ගායනය පැත්තකට දාලා සාත්තර කියන්න ගත්තා…
මම අනෙක් නාට්‍ය හෑල්ලු කරන්නෙ නැහැ…
දකුණු ඉන්දියාවේ කේරළයේ ජන කොට්ඨාසයක් මේ දවස්වල ලංකාවට ඇවිත් ජීවත්වෙනවා. ඉතින් මේ අහිකුණ්ඨික ජනතාව සමග නව පරපුරේ ගායන ශිල්පියකුත් සම්බන්ධ වෙලා. ඔහු ‘රෙන්ගා’ ලෙස තමයි මේ ජනතාවට එකතු වෙලා ජීවත් වෙන්නේ. එදා වේදිකාවේ හඬක් අවදි කළ මේ සුමියුරු හඬ දැන් සියත රූපවාහිනියේ විකාශය වන ‘රැහේ’ ටෙලිනාට්‍යයේ විශිෂ්ට ලෙස රඟපාන බව දකිනවා. ඉතින් ඔහු මේ අහිකුණ්ඨික ජනතාව සමග එකතු වෙලා කරන්න යන දේ ගැන අපි කතා කළේ මේ විදියට.
🔴 මංජුල මේ දවස්වල අහිකුණ්ඨිකයන්ට එකතුවෙලා වගෙයි?
ඔව් ඔව්, ‘රැහේ’ කණ්ඩායමට එකතුවෙලා වෙනස්ම අත්දැකීමක් විඳිනවා. මොකද මෙවැනි ටෙලිනාට්‍යයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න මීට පෙර අවස්ථාවක් ලැබෙන්න ඇති කියලා මම හිතන්නේ නැහැ. ‘රැහේ’ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ ‘හත්වැනි දවස’ චිත්‍රපටය ආශ්‍රයෙන්. ඉතින් පැය දෙකකින් මේ ජන කොට්ඨාසය ගැන කතාකරලා ඉවර කරන්න අමාරුයි. මම හිතනවා ‘රැහේ’ ටෙලිනාට්‍ය තුළින් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට හොඳ පණිවුඩයක් ලැබෙයි කියලා.
🔴 ඔබ ‘රැහේ’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන ‘රෙන්ගා’ චරිතය ගැන කතා කළොත්?
විශේෂයෙන්ම මම කියන්න කැමැතියි මම මෙතෙක් රඟපාපු ටෙලිනාට්‍ය චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒ වගේම මෙවැනි හොඳ ප්‍රතිචාරයක් මට මීට පෙර ලැබිලා නැහැ. මම කරපු අනෙකුත් නිර්මාණ හෑල්ලු කරනවා නෙවෙයි, ඒ නිර්මාණ තුළින් මගේ දක්ෂතාවන් දැක්ක නිසා තමයි මට අද ‘රෙන්ගා’ වීමට වාසනාව ලැබුණේ. ‘රැහේ’ ටෙලිනාට්‍යයේ කතාකිරීමට තිබෙන දෙබස්, රංග වස්ත්‍රාභරණ වුණත් හාත්පසින්ම වෙනස්. බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ අහිකුණ්ඨික ජනතාව දෙමළ අය කියලා. ඔවුන් දෙමළ අය නෙවෙයි. ඉන්දියාවේ දකුණු කේරළයේ ඉඳලා තමයි මේ ජන කොට්ඨාසය ලංකාවට එන්නේ. ඉතින් මටත් ලොකු දෙයක් ‘රැහේ’ තුළ කරන්න තිබුණා. ඒ වගේම මමත් ලොකු දැනුමක් ගත්තා මේ නිර්මාණය තුළින්.
🔴 ඔබ ගායන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලාද රංගනයට යොමු වුණේ?
මම ගායකයෙක් ලෙස කටයුතු කරන අතරතුර තමයි රඟපෑමට අවස්ථාව ලැබුණේ, මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘සිහිනයක් පාට පාටින්’ ටෙලිනාට්‍යයේ ඉන් පසු දිය යට ගින්දර, සූරියභානු, ඔය දොර අරින්න වගේ ටෙලිනාට්‍යවල සුවිශේෂ චරිත කළා. ‘ලයිව් හොරයිසන්’ පොල්ගහවෙල සංගීත කණ්ඩායමේ නිවේදන ශිල්පියකු ලෙසත්, ගායකයකු ලෙසත් මම කටයුතු කරනවා. ඒ සියලු වැඩකටයුතු නතරවෙලා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා.
🔴 ඔබ ‘රැහේ’ එක්ක ඉඳලා දැනුමකුත් ඇතිනේ, ඇයි මේ අහිකුණ්ඨික ජන කොට්ඨාසය දවස් හතකින් වෙන තැනකට යන්නේ, ඔවුන්ගේ නිවාස අතහැර?
මට ඒ ගැන විස්තරයක් කියන්න අපහසුයි. හැබැයි රැහේ කණ්ඩායමේ එවැනි ජන කොට්ඨාසයකුත් අපි සමග රඟපෑවා. ඉතින් ඔවුන්ගේ රැකියාව ශාස්ත්‍ර කීම, නයි නැටවීම වගේ දේවල්. ඔවුන්ගේ කණ්ඩායම දවස් හතිකින් ඔවුන් සිටින ප්‍රදේශය පුරාම ගිහින් ඔවුන්ගේ වෘත්තිය කරලා ඉවර කරනවා. ඉන් පස්සේ තමයි ඔවුන් වෙන පළාතක නිවාස හදන්නේ. රැහේ ටෙලිනාට්‍ය නැරඹුවොත් මීට වඩා දැනුමක් සියලු දෙනාට ලබාගන්න පුළුවන්.
🔴 රෙන්ගා සහ සිංගා ඇයි රැහේට විරුද්ධ වෙන්නේ?
සිංගා කියන්නේ රැහේ නායකයාගේ පුතා. මම ඔහුගේ යහළුවා විදියට තමයි රඟපාන්නේ. ඉතින් අපි දෙන්නා කැමැති නැහැ රැහේ සමග එකතුවෙලා ශාස්ත්‍ර කියන්න. අපි දෙන්නට ඕනෙ නාගරික පරිසරයක ජීවත්වන ජනතාව වගේ හොඳට ඇඳපැළඳගෙන රැකියාවක් කරන්න තමයි.
– වසන්ත විතාරණගේ