මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ වේදිකා නාට්‍යයේ ‘සුප්පාදේවි’ චරිතයට පණ දුන් සම්මානනීය රංගන ශිල්පිනී මාලනී රණසිංහ සමගයි මේ කතාබහ. ඇය පසුගියදා රාජ්‍ය සම්මානයක් ලබාගන්න ඔස්ටේ්‍රලියාවේ සිට ලංකාවට පැමිණියා. ඉතින් ‘හාට්’ අපි හිතුවා ඇයගේ කලා දිවියේ දස්කම් විස්කම් ඔබ සමග බෙදාහදාගන්න.Sri Lanka Latest News
පසුගියදා ඔබතුමිය සුවිශේෂ ඇගයීමකට ලක්වුණා?
මගේ ජීවිතයට ලැබුණු උතුම් සම්මානයක් ලෙස මට එය හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන නාට්‍ය කීර්ති රාජ්‍ය සම්මානය. ගොඩක් සතුටුයි මගේ දෙපයින් වේදිකාවට ගොඩවෙලා ඒ සම්මානය ලබාගන්න මට හැකිවීම ගැන. මම දැකලා තියෙනවා තවත් කලා ශිල්පීන් මේ රාජ්‍ය සම්මානය රෝද පුටුවලින් ගිහින් පවා ලබාගන්නා අවස්ථා. මම මේ සම්මානය ලබාගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ලංකාවට ආවේ.
ඔබතුමිය කලාවට සම්බන්ධ වුණු අතීතය ගැන කතා කළොත්?
මගේ ගම් පළාත මහනුවර කටුකැලේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. මම අධ්‍යාපන කටයුතු හොඳින් කළා. පාසලේ කවි තරග තියෙනවා. කුඩා කාලයේ ඉඳලා උසස් අධ්‍යාපනය අවසන් වෙනකම් මම කවි තරගවල පළමු තැනට පත්වෙනවා. ඉතින් මට කියන්නේ හයියෙන් කවි කියන මාලනී කියලා. මගෙ කට නම් ගොඩක් ශබ්දයි. විශ්වවිද්‍යලයේ වෛද්‍ය පීඨයට මාවත් තේරුණා. කොළඹ යන්න මම කැමැති නැති නිසා මම මවුපියන්ගේ කැමැත්ත අරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසීමෙන් පස්සේ තමයි මගේ ගමන වෙනස් වුණේ. ඇතුළත් වුණු පළමු දවස මට හාස්කමක් වගේ. ඉතින් මට රැග් එකක් විදියට සින්දුවක් කියන්න තමයි තිබ්බේ. මම ඉතින් රුක්මනී දේවිය ගායනා කරන සින්දුවක් කිව්වා. පස්සේ මට ඔවුන් කිව්වා මහාචාර්ය සරච්චන්ද්‍ර සර් එන්න කිව්වා කියලා. ඉතින් මාත් පුදුමයට පත්වෙලා යාළුවො කීප දෙනෙක් එක්ක සර් පුහුණුවීම් කරන ශාලාවට ගියා.
සරච්චන්ද්‍රයන් හමුවුණාට පස්සේ මොකද වුණේ?
මට ඉතින් සින්දුවක් කියන්න කිව්වා. මම එතැන පුහුණුවීම් කරමින් හිටපු ‘සිංහබාහු’ නාට්‍යයේ ගීතයක් ගායනා කළා. ඊට පස්සේ මට පුහුණුවීම්වලට එන්න කිව්වා ‘සිංහබාහු’ නාට්‍යයේ. මම පුදුම වුණා එහෙම කිව්වම. මම වෛද්‍ය විද්‍යාව ඉගෙනගන්න ගියේ. නමුත් දෛවය අනුව මාව වෙනස් පැත්තකට යොමුවුණා. ඔය විදියට මම සුප්පාදේවියගේ චරිතයට පුහුණු වුණා. ඇත්තටම ‘සිංහබාහු’ නාට්‍යයේ දෙබස්, ගීතවලට මම වශීවෙලා හිටියේ. 1961 සැප්තැම්බර් 31 වැනිදා තමයි ‘සිංහබාහු’ වේදිකාගත කළේ. එදා මාව ගොඩ දෙනෙක් දැනහඳුනා ගත්තා සුප්පාදේවියගේ චරිතය තුළින්. මගේ ඒ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය විදියට තමයි මගේ කලා ගමන පටන් ගත්තේ.
මාලනී පෙරේරා, මාලි ජයවර්ධන ‘සිංහබාහු’ට රඟපෑවා. සිංහ සීවලීට මාලනී පෙරේරා, පොතේගුරාට ටෙරන්ස් රණසිංහ. ඔය විදියට අවුරුදු 31ක් විතර මම සිංහබාහු නාට්‍යයේ දර්ශනවාර පන්දාහකට වැඩිය සුප්පාදේවිය ලෙස රඟපෑවා. පසුකාලීනව 1966 දී විතර පොතේ ගුරාට රඟපාපු ටෙරන්ස් රණසිංහ සමග මම විවාහ වුණා.
ගිනස් පොතටත් අවසානයේ ඇතුළත් වුණා නේද ඔබ දෙපළ?
එකම නාට්‍යයක අඛණ්ඩව රඟපාපු නිසා තමයි ඒ ඇගයීම් සම්මානය මටත් මගේ සැමියාටත් ලැබුණේ. වසර 31ක් දර්ශන වාර පන්දාහකට වැඩිය රඟපාපු නිසා තමයි. මට ඔහුව නොලැබුණා නම් මේ වගේ ඇගයීමක් ලැබෙන්නේ නැතිවෙයි. මටත් වඩා මගේ සැමියාට තමයි ලොකු උනන්දුවක් තිබුණේ මාව මේ තරම් දුර ගමනක් එක්කගෙන යන්න. හැබැයි ඉතින් ලෙඩක් දුකක් හැදුණත් දර්ශනවාර අතපසු කළේ නැහැ. 2002 වර්ෂයේ තමයි අපිට ඒ ඇගයීම ලැබුණේ.

පසුකාලීනව ඔබට ‘මනමේ’ කුමරිය වීමටත් වරම් ලැබුණා?
මට කලින් මුලින්ම මනමේ කුමරිය ලෙස රඟපෑවේ ටි්‍රලීෂියා ගුණවර්ධන. ඇය විදේශගත වුණාට පස්සේ තමයි මට ඒ ආරාධනාව ලැබුණේ. පසුකාලීනව සරච්චන්ද්‍ර සූරීන්ගේ ‘වෙස්සන්තර’ වේදිකා නාට්‍යයේ මන්ද්‍රී දේවිගේ චරිතය රඟපෑවා. එතුමාගේ නිර්මාණ කිහිපයක මට පසුකාලීනව රඟාපාන්න වාසනාව ලැබුණා.
ඔබ වේදිකාවවේ විතරක් නෙවෙයි, සිනමාවෙත් ටෙලිනාට්‍යවලත් සුවිශේෂ චරිත නිරූපණය කළා?
පරාක්‍රම නිරිඇල්ලගේ ‘අයෝමා’ චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චිගේ නැන්දා ලෙසටත්, විජය ධර්මශ්‍රීගේ ‘හිමගිර’ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව නිරූපණය කළ වසන්ති චතුරාණිගේ නැන්දා ලෙසටත්, ‘යක්ෂාවේෂය’ චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ අම්මා ලෙසටත් චරිත නිරූපණය කළා. ‘යක්ෂාවේෂය’ චිත්‍රපටය ඉදිරියේදී මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන්. තවම එය තිරගත වුණේ නැහැ. ධර්මසේන පතිරාජගේ ‘හිරු දරුවෝ’, චන්ද්‍රසේනගේ ‘ඉරට හඬන මල්’, සුදත් දේවප්‍රියගේ ‘අඹ යාළුවෝ’ ටෙලිනාට්‍යයේ නිමල්ගේ මව ලෙසත්, ‘මවකගේ ගීතය’ වැනි තවත් ටෙලිනාට්‍ය කීපයකටත් සම්බන්ධ වුණා.

‘මවකගේ ගීතය’ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා නේද?
ඒ මවගේ චරිතය නම් ගොඩක් සංවේදී චරිතයක්. මගේ පොඩි පුතාට රඟපෑවේ අමිත්ත වීරසිංහ. අඹ යාළුවෝ ටෙලිනාට්‍යයෙත් මම රඟපාපු මවගේ චරිතයට ප්‍රේක්ෂකයන් අදටත් ආදරය කරනවා. මම ඉතින් වැඩිපුර ටෙලිනාට්‍ය චිත්‍රපට සඳහා සම්බන්ධ වුණේ නැහැ ගුරුවරියක් ලෙස කටයුතු කරපු නිසා. ඒ කටයුතු සියල්ලම සමබරව කරගෙන යන්න ඕනෙ නිසා තෝරා බේරාගෙන නිර්මාණ සුළු ප්‍රමාණයකට විතරක් සම්බන්ධ වුණා.
වසන්ත විතාරණගේ











