චීනයේ අධ්‍යාපන ක්‍රමය සියවස් ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික ව්‍යුහයක සිට නවීන, තාක්ෂණික සහ ගෝලීය මට්ටමේ ක්‍රමවේදයක් දක්වා කැපීපෙනෙන පරිවර්තනයන් රැසකට ලක්ව තිබේ. මෙම පරිණාමය ප්‍රධාන යුග පහක් ඔස්සේ මෙසේ විග්රහ කළ හැකි බව අන්තර්ජාලය ඔස්සේ කරන ලද සොයාබැලීමකින් හඳුනා ගතිමු.Sri Lanka Latest News
මුල් කාලයේදී පැරණි අධිරාජ්‍ය යුගය සහ කොන්ෆියුසියස් දර්ශනය අධ්‍යාපනයේ පදනම විය. මෙහිදී සදාචාරය, විනය සහ සාහිත්‍යය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරිණි. රාජ්‍ය සේවා විභාග ක්‍රමය ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය. රටේ ඉහළ පාලන තනතුරු සඳහා පුද්ගලයන් තෝරාගනු ලැබුවේ අතිශය දුෂ්කර විභාග ක්‍රමයක් මගිනි. ඒ අතර බටහිර විද්‍යාව හෝ තාක්ෂණය වෙනුවට සම්භාව්‍ය සාහිත්‍යය මෙහිදී ප්‍රධාන විය. මෙම ක්‍රමය 1905 දී නිල වශයෙන් අහෝසි කරන ලදී.
සමාජවාදී පරිවර්තනය සහ සෝවියට් ආභාෂය චීන අධ්‍යාපන ව්‍යුහයට තදින්ම බලපෑවේ 1949දී මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු, සාක්ෂරතාව ඉහළ නැංවීම සහ කම්කරු-ගොවි ජනතාවට අධ්‍යාපනය ලබාදීම මූලික ඉලක්කය විය. එතැනින් ඔවුන් නැවතුණේ නැත. සමකාලීන ලෝකය සමග ඉදිරියට යාම ඉලක්ක කරගත් චීනය සෝවියට් දේශයේ අධ්‍යාපන ක්‍රමය අනුගමනය කරමින් න්‍යායාත්මක අධ්‍යාපනය වෙනුවට ප්‍රායෝගික, කාර්මික සහ වෘත්තීය පුහුණු ආයතන වැඩි දියුණු කළේය.
පසුකාලීනව මාඕ සේතුංගේ සංස්කෘතික විප්ලවය සමයේ චීන අධ්‍යාපන ක්‍රමයට දැඩි බලපෑමක් එල්ල විය. විශ්වවිද්‍යාල සහ පාසල් වසාදැමුණු අතර විධිමත් විභාග ක්‍රම අත්හිටුවන ලදී. පොත්පත් සහ විද්‍යාත්මක පර්යේෂණ වෙනුවට දේශපාලන මතවාද සහ ශ්‍රම කඳවුරුවල වැඩකිරීම සිසුන්ට අනිවාර්ය විය. එය ලෝකයට කුමන ආකාරයකින් පෙනුණද චීනය නම් වාසියට හරවාගත් බව සිහිකළ යුතුය. මේ වනවිටත් ලෝකයේ පැවැති පරායත්තතා සංකල්ප වෙනුවට ස්වයාත්තතා න්‍යාය ඔවුන් අල්ලා ගත්තේය.
කලක් නැවතී තිබුණු බව කියන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන ජාතික මට්ටමේ ‘ගාඕකාඕ’ විභාගය නැවත ආරම්භ කිරීම ඔවුන් සිදුකරන්නේ 1977දීය. ඉන් වසර පහළොවකට පමණ පසු සෑම දරුවකුටම වසර නවයක නොමිලේ සහ අනිවාර්ය ප්‍රාථමික හා කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය ලබාදීමේ නීතිය හඳුන්වා දෙන ලදී. ඒත් සමගම විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බටහිර අධ්‍යාපන ක්‍රමවේදයන් ආදේශ කරගැනීම ඇරඹුණි.
නූතන අධ්‍යාපන ක්‍රමය හරහා ඩිජිටල්කරණය පිළිබඳව අවධානය යොමු කරන්නට මේ අය පටන් ගන්නේ 2010 වන විට. චීන විශ්වවිද්‍යාල ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වලට ඔසවා තැබීම සඳහා පර්යේෂණ සහ නව නිපැයුම්වලට රජය විශාල වශයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නට පටන් ගත්තේය. කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් පන්තිකාමර සහ සැමට සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම ඉලක්ක කරගත් නවීනතම අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක වේ.
චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව, රටේ සංවර්ධන ඉලක්කවලට නොගැළපෙන සහ ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති යල්පැනගිය ප්‍රථම උපාධි පාඨමාලා 12,200ක් පමණ අත්හිටුවීමට හෝ සම්පූර්ණයෙන්ම පද්ධතියෙන් ඉවත් කිරීමට චීනය පියවර ගෙන ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය මේ කතන්දරය පැහැදිලි කර තිබුණේ එහෙමය. මෙය චීනයේ සමස්ත විශ්වවිද්‍යාල පාඨමාලා ප්‍රමාණයෙන් 30%කට වඩා වැඩි ප්රතිශතයකි. අවලංගු කරන ලද පාඨමාලා වෙනුවට නවීන තාක්ෂණය කේන්ද්‍ර කරගත් නව පාඨමාලා 10,200කට වඩා අලුතින් හඳුන්වා දීමට මේ අය වැඩපිළිවෙළක් හැදුවේය.
අන්තර්ජාලයේ සඳහන් වාර්තාවලට අනුව අවධානය යොමු කළ ක්ෂේත්‍ර මෙසේ දැක්විය හැකිය.
● කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence -AI)
● රොබෝ තාක්ෂණය (Robotics)
● ක්ෂුද්‍ර පරිපථ සහ සෙමිකන්ඩක්ටර් ඉංජිනේරු විද්‍යාව (Integrated Circuits / Semiconductors)
● Embodied Intelligence (භෞතික ලෝකය සමග ක්‍රියාකරන බුද්ධිමත් යාන්ත්‍රික පද්ධති) සහ Low-altitude Economy (ඩ්‍රෝන සහ ගුවන් අවකාශ තාක්ෂණික ආර්ථිකය).
මානව ශාස්ත්‍ර හා භාෂා අධ්‍යයන අංශ සීමා කිරීම
2026 මැයි මාසයේ සිදුකළ සමීක්ෂණ වාර්තාවලට අනුව, කලින් විශාල ඉල්ලුමක් තිබූ විදේශීය භාෂා සහ පරිවර්තන වැනි මානව ශාස්ත්‍ර විෂය ධාරාවන් රැසක් සීමා කර තිබේ. ඒ වෙනුවට විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, කෘෂිකර්මාන්තය සහ වෛද්‍ය විද්‍යාව කෙරෙහි ශිෂ්‍ය බඳවා ගැනීම් වැඩිකර තිබේ.
‘චීනයේ වාර්ෂිකව විශ්වවිද්‍යාලවලින් බිහිවන මිලියන 12කට අධික උපාධිධාරීන්ට ශ්‍රම වෙළෙඳපොළ තුළ රැකියා සොයාගැනීමේ අපහසුතාවක් (Graduate jobs crisis) පැවති බැවින්, ආර්ථිකයට ඍජුවම දායක විය හැකි වෘත්තීය නිපුණතා සහිත පිරිසක් බිහි කිරීම මෙහි අරමුණයි.’
ඔවුන් මේ වෙනස්කම ගැන දක්වා ඇත්තේ එවන් අදහසකි.
‘අනාගත ලෝකයේ කෘත්‍රිම බුද්ධිය සහ උසස් නිෂ්පාදන කර්මාන්ත අතින් ලෝකයේ පෙරමුණ ගැනීමට අවශ්‍ය මානව සම්පත රට තුළම නිර්මාණය කිරීම චීන රජයේ උපායමාර්ගික සැලැස්මයි’.
වැඩිදුරටත් මේ ගැන කරුණු දක්වන මිස චීන ජනාධිපති ‘අරවා ඉගෙන ගත්ත නං දෙන්න රස්සා නෑ ගෙදර යන්න’ කියන්නේ නැත. විෂය ධාරා වෙනස් කරනවා මිස කරන විෂයයන්වලට රස්සා නොදී හැරීම රජයක වැඩක් නොවේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු තව විභාග බුරුතු ගණන් ලියන්නට වීම අභාග්‍යයකි. එහෙම කරලත් උපාධියට ගැළපෙන රස්සාවල් නැත. රස්සාවල් සඳහා ගැළපෙන උපාධිධාරීන් නැත.
අවසානයේ අහන්නට වෙන්නේ මෙච්චරය. මෙච්චරමය. චීනෙට පුළුවන් නම් අපට බැරි ඇයි කියාය. ඒත් ඔව්වා අහලා වැඩක් නැත. චීනෙට පුළුවන් හුඟක් ඒවා අපිට හිතන්නටවත් බැරි බව සත්‍යයය.

ජීවන පහන් තිළිණ











