ඔහු රංගනය සහ නිවේදනය යන අංශ ද්විත්වයෙන්ම සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගාගත් කලාකරුවෙකි. රිදී තිරය මත දිගහැරුණු සිනමා නිර්මාණ හරහා තම රංගන පරාසය ජාත්‍යන්තරය දක්වා විහිදුවාලමින් ද්විභාෂා නිවේදන කලාවට ද නව ජීවයක් එක් කළ කලාකරුවෙකි. රංගනයේ ගැඹුරත්, නිවේදනයේ ප්‍රාගුණ්‍යයත් එකලෙස හිමිකරගත් ඔහු, රංගන ශිල්පී අෂාන් ඩයස්ය. මේ දිගහැරෙන්න මව්රට හාට් අපි අෂාන් සමග සම්මුඛ වූ හැටියි. Sri Lanka Latest News
අෂාන් කොහොමද මේ දවස්වල කලා කටයුතු..?
මේ දවස්වල මම වේදිකා නාට්‍යයක් කරනවා. ඒකට පුහුණුවීම් කටයුතු කරගෙන යනවා. මම සාමාන්‍යයෙන් එක වැඩක් කරන වෙලාවේ වැඩ දෙකක් කරන්නෙ නැති නිසා ඒක විතරයි මේ දවස්වල කරන්නේ. ඒක පෙබරවාරි මාසෙ තමයි වේදිකාගත වෙන්න තියෙන්නේ. වෙන වැඩනම් මුකුත් නෑ.
මාරියා චිත්‍රපටය මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වන නිර්මාණයක්, මුහුද තුළ තිරගත වූ ප්‍රථම චිත්‍රපටය ලෙසත් දක්ෂ රංගන ශිල්පීන් හත් දෙනෙකු සමග රංගනයෙන් දායක වීමට ලැබීමත් විශේෂයි නේද?..
ඔව් අනිවාර්යයෙන්ම. මාරියා චිත්‍රපටය එළියට එන්න කලින්ම ඉඳන්ම ඒක විශේෂත්වයක් වෙනවා. සම්පූර්ණයෙන්ම ගැඹුරු මුහුදේ රූගත කරපු පළමු චිත්‍රපටය තමයි මං දන්න විදියට. පිට රටකවත් මං දන්නෙ නෑ සම්පූර්ණයෙන්ම එහෙම මුළු ෆිල්ම් එකක්ම මුහුදේ විතරක් ෂූට් කරපුවා තියෙනවද කියලා. ඒත් එක්කම ඉන්න කාස්ට් එක. ඇත්තටම පිරිමි රංගන ශිල්පීන් හත්දෙනෙක් විතරක් ඉන්න චිත්‍රපටයක්. ඒ හැමෝම මාරම දක්ෂයි. ඒගොල්ලන්ගේ දක්ෂතා ගැන ඉතින් අප කාටත් කියන්න අවශ්‍ය නෑ. එහෙම කාස්ට් එකක් එකතු වෙනවා කියන එකත් විශේෂත්වයක්. ඒ දෙක විතරක් ඇති ඇත්තටම ඒ ෆිල්ම් එක එනකල් බලන් ඉන්න සහ කුතුහලයක් ඇති වෙන්න. ආවයින් පස්සෙත් තියෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි ඉතින්. ඇත්තටම ඒක හොඳ කතාවක්.
මාරියා චිත්‍රපටයේ ඔබේ චරිතය ගැනත් කතා නොකර බැහැ..?
ධීවරයින් හත්දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනාගෙන් එක චරිතයක්. ගොඩක් වෙලාවට බහුදින යාත්‍රාවල යද්දි මාස තුනක් විතර මුහුදේ ඉන්න වෙනවා. එතකොට ඒ යන කට්ටිය තම තමන්ව සියයට සීයක් විශ්වාස කර ගන්නවා. තමන්ගේ ජීවිතය තියෙන්නේ අනෙක් කෙනාගේ අතේ. ඉතින් අර යාළුවෝ සහෝදරයෝ විදිහට බැඳීමක් තියෙන හත්දෙනෙක්. ඒ හත්දෙනාගේ පෞරුෂයන් හය විදියක්. මගේ චරිතය තියෙන්නෙත් වැඩිය කතා කරන්නේ නැති, නිහඬ,සන්සුන් පෞරුෂයක් තියෙන කෙනෙක්. එයාගේ අතීත කතාවක් තියෙනවා. එහෙම තමයි චරිතය ගලාගෙන යන්නේ.

ඔබේ රංගනයෙන් දායක වූ නිර්මාණ මෑත කාලයේ සිනමාවේ ලොකු පිබිදීමක් ඇති කළා. ඒ සාර්ථකත්වයේ කොටස්කරුවෙක් වීම ගැන මොකද හිතෙන්නේ?
මෙහෙමයි, මම චිත්‍රපටියක් තෝරා ගන්නේ ගොඩක් හිතලා. ඉතින් ඒකට හිතන සාධක අතරේ අධ්යක්ෂවරයා ගැන ඉස්සෙල්ලාම හිතනවා. ඒ අධ්යක්ෂවරයා එක්ක මට වැඩ කරන්න ඕනද?.. ඒ වැඩ කරන්න ඕනෙද කියන එක එන්නේ එයා මීට කලින් කරලා තියෙන ඒවා කොයි වගේ චිත්රපටද? ඒවා අතිසාර්ථක චිත්රපටද? අති සාර්ථක කියන්නේ සල්ලි හොයන එකම නෙවෙයි. සාර්ථක කියන්නේ තමන් කරන වැඩේට, නිර්මාණයට අවංකව, ඇත්ත නිර්මාණකරුවෙක් නම් ඒ කෙනා එක්ක වැඩ කරන්න ආසාවක් ඇතිවෙනවා. අනිත් පැත්තෙන් මීට කලින් කරලා තියෙන එකක් නම් මම ආයේ කරන්න කැමැති නෑ. ඒක අලුත් චැලෙන්ජ් එකක් වෙන්න ඕන. ඉතින් ඔය ඔක්කොම බලලා තෝරා ගත්තයින් පස්සේ ඒ චිත්‍රපට අනිවාර්යයෙන් සාර්ථක වෙනවා.
ඔබ සම්මානනීය රංගන ශිල්පියෙක්. මේ ලැබෙන ඇගයීම් ඔබේ ඉදිරි ගමනට ලබාදෙන පන්නරය ගැන කතාකරමු?
මේ අවුරුද්දේ සම්මාන තුනක් ලැබුණා මොකක් හරි හේතුවකට. මම කරන වැඩවලට සම්මාන හේතුවක් කර ගන්නේ නැහැ. ඒක පස්සෙන් යන්නෙත් නැහැ. හැබැයි ඇගයීමක් ලැබෙනවා කියන්නේ හොඳ ෆීලින් එකක්. ඒක ලැබුණාම, හරි අපි කරපු වැඩේට වටිනාකමත් තියෙනවා කියන ඒ ධනාත්මක හැඟීම එනවා. ඒක වැඩේ තවදුරටත් කරගෙන යන්න පොඩි දිරිගැන්වීමක් වෙනවා. හැබැයි එතනින් එහාට ඒ ගැන ඔළුවට ගන්න හොඳ නෑ. එහෙම නොගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.
ඕනෑම කෙනකුට අලුත් බලාපොරොත්තු තියෙනවා. ඔබගේ ඉදිරි වැඩ කටයුතු හා බලාපොරොත්තු ගැනත් කතා කරමු?
දැනට මම පූර්ණකාලීන අවධානය දීලා තියෙන්නේ මුලින්ම කියපු වේදිකා නාට්‍යයට. ඒක පෙබරවාරි මාසේ එනවා. ඒක ඉවර වෙනකන් වෙන වැඩක් භාරගන්නේ නෑ. කලින් කරපු ෆිල්ම්ස් දෙක තුනක් තියෙනවා ලබන අවුරුද්දේ එන්න තියෙන. ‘ධර්ම යුද්ධය දෙක‘ ෆිල්ම් එක මේ මාසේ එනවා. තව ප්‍රියන්ත කොළඹගේ මහතාගේ ‘සූර්ය සුළඟ‘ චිත්‍රපටයත් ජනවාරි හෝ පෙබරවාරි එන්න නියමිතයි.
අසිංසලා වීරහිංගේ











