ගීතයක් හදද්දී ඒක ජනප්‍රිය වේවිද කියන එක මම හිතන්නේ නැහැ…
එදත් මා වටේ එකතු වුණේ වෙනස් රසයක් හොයපු පිරිසක්…
දුමාල් වර්ණකුලසූරිය කියන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. හැබැයි දුමාල් ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන්ම යන්නේ වෙනස් ගමනක්. ඒ ගමනට කැමැති බොහෝ දෙනෙක් දුමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමාල් අලුත් විදියේ වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දුමාල් අපි එක්ක දොඩමලු වුණේ මෙහෙමයි.
දුමාල් අලුත් වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා?
ඔව්. ගිය සතියේ “කාලය” කියලා අලුත් සිංදුවක් එළියට දැම්මා. ඒ වගේම අභිසාරිකාවන්ගේ ගැටලු ගැන කතා කෙරුව ගීතයකුත් එළියට ආවා. ඒ වගේම තවත් ගීත කිහිපයක්ම එළියට එන්න තියෙනවා.
ඒ එක්කම දුමාල්ගේ මුල්ම ගීත ඇල්බම් එකේ වැඩ කටයුතු අවසන් බවකුත් අපිට දැනගන්න ලැබුණා. ඒ ගැනත් මතක් කරමු?
ඔව්. තව සති දෙක තුනකින් මගේ මුල්ම ගීත ඇල්බම් එක එළියට දාන්න ඉන්නේ. ඒ වගේම දෙවැනි ඇල්බම් එකෙත් ගීත කිහිපයක් දැන් පටිගත කරලා ඉවරයි.
පළමුවැනි ගීත එකතුව එළියට එන්න පරක්කු වුණා වැඩි නැද්ද?
පරක්කුවක් තියෙනවා. මම මේ වෙද්දි මගේම කියලා ගීත 150ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ වුණත් ගීත ඇල්බම් එකක් කරන්න ඕනෑ කියලා මම හිතාගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් මගේ රසිකයන්ගෙන් නිතරම ඒ ඉල්ලීම ආවා. වාහනයක යද්දි හරි අහන්න ගීත එකතුවක් ඕනෑ කියලා ඒ අය ඉල්ලීම් කළා. ඒ හින්දයි ගීත ඇල්බම් එකක් කරන්න හිතුවේ.
මේ ගීත ඇල්බම් එකේ තියෙන විශේෂත්වය ගැන කතා කළොත්?
ඉන්ද්‍රජිත් මිරිහාන කියන සංගීත අධ්‍යක්ෂවරයා සංගීතවත් කෙරුව ගීත තමයි මේ ඇල්බම් එකට ඇතුළත් වෙන්නේ. ඒ අතරේ විවිධ පද රචකයෝ රචනා කෙරුව විවිධ ස්වරූපයේ ගීත තියෙනවා.
මුල්ම ගීත එකතුවට එකම සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ ගීත විතරක් තෝරා ගත්තේ ඇයි කියලා ඇහුවොත්?
ඒක වෙනසක් වේවි කියලා මම හිතනවා. මම දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 11ක් වෙනවා. ඒ කාලයෙන් අවුරුදු 10ක්ම මම ඉන්ද්‍රජිත් අයියා එක්ක වැඩ කරලා තියෙනවා. ඉන්ද්‍රජිත් අයියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ටේ්‍රලියාවේ. මාත් එහෙ ගිහින් ඉන්න අතරෙදි තමයි ඉන්ද්‍රජිත් අයියා මේ යෝජනාව කළේ. යෝජනාව ඇවිල්ලත් අවුරුදු කිහිපයක් යනකම් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.
ඔබේ ගීත මොනතරම් තිබුණත්, ඒ සියල්ලටම වඩා දියවන්නා කුමාරියේ ගීතය ජනප්‍රිය වුණා නේද?
ඒක මගේ ගීතයක් නෙවෙයි. ඒක නාද කණ්ඩායමේ ගීතයක්. මම හිතන්නේ කණ්ඩායම් ගීතයක් එක්ක තනි ගීත සන්සන්දනය කරන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මගේ තනි ගීත ජනප්‍රිය නොවුණා කියලත් කියන්න බැහැ. මම ගායනා කෙරුව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත කිහිපයක් අතිශය ජනප්‍රිය වුණා.
ඔබ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගීත අතරට කොටු වෙලා ඉන්න බවකුත් පේනවා. ඔබේ වෙනත් ගීත ජනප්‍රිය නොවෙන්න ඒකත් එක හේතුවක් නේද?
මම එතැනට කොටු වෙලා කියලා කියන්න බැහැ. මගේ හඬ ඒ නිර්මාණවලට ගැලපෙනවා කියලා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු හිතනවා ඇති. ඒ හින්දා ඒ අය මට ආරාධනා කරනවා. ඒ වගේම මගේ ආරයේ ගීත ලංකාවේ ජනප්‍රිය නොවන බවකුත් පේන්න තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ.
එතැනින් වෙනස් වෙලා මීට වඩා ජනප්‍රිය වෙන්න පුළුවන් විදියේ නිර්මාණයක් කරන්න ඔබට අදහසක් නැද්ද?
මම වෙනස් හැඩයේ නිර්මාණ කරනවා. දැනුත් කරමින් ඉන්නවා. ඒත් කිසියම් නිර්මාණයක් කරද්දි, මේක ජනප්‍රිය වේවිද නැද්ද කියන එක මම පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒ නිර්මාණයේ ගුණාත්මකභාවය රැකගෙන හොඳ නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක විතරයි මම හිතන්නේ.
දුමාල් ක්ෂේත්‍රයට ආව කාලය ගැන අපි කලින් කතා කළා. එදා ඉඳන් ආව ගමන ගැන දැන් මොකද හිතෙන්නේ?
රියැලටි වැඩසටහනක් හරහා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මාව හැමෝම හඳුනාගත්තේ එතැනින්. ඒත් ඒකෙදිත් මම ගායනා කළේ වෙනස් විදියේ ගීත. අපේ රටේ ප්‍රවීණයන්ගේ ගීත තමයි මම ගායනා කළේ. මමත් ඒ විදියේ වෙනස් ගමනක් යාවි කියන බලාපොරොත්තුව ඒ වැඩසටහන අතරතුර මා වටා එකතු වුණු ප්‍රේක්ෂකයන්ට ඇති වුණා. මං හිතන්නේ අද වෙද්දි මං ඒ අයගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා තියෙනවා. අදටත් ඒ පිරිස මගෙ වටේ ඉන්නවා.
එදා සහ අද අතර වෙනස මොන වගේද කියලා ඇහුවොත්?
එදත් මා වටේ එකතු වුණේ වෙනස් රසයක් හොයපු පිරිසක්. අද වෙද්දි මම සම්මාන ලබා ගනිමින්, චිත්‍රපට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙමින් මගේ රසික පිරිස වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම මං ගැන තබපු බලාපොරොත්තු මම ඉටු කරලා තියෙනවා.
මොනවද අනාගතයෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනස් විදියේ වැඩ?
එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් වෙනස් විදියේ වැඩ කිහිපයක්ම තියෙනවා. මගේ ගීතයක් පසුබිම් කරගෙන නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් එන්න තියෙනවා. මං හිතන්නේ ඒක කවුරුවත් මගෙන් බලාපොරොත්තු නොවන විදියේ වැඩක් වේවි.
–චන්දන පොන්නම්පෙරුම