තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව සමස්ත ඉන්දීය දේශපාලන ක්ෂේත්‍රයේම අවධානය ඔහු වෙත යොමුවී තිබේ.Sri Lanka Latest News
දශක තුනකට අධික කාලයක් තිරයේ වීරයා වූ ඔහු, දැන් සැබෑ ජීවිතයේ දේශපාලන නායකයකු ලෙස ජනතා අපේක්ෂාවන්ට මුහුණ දෙමින් සිටී. විජයගේ පාලනයට තවමත් ඉතා කෙටි කාලයක් ගතවී තිබුණද, එම කාලය තුළ ගත් තීරණ සහ පෙන්වා ඇති නායකත්ව ශෛලිය පිළිබඳ මේ වනවිටත් විවිධ අදහස් පළවෙමින් පවතී.
‘චිත්‍රපට වීරයෙක්’ නොව ‘පරිපාලකයෙක්’ වීමට උත්සාහයක්
බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ජනප්‍රිය චරිතයකට සාමාන්‍යයෙන් එල්ල වන ප්‍රචාරණාත්මක දේශපාලනයකි. එහෙත් විජයගේ මුල් ක්‍රියාකාරකම් දෙස බලන විට ඔහු තම ප්‍රතිරූපය ජනප්‍රියත්වයෙන් පමණක් නොව පරිපාලන කාර්යක්ෂමතාවයෙන්ද ගොඩනගා ගැනීමට උත්සාහ කරන බවක් පෙනේ.
ධුරයට පත්වූ වහාම රාජ්‍ය ව්‍යාපෘති සිය ගණනක් සමාලෝචනය කිරීමටත්, නිලධාරීන් සමග දිගු සාකච්ඡා පැවැත්වීමටත් ඔහු කටයුතු කළේය. ජනතාව ඉදිරියේ දේශපාලන කතා පමණක් නොව, නිලධාරීන් ඉදිරියේ ප්‍රගති වාර්තා ඉල්ලා සිටින නායකයකු ලෙස ඔහු පෙනීසිටීමට උත්සාහ දරන බව දේශපාලන විචාරකයන්ගේ අදහසයි.
දූෂණයට එරෙහිව දැඩි පණිවුඩයක්
විජේගේ ආණ්ඩුවේ මුල් දිනවල වැඩිම ප්‍රසිද්ධියක් ලැබූ ක්ෂේත්‍රය වූයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළයි. විශේෂයෙන් ඕීඵ්ක් මත්පැන් අලෙවි ජාලය සම්බන්ධයෙන් මතුවූ චෝදනා පිළිබඳ දැඩි අවධානයක් යොමුකිරීමට ඔහු කටයුතු කළේය. වසර ගණනාවක් තිස්සේ දේශපාලනික බලපෑම්, අවිධිමත් මුදල් එකතු කිරීම් සහ ආදායම් කාන්දුවීම් පිළිබඳ චෝදනා එල්ල වූ මෙම පද්ධතිය සම්පූර්ණයෙන් සමාලෝචනය කිරීමට පියවර ගෙන තිබේ.
තම පක්ෂයේ සාමාජිකයන්ට පවා රාජ්‍ය කොන්ත්‍රාත්, ටෙන්ඩර් සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මැදිහත් නොවන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වීම ඔහුගේ පාලනයේ වැදගත් සංඥාවක් ලෙස සැලකේ. කෙසේ වෙතත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දූෂණ විරෝධී සටනක සාර්ථකත්වය මැනෙන්නේ නිවේදනවලින් නොව නඩු, දඬුවම් සහ ආයතනික ප්‍රතිසංස්කරණවලින් බවයි.
සංවර්ධනය සහ ආයෝජන
විජේ ආණ්ඩුව ආයෝජන ආකර්ෂණයටද විශේෂ අවධානයක් යොමුකර තිබේ. විශාල වටිනාකමකින් යුත් කර්මාන්ත හා යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා සහ ගිවිසුම් ඇතිකර ගැනීම මගින් රැකියා අවස්ථා සහ ආර්ථික වර්ධනය ඉලක්ක කරගෙන යන බව පෙනේ.
තමිල්නාඩුව ඉන්දියාවේ කර්මාන්තික බළකොටුවක් බවට පත්කිරීමේ අරමුණින් නව ආයෝජන ආකර්ෂණය කිරීම ඔහුගේ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක් බව නිල ප්‍රකාශවලින් පැහැදිලි වේ.
ජලය, නගර සංවර්ධනය සහ පරිසරය
විජේගේ පාලනයේ තවත් කැපීපෙනෙන අංශයක් වන්නේ නාගරික ජල සැපයුම සහ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් දැක්වූ උනන්දුවයි. වසර ගණනාවක් තිස්සේ දූෂණයට හා නොසලකා හැරීමට ලක්වූ කූම් ගඟ සහ බකිංහැම් ඇළ ප්‍රතිසංස්කරණය කිරීමේ සැලසුම් ඔහුගේ පාලනයේ ප්‍රමුඛතා අතරට පැමිණ ඇත. මේවා සාර්ථක වුවහොත්, එය විජයගේ පාලනයේ දිගුකාලීන සලකුණක් බවට පත්විය හැකිය.
අමාත්‍ය මණ්ඩලය: අත්දැකීම් සහ තාරුණ්‍යය අතර
විජයගේ අමාත්‍ය මණ්ඩලය දෙස බලන විට එය පැරණි දේශපාලන අත්දැකීම් සහ නව පරපුරේ දේශපාලන ශක්තිය අතර සම්මිශ්‍රණයක් ලෙස දැකිය හැකිය. එහෙත් බොහෝ අමාත්‍යවරුන්ට විශාල රාජ්‍ය ආයතන කළමනාකරණයේ ඍජු අත්දැකීම් නොමැති බව විවේචකයෝ පෙන්වා දෙති. එබැවින් අමාත්‍ය මණ්ඩලයේ සැබෑ හැකියාව තීරණය වන්නේ ඉදිරි මාස කිහිපයේදී ඔවුන්ගේ කාර්යසාධනය මතය.
‘සරල මිනිසා’ගේ ප්‍රතිරූපය
විජේගේ විශේෂත්වය වන්නේ බලයට පත්වීමෙන් පසුවද ඔහුගේ පුද්ගලික ප්‍රතිරූපය විශාල ලෙස වෙනස් නොවීමයි. විශාල ආරක්ෂක වළලු, අධික ප්‍රදර්ශනය හෝ අතිශය සුඛෝපභෝගී ජීවන රටාවක් ප්‍රදර්ශනය කිරීම වෙනුවට, ඔහු තවමත් සාමාන්‍ය ජනතාවට සමීප නායකයකු ලෙස පෙනීසිටීමට උත්සාහ දරයි.
සුදු කමිසය, වේට්ටිය සහ සරල පෙනුම ඔහුගේ දේශපාලන සන්නාමයේ කොටසක් බවට පත්ව ඇත. දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ එම්.ජී.ආර්., ජයලලිතා සහ කරුණානිධි වැනි තමිල්නාඩු නායකයන්ගේ පසුබිම තුළ ජනතාව සමග සෘජු සම්බන්ධතාවයක් පවත්වා ගැනීම විජයගේ ප්‍රධාන ශක්තියක් විය හැකි බවයි.
විජය ඉදිරියේ ඇති විශාලම අභියෝගය
කෙසේ වෙතත් ජනප්‍රියත්වය සහ හොඳ ප්‍රතිරූපයක් පමණක් ආණ්ඩුවක් සාර්ථක කරන්නේ නැත. විජයගේ ඉදිරි මාස 12 තීරණාත්මක වනු ඇත.
ඔහුට මුහුණ දීමට සිදුවන්නේ,
● ආර්ථික පීඩනය
● රැකියා අවස්ථා වැඩි කිරීම
● රාජ්‍ය මූල්‍ය කළමනාකරණය
● දූෂණ විරෝධී සටනේ ප්‍රතිඵල පෙන්වීම
● පක්ෂ අභ්‍යන්තර පාලනය
● සන්ධාන දේශපාලනය
● ජනතා අපේක්ෂා කළමනාකරණය යන අභියෝග රැසකටය.
අවසාන තක්සේරුව
අද වනවිට විජේගේ පාලනය පිළිබඳ කෙටි සාරාංශයක් ලබාදිය යුතු නම් එය මෙසේ විය හැකිය.
‘හොඳ ආරම්භයක් ගෙන ඇති, දූෂණයට එරෙහි පණිවුඩයක් ලබාදී ඇති, සරල ප්‍රතිරූපයක් පවත්වාගෙන යන නමුත් තවමත් තම පාලන හැකියාව සම්පූර්ණයෙන් ඔප්පු කළ යුතු ආණ්ඩුවක්.’
සිනමා තිරයේ වීරයා ලෙස ඔහු දැනටමත් ඉතිහාසගත වී ඇත. දැන් ඉතිරිව ඇත්තේ තමිල්නාඩුවේ සාර්ථක ප්‍රධාන අමාත්‍යවරයකු ලෙසද ඉතිහාසයේ ස්ථානයක් දිනාගැනීම පමණි.










