අද අපි ඔබට කියන්න යන්නේ සුවිශේෂ පුද්ගලයෙක් ගැන. ‘මව්රට’ ‘හාට්’ කලා අතිරේකය හරහා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන්ගේ තොරතුරු ඔබට නිරතුරුවම රැගෙන එන ‘මව්රට’ ජාතික පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ඔහු දැන් චරිතාංග නළුවෙක් බවටත් පත්වෙලා හමාරයි. මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයේ ‘ජාවාරියා’ චරිතයට පණපොවන ඔහු වසන්ත විතාරණගේ.Sri Lanka Latest News
ඉතින් වසන්ත මේ දවස්වල ‘ජාවාරියා’ ගැන හැමෝම කතාබහ කරනවා. ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉර හැංගිලා ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්ත ටෙලි නිර්මාණයක් බවට පත්වෙලා. ටෙලි නාට්‍යයේ සියලු චරිත කතාබහට ලක්වුණු නිසා ජාවාරියා චරිතයටත් මම හිතුවට වඩා සාර්ථක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ගොඩක් සතුටුයි. ජාවාරියා චරිතය වෙනුවෙන් මම ගොඩක් කැපවීම් කළා. මට විදේශගත වීමට ලැබුණු අවස්ථාවක් පවා මේ චරිතය නිසා මම ප්‍රමාද කළා.
ඔබ කලා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල්ද? ඔබේ සමකාලීන මිතුරන් අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු බවට පත්වෙලා ඇති. ඒ ගැනත් කතා කළොත්?
මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වසර 25ක් විතර වෙනවා. මම එක්ක ආපු ගොඩ දෙනෙක් අද ජනප්‍රිය ශිල්පීන්. මම හිතන්නේ මගේ හොඳම කාලය උදාවෙලා තියෙන්නේ දැන් තමයි. ගෙවුණු වසර කීපය තුළ මම තරම් කට්ටක් කාපු වෙනත් කෙනෙක් නැති තරම්. ඒ සියලු අත්දැකීම්වල ප්‍රතිඵල ජාවාරියා චරිතය තුළින් ගෙන ඒමට ලැබීම ගැන ගොඩක් සතුටුයි.
ඔබ යම් චරිතයක් තෝරාගැනීමේදී විශේෂත්වයක් දක්වනවද?
නැහැ. මට ලැබුණු හැම චරිතයකම දිග පළල නොබලා මම සම්බන්ධ වුණා. මොකද පාර ලස්සනට හදාගත්තොත් තමයි ගමන සුන්දර වෙන්නේ. මම විවිධ චරිත රඟපෑවා. ඒ ඔස්සේ අද මම චරිතාංග රංගන ශිල්පියෙක් බවට පත්වෙලා හමාරයි.
පසුගියදා ජනප්‍රිය රංගන ශිල්පිනියකගෙන් කාපු කම්මුල් පාර අමතක නැතිව ඇති නේද?
ඒ සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. ජාවාරියා චරිතය රඟපානකොට සිදුවෙච්ච සිදුවීමක් තමයි ඒ. ඒ ගැන මම දැන්ම කියන්න ගියොත් නිර්මාණයට හානියක් සිදුවෙනවා. දිලිමා, සාගර, හපුට්ටා, මුදලාලි ඒ සියලු චරිතවලින් ජාවාරියාට හිරිහැර වුණු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ හිරිහැර සමග ජාවාරියා චරිතයට ගොඩ දෙනෙක් අනුකම්පා කළා. තාත්වික රංගනවල යෙදෙනකොට ඒ සියලු දේට සූදානමින් සිටීම වැදගත් වෙනවා.
වසන්තට අලුත් සිනමා නිර්මාණයකට ආරාධනාවක් ලැබුණු බව ආරංචියි?
මම හිතන්නේ ජාවාරියා චරිතය නිසාම මට මේ අවස්ථාව ලැබෙන්න ඇති. ‘මීහරකා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මනෝ වීරසේකරගේ නවතම සිනමා නිර්මාණයේ චරිතයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබුණා. මේ දවස්වල එහි වැඩකටයුතු සඳහා දායක වෙනවා. ‘දුවන මුවන්’ සිනමා නිර්මාණය හරහා තමයි මාව සිනමාවට හඳුන්වා දුන්නේ. මේ වනවිට චිත්‍රපට 10ක විතර සුළු චරිත මම රඟපාලා තියෙනවා. ඒ වගේම තවත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.
ඉර හැංගෙන්නම වුණා වසන්තගේ එළිය දකින්න?
අනිවාර්යයෙන්ම ‘ඉර හැංගිලා’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාරික දිල්හාර, තිර පිටපත් රචක සුනෙත් වර්ණසූරිය මගේ අම්මා තාත්තා වගේ මගේ ගමනට ආශීර්වාදයක් වුණා. මම හිතන්නේ ඒ දෙන්නා මේ නිර්මාණය නොකළා නම් මට මේ ජාවාරියා චරිතය නොලැබෙන්න තිබුණා. වසර 15ක පොරොන්දුවක් මත මගේ ගමනට ඔවුන් කළ ආශීර්වාදයක් තමයි මේ. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පුදකරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
ඔබ මෙතෙක් ආපු ගමනේදී ඔබට ශක්තියක් වුණු තවත් නිර්මාණ ශිල්පීන් ඇති නේද?
ටෙලිනාට්‍ය කිහිපයකට මම සම්බන්ධ වුණා. ඒ අතර තිළිණ බොරලැස්සගේ ‘සිඳු’ ටෙලිනාට්‍යයේ චරිතය, රනිල් කුලසිංහ අධ්‍යක්ෂණය කළ ‘පානාමංකඩ ටෙලිනාට්‍යයේ චරිතය, ‘1990’ ටෙලිනාට්‍යයේ පොඩි හාමුදුරුවන්ගේ චරිතය, සංජය නිර්මාල්ගේ ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලිනාට්‍යයේ පොඩිනමගේ චරිතය වගේ මම රඟපෑ සියලු චරිත ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගත් බව සඳහන් කරන්න පුළුවන්.
හැදෑරීමක් ඇතිව ආව ගමන වරදින්නේ නැහැ නේද?
ලංකාවේ රංගනය හැදෑරීමට විශේෂ පාසල් නැහැ. නමුත් කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්ගේ ගුරුහරුකම් ඇතිව හැදෑරීමක් ඇතිව මම කලාවට සම්බන්ධ වුණේ. දමයන්ති ෆොන්සේකාගේ රංගන පාසල, සම්පත් ජයවීරගේ ප්‍රාණ, රවීන්ද්‍ර විජේරත්නගේ දුරුතු සිනමා පාසල වගේ තැන්වලින් පුහුණුව ලැබුවත්, සැබෑ ප්‍රායෝගික අත්දැකීමක් ලබන්න නම් කැමරාව ඉදිරියට යායුතුමයි. මම ගොඩක් ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ කැමරාව ඉදිරියේදී. මට තව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් හොඳ හැදෑරිමක් කරලා, තවත් හරවත් නිර්මාණවලින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න බලාගෙන ඉන්නවා.











