කොළඹ අගනගරයේ සිට පැය දෙකක වැනි කාලයකින් පැමිණ පවුලේ සැමට විනෝදාස්වාදය, අත්දැකීම් හා දැනුම් සම්භාරයක් ලබාගත හැකි ස්ථානයක් ලෙස පින්නවල හඳුන්වාදිය හැකිය. ඔබ දුම්රියෙන් රඹුක්කනට පැමිණ එන්නේ නම් කිලෝමීටර් දෙකක් රඹුක්කන සිටද, බසයෙන් හෝ පෞද්ගලික වාහනයකින් පැමිණෙන්නේ නම් කොළඹ නුවර A1 මාර්ගයේ 82km කණුව අසලින් හැරී තවත් කිලෝමීටර කිහිපයක් පැමිණීමෙන්ද පින්නවලට ළඟා විය හැක.
වර්තමානයේ පින්නවලදී දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත් අලි අනාථාගාරයට අමතරව, සත්වෝද්‍යානයක් සහ ඉපැරැණිගමක්ද නැරඹිය හැකි වේ.
වර්ෂ 1975 හෙක්ටයාර 9ක භූමිභාගයක අලින් 7දෙනෙකුගෙන් පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර ඇත. වර්තමානය වනවිට දෙස්විදෙස් සංචාරකයන්ට අලිඇතුන් පිළිබඳ අධ්‍යාපනික හා සුවිශේෂ තොරතුරු ලබාගත හැකි මධ්‍යස්ථානයක්ද මෙහි පවතී. උදෑසන 8.30 සිට සවස 6 දක්වා සංචාරකයන්ට පැමිණ නැරඹිය හැකි අතර ලංකාවට විදේශ විනිමය ලබාදෙන සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැක.
ස්වභාවික හේතු නිසා කුඩා කලදී අනාථභාවයට පත්වීම, මව් ඇතින්න හෝ කෙණෙර මියයාම, මිනිසුන්ගේ අකාරුණිකභාවය හා කෲර ක්‍රියාකාරකම් නිසා අනාථභාවයට පත්වූ ලෝකයේ ඇති දැඩිවන විශාලතම අලි රංචුවේ නිවහන ලෙස පින්නවල වැදගත්වන අතර විවිධ වයස් ප්‍රමාණයන්ගේ විවිධත්වයෙන් යුතු අලින් එකම තැනකදී දැකගත හැකි ස්ථානය ලෙස සුවිශේෂ වේ.
අලි පැටවුන්ට කිරි ලබාදීමට හා අනික් අලි ඇතුන් පෝෂණය කිරීමට උදෑසන 9.15, දහවල් 1.15, සවස 5 ලෙස වෙලාවල් යොදාගනී. මාඔයේ අලින් නෑවීමට කොටස් කීපයකට උදේ 10ටත්, සවස 2ටත් අලින් ගෙනයනු ලැබේ. පැය එකහමාරක පමණ කාලයක් අලින්ට උවමනා පරිදි ජලයේ සිටීමට ඉඩදී ඇත්ගොව්වන් විසින් ඔවුන්ව නාවනු ලබයි. ජලයට වඩා ප්‍රිය කරන ඔවුන්ට දිවා කාලයේදී දැනෙන උෂ්ණත්වය ඉන් අවම කරගැනීමට උපකාරී වන බව කියැවේ.
අනාථාගාරය තුළදී, සෑමවිටම අලි ඇතුන්ගෙන් ඈත්වී සිටීම, අවදානම් ප්‍රදේශ වෙත ඇතුල්නොවී සිටීම, අලිඇතුන්ට කිසිවිටෙක බාධා නොකිරීම, සුරතල් සතුන් අනාථාගාරය තුළට ගෙන ඒමෙන් වැළකීම, දුම්පානය හා ශබ්ද කිරීමෙන් වැළකීම සංචාරකයන්ගේ වගකීම වේ. විතැන් සංරක්ෂණයෙන් අනාථ අලින් රැකගබලාගන්නා පින්නවල අනාථාගාරයේ සේවාවන් ලෙස අනාථ අලි ඇතුන් ආරක්ෂා කිරීම, අලි ඇතුන් වඳ වී යාම වැළැක්වීම, සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් වැදගත් වීම හා රටට විදේශ විනිමය ලබාදීම, සෘජු හා වක්‍රව රැකියා අවස්ථා හිමිකර දීම, අලි ඇතුන් බෝකරන මධ්‍යස්ථානයක් ලෙස ,අධ්‍යාපනික වශයෙන් පර්යේෂණ සඳහා දායක වීම, සතුන් සංරක්ෂණ පිළිබඳව මහජන ආකල්ප වැඩිදියුණුව, ජීවී කෞතුකාගාරයක් හා පර්යේෂණාගාරයක් ලෙස අන් රටවලටද ප්‍රයෝජනවත් වීම දැක්විය හැක.
පින්නවල එළිමහන් සත්වෝද්‍යානය අලි අනාථාගාරය අසලම පවතින මෙරට ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානයයි. අක්කර 44ක භූමිභාගයක ඉදිවූ ක්ෂීරපායින් හා පක්ෂීන් ඇතුළත් 2015 අප්‍රේල් 17 දින විවෘත කරනු ලැබූ ලංකාවේ දෙවන සත්වෝද්‍යානයයි. දිවියන් 6 දෙනෙකු වාසභූමිය කරගත් දිවි අරණ මූලික කර ගෝනුන් මුවන් ආදී සිව්පාවුන් හා පක්ෂීන් විශාල ප්‍රමාණයක් මෙහි රංචු වශයෙන් නිරීක්ෂණය කළ හැක. කිඹුල් අරණද මෙහි තවත් අංගයකි. ඊට අමතරව සමනල අරණ නමින් සමනලුන්ගේ ජීවන රටා අධ්‍යයනය කිරීමට කලාපයක්ද මෙතුළ පිහිටුවා ගෙනයනු ලැබේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීමට උදෑසන 8.30 සිට සවස 6 දක්වා කාලය සංචාරකයන්ට ලබාදී තිබේ.
ප්‍රාග් ඓතිහාසික යුගයට නෑකම් කියන සබරගමුවේ 17, 18 සියවස්වල පැවති අතීත ජන උරුමය මතුපරපුරට දායද කිරීමේ අරමුණ පෙරදැරිකරගෙන මා ඔය අද්දර පින්නවල ඉපැරැණි ගම ඉදිවී තිබේ. ඉපැරණි සබරගමු ගැමි සමාජයේ සැරිසැරීමට අවස්ථාවක් සලසා දීමට සබරගමු පළාත් සභාව විසින් මෙය ඉදිකිරීමෙන් බලාපොරොත්තු වී ඇත. වෙද ගෙදර, ආරච්චිලාගේ ගෙදර, ගොවි ගෙදර, කුඹල් ගෙදර, අත් යන්ත්‍ර රෙදිපිලි ගෘහය, කම්මල, වඩුමඩුව, කෝපි කඩේ, පන්සල, වැව, හේන දඩුයැට, ගස මත පැල, කෙත් යාය, කමත, වීබිස්ස, තෙලිඟු ජනාවාස කූඩාරම හා එළිමහන් රඟහල වැනි ස්ථාන රැසක් මෙහි අන්තර්ගත වේ. ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගමක් අත්දකිමින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර, සම්ප්‍රදායික ආහාරපාන, වීඩියෝ ටෙලිනාට්‍ය දර්ශන තල, සංස්කෘතික වැඩසටහන්, බෝට්ටු පැදීම ඇතුළු මා ඔය ආශ්‍රිත ජල ක්‍රීඩා මෙහි ඇතුළත්ය.
සබරගමු පළාත් සංචාරක අමාත්‍යාංශයේ මගපෙන්වීම මත ක්‍රියාත්මක වන පින්නවල සංචාරක කලාපයට පැමිණීමෙන් කාර්යබහුල ජීවිතයෙන් වෙන්වී වෙනස්ම අත්දැකීම්වලට මුහුණ දිය හැකි වටපිටාවක් නිර්මාණය කරගත හැකිවේ.
අකිල දහනායක