අංග රචනා ශිල්පියෙක් කියන්නේ නළුවෙකුගේ හෝ නිළියකගේ හදවතට එබිලා, ඒ චරිතයට ගැළපෙන පෙනුම නිර්මාණය කරන නිර්මාණකරුවෙක්. ක්ෂේත්රයේ කා අතරත් ‘ජනා’ ලෙස ආදරය දිනූ ජනක බණ්ඩාර, අද වන විට ලංකාවේ සිටින දක්ෂතම අංග රචනා ශිල්පියෙක්. රස්තියාදු ගහපු කොල්ලෙකුගේ සිට ප්රවීණයන්ගේ ආභාෂයෙන් තමන්ගේ ගමනේ හිණිපෙත්තටම ආ ඒ ‘කටුක‘ ගමන ගැන ජනා මෙවර ‘කාපු කට්ට’ විශේෂාංගයට කිව්වේ මෙන්න මෙහෙමයි.Sri Lanka Latest News
කාහොමද ජනා මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. ටිකක් විවේකීව, නිදහසේ ගෙදරට වෙලා කාලය ගත කරනවා.
ලංකාවේ දක්ෂ අංග රචනා ශිල්පියෙක් විදියට ඔබ ආපු මේ ගමන පටන් ගත්තේ කොතැනින්ද?
ඇත්තම කිව්වොත් මේක මම අහම්බෙන් ආපු ගමනක්. මම ඒ කාලේ කාගෙවත් බහක් අහන්නේ නැතුව රස්තියාදු ගහපු කොල්ලෙක්. කරපු හැම ජොබ් එකකම මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන අයින් වෙනවා. මට අසාධාරණය පෙන්නන්න බැහැ. මේ රස්සාවට එන්න මම දැඩි ලෙස අකමැති වුණා. හැබැයි අපේ මාමා කෙනෙක් හරහා ‘වසූදා‘ ටෙලියට සහාය අංග රචකයෙක් විදියට සම්බන්ධ වුණා. පස්සේ ‘කාව්‍යා‘ ටෙලිනාට්‍යයේදී විදේශීය ශිල්පීන් එක්ක වැඩ කරන්න ලැබීම මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වුණා.

ඔබ මේ වෘත්තියට සම්බන්ධ වුණේ හැදෑරීමක් ඇතිවද?
නැහැ. මම කිසිම පාඨමාලාවකට ගියේ නැහැ. මට හිටියේ දැවැන්ත ගුරුවරු. සුරංග අතපත්තු, චමින්ද කළුපහන, ජයතිලක ඇඹුල්දෙණිය, නිලංග, නයන උජිත්, ප්‍රියන්ත දිශානායක, සමරසිරි කඳනගේ, නලින් ප්‍රේමතිලක, ප්‍රියන්ත සිරිකුමාර වැනි ප්‍රවීණයෝ එක්ක වැඩ කරනකොට ලැබුණු ප්‍රායෝගික අත්දැකීම් ඕනෑම කෝස් එකකට වඩා වටිනවා. ඔවුන්ගෙන් ඉගෙනගත්ත දේවල් එක්ක මට රූපවාහිනී නාලිකාවලට දොර විවෘත වුණා. සිරසෙන් පස්සේ 2009 නයන උජිත් අයියා හරහා ස්වර්ණවාහිනියටත්, 2012 දී හිරු නාලිකාවටත් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.
පසුකාලීනව ඔබට රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ වෙන්න දොර විවාර වෙනවා නේද?
මම මුලදි සිරස රූපවාහිනියේ වැඩ කරලා තමයි ඉන් ඉවත් වෙන්නේ. 2009 වර්ෂයේ නයන උජිත් අයියා හරහා ස්වර්ණවාහිනියේ අංග රචනා ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙනවා. 2012 වර්ෂයේ මම නැවත හිරු නාලිකාවට සම්බන්ධ වෙනවා.
ජනාගේ හැකියාවට ජනප්‍රිය ශිල්පීන් වගේම නාලිකා ප්‍රධානීනුත් ලොකු ඇල්මක් දැක්වූවා නේද?
අනිවාර්යයෙන්. හිරු ආයතනයේ අධ්යක්ෂ විරාජ් වැලිවත්ත මහතා මගේ දක්ෂතාව හඳුනාගෙන මාව හැම වැඩකටම වගේ යොමු කළා. ඒ විශ්වාසයට මම අදටත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. අංග රචනා ශිල්පියෙක් ළඟ කලාකරුවෙක් වාඩිවෙන්නේ ලොකු විශ්වාසයකින්. ඒ විශ්වාසය රැකීම අපේ ලොකුම වගකීම.
ප්‍රවීණ නිළි ස්වර්ණා මල්ලවආරච්චි පවා ඔබේ අංග රචනය අගය කළා නේද?
ඒක අමතක නොවන අත්දැකීමක්. ස්වර්ණා අක්කාගේ ජීවිත කතාව ගැන කරපු වැඩසටහනකට මාව යොමු කළා. ඇත්තටම එදා මම ඇයව මේකප් කළේ හරිම බයෙන්. හැබැයි අන්තිමට ඇය මගේ වැඩේ දැකලා ගොඩක් පැහැදුණා. මාව අගය කළා.
ඔබේ සිනමා දායකත්වය සහ රංගනය ගැනත් මතක් කළොත්?
2008 දී විමුක්ති ජයසුන්දරගේ ‘අහසින් වැටුණා‘ චිත්‍රපටයේ සිට ‘කුසුමාසන දේවි‘, ‘මදර් ලංකා‘ වගේ නිර්මාණ රැසකට මම දායක වුණා. රඟපාන්න නම් ගොඩක් ආරාධනා ලැබුණා. ඒත් මම කැමරාව ඉස්සරහට යන්න බයයි. ‘යොවුන් වසන්තේ‘ ටෙලියේ රඟපෑවෙත් ඉන්දික ධර්මතිලක අයියට තියෙන ගෞරවයට, ඔහුට ‘බැහැ‘ කියන්න බැරිකමට විතරයි.
ඔබගේ හැඩවැඩ අතර ඔබට රඟපාන්න අවස්ථා ලැබුණේ නැද්ද?
ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඇත්තම කිව්වොත් මම රඟපාන්න කැමැති නැහැ. කැමරාව පිටිපස්සේ ලොකුවට කෑගැහුවට කැමරාව ඉදිරියේ රඟපාන්න මම බයයි. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ ‘යොවුන් වසන්තේ’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණා. මම ඒ චරිතය කළෙත් ඔහුට බෑ කියන්න බැරිකමට. ඒ තරමට මට ඉන්දික අයියා වටිනවා. ඔහුගේ ඉල්ලීම අහක දාන්න මට ඒ අවස්ථාවේ බැරි වුණා.
මේ තරම් දුරක් එන්න ලෙහෙසි වුණේ නැහැ නේද?
ඒ පැත්තෙන් පොතක් වුණත් ලියන්න පුළුවන්. මගේ වෘත්තියත් එක්ක අනන්තවත් හිටගෙන ඉඳලා තියෙනවා. බැණුම් අහපු අවස්ථා එමටයි. මේ රැකියාව එපාවුණු අවස්ථා තියෙනවා. කොච්චර කළත් හොඳක් නැහැ. මගේ ජීවිතයේ සමහර අවස්ථාවල කඩාවැටුණා. ඒ හැම මොහොතකම මගේ බිරිඳ ශක්තියක් වුණා. ඒ මොන ප්‍රශ්න ආවත් මම ඉවසාගෙන හිටියා.
ඔබ දැන් නිදහස් අංග රචනා ශිල්පියෙක්. මේ ගෙවන ජීවිතය කොහොමද?
උපරිම නිදහසේ ගෙවනවා. ආදරණීය මිනිසුන් කිහිපදෙනකු මේ ගෙවන නිදහස සමග මට හමුවුණා. මේ දිනවල ඉන්දික ධර්මතිලකගේ ‘ආලේ’, ‘සමන්මලී’, ‘සෝනු මන්දාරා’ නිර්මාණවල අංග රචනා ශිල්පියෙක් ලෙස මම වැඩ කරගෙන යනවා.
විශ්වාසය මත වැඩ කරන්න ගිහින් ‘ලොකු පොල්ලක්‘ කෑවා කියන්නේ ඇත්තද?
අපොයි ඔව්. ලක්ෂ ගානක ලොකු පොල්ලක් කාලා තමයි මම මේ ඉන්නේ. මිනිස්සුන්ව ඕනෑවට වඩා විශ්වාස කරන්න ගිහින් වුණු වැරැද්දක් ඒක.
වසන්ත විතාරණගේ











