මීට අවුරුදු විස්සකට කලින් ඉන්දියානු සිනමාව අතිශයින්ම වර්ණවත් කළ ‘සචින්’ (Sachein) ෆිල්ම් එක නැවත දැකබලා ගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. ඒ සඳහා නිෂ්පාදන කණ්ඩායම තෝරාගෙන තියෙන්නේ ගිම්හාන නිවාඩු කාලයයි.
‘සචින්’ කියන්නේ 2005 අප්‍රේල් 14 වැනිදා ඉන්දියානු සිනමා හෝල් පුරා තිරගත වෙච්ච සියලු රස පදමට දමා රස නහර පිනායන තාලෙට හදපු අතිශයින්ම රසවත් දමිළ මසාලාවක්. ෆිල්ම් එකේ වීරයා කොලිවුඩ් සිනමාවේ මනස්කාන්ත ඩයිනමයිට් එකක් වෙච්ච තලපති විජයයි. ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂ ජෝන් මහේන්ද්‍රන් කාටත් රසට බලන්න පුළුවන් විදියට නිර්මාණය කරපු මෙහි අනෙකුත් චරිත නිරූපණය කළ ජනප්‍රිය නළු නිළියන් අතර ජෙනීලියා, වඩිවේලු සමග තාඩි බලාජීත් ඉන්නවා.
බොලිවුඩ් සුපිරි තාරකාවක වූ රූමන් ගිනි සිළුවක වූ බිපාෂා බාසුද තලපති විජය එක්ක ‘සචින්’ට කරට කර රංගනයෙහි යෙදීම එදා ප්‍රේක්ෂක සිත් කුල්මත් කළා. සචින් ෆිල්ම් එක මනලෝලි සංගීතයෙන් පුරවූයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දේව් ශ්‍රී ප්‍රසාද්ය. ඒ මනමෝහනීය ගීත සියල්ල විශේෂයෙන් තරුණ කෙල්ලන් කොල්ලන් අතර අති මධුර වූ මතකයක් ශේෂ කොට තිබිණි. තලපති විජය, බිපාෂා සහ ජෙනිලියා ඒ සංගීත රසයට නතුව මැවූ ආලිංගනයන්ද අතිශයින්ම මධුර විය. ප්‍රේමය, සටන්කාමී බව, හාස්‍යය මුසු සංවේදී ජවනිකාවන් සපිරි ‘සචින්’ නැවත දැකබලා ගැනීමට තලපති විජයට උමතුව සිටින සුවහසක් රසික රසිකාවියන් පුල පුලා බලා සිටින බව කොලිවුඩ් ආරංචිවල සටහන්ව ඇත. ඒ වෙනුවෙන් විශාල කටවුට්ද නිර්මාණය වී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇති අතර, ඒ කටවුට් කිහිපයක්ම විජයගේ තනි රූපකාය පමණක් ගෙන තනා ඇති වගද කියැවේ.
හිටි අඩියේ සචින් මේ විදියට නැවත තිරගත කරන්නට නිෂ්පාදන කණ්ඩායම හිතුවේ ඇයි?
සමහරුන් කියන්නේ එය විසි අවුරුදු සංවත්සරය වෙනුවෙන් ගත් තීරණයක් කියලාය. ඇතැම් අය තව තව අමුතු විචාරයන් පවසති. ඒ විචාරයන්වල වැඩිපුරම වන්නේ තලපති විජයගේ දේශපාලන ගමනට ‘සචින්’ ෆිල්ම් එකේ නිෂ්පාදන කණ්ඩායම වූ වී කියේෂන්ස් රසවත් තල්ලුවක් දෙන්නට යන වගය.
ඇත්තටම ඒ කතාව ඇත්තක්ද?
ඒක නම් කියන්න දන්නේ නැහැ. ඒක මේක කොයික වුණත් විජයගේ මූවීස් ගැන අමුතුම උණක ඉන්න කට්ටියට නම් ‘සචින්’ නැවත ප්‍රදර්ශනය මේ කියන හැටියට සුපිරි මෝටිවේට් එකක් වේවි.
දමයන්ති රේණුකා











