නමක් ලැබේවි. ඒත් ඒක මොකක්ද කියන්න නම් තාම දන්නේ නැහැ.
මේ අතරේ කොළඹ කොටුවෙන් සවස 03.10ට බෙලිඅත්ත දක්වා නව නගරාන්තර දුම්රියක් ආරම්භ කරන්නත් සැලසුම් කරලා තියෙනවා.
අලුත් ගමන් වාර මේ විදියට ආරම්භ වෙද්දී හැමෝම දන්න ගාලු කුමාරී දුම්රියටත් අලුත් ද්විත්ව බලවේග කට්ටලයක් යොදවන්න පසුගිය මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ හින්ද දැන් ඉස්සර වගේ හිරවෙන්නේ නැතුව සැප පහසුවට ගාලු කුමාරි එක්ක ගමන් බිමන් යන්න පුළුවන්.