ජනප්‍රිය රංගන ශිල්පිනී මාධනී මල්වත්ත සහ කීර්ති කේ. රත්නායක දෙපළගේ ආදරණීය පුත් තේනිය රත්නායක සමගයි මේ කතාබහ. තේනිය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු අම්මා සමග ආදරණීය මිනිසෙක් හැඩ කරද්දී තවත් පැත්තකින් පියා සමග සුවිශේෂ නිර්මාණයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් තේනිය සමග ඒ තොරතුරු ගැන කතාබහ කරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තේ මේ විදියට. Sri Lanka Latest News
‘ආදරණීය මිනිසෙක්’ වෙලා නේද තේනිය?
මවුපියන්ට ආදරණීය පුතෙක්. ප්‍රේක්ෂකයන්ට ආදරණීය රංගන ශිල්පියෙක්. හැම පැත්තකින්ම මම ආදරය ලබනවා.
මේ දිනවල අම්මයි පුතයි එකට රඟපානවා. අපි කැමැතියි ඒ ගැන දැනගන්න?
‘ආදරණීය මිනිසෙක්’ ටෙලිනාට්‍යයේ තමයි අපි දේනනම එකට රඟපාන්නේ. මගේ මව විදියට රඟපාන්නේ ඇය. ඇත්තටම මට අම්මා සමග මේ විදියට රඟපාන්න ලැබුණේ අවුරුදු අටකට විතර පස්සේ. ඇත්තටම මට ගොඩක් සතුටුයි වසර කීපයකට පසු ඇය සමග රඟපාන්න ලැබීම ගැන. හැබැයි ඉතින් රඟපානවා කියලා දැනෙන්නේ නැති තරමට අංජන චරිතයට ආලෝකයක් වුණා මගේ අම්මා.
අංජන චරිතය ඔබට දැනුණේ කොහොමද?
අංජන චරිතය මගේ ජීවිතයට සමානකම් තියෙනවා. විශේෂයෙන්ම මම කලින් පැවැසූ විදියට මගේ අම්මා මම සමග රඟපාන එක. අංජන කියන්නේ ත්‍රීවීල් රියැදුරෙක්. ඔහු ආදරය කරන ගැහැනු ළමයා වෙනුවෙන් පණ ඇරලා ඕනෙම දෙයක් කරන කෙනෙක්. අංජනගෙ එකම අරමුණ ආදරය සැබෑ කරගන්න එක තමයි. ඒ වගේම අම්මාගෙන් ලැබුණු සහාය ගොඩක් වටිනවා. අම්මා නිසා අංජන චරිතය හදාගන්න අලුත් දේවල් සිදුවීම් එක්ක එකතු කරගන්න විදිය මම අම්මා සමග නිතරම ඒ ගැන කතාබහ කළා.
ඔබේ ආදරණීය මව මාදනී මල්වත්ත හැර වෙනත් රංගන ශිල්පිනියක් මවගේ චරිතයට යොදාගත්තා නම් ඔබට මීට වඩා වෙනසක් දැනේවිද?
අනිවාර්යයෙන්ම. මම හිතනවා මේ තරම් ළෙන්ගතුව අංජනගේ චරිතය මට කරන්න බැරිවෙයි කියලා.
තේනිය මේ දවස්වල ‘මූණු’ සමග චරිත දෙකක් රඟපාන බව ආරංචියි?
‘මූණු’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල සිදුවෙනවා. ‘මූණු’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ මගේ තාත්තා කීර්ති කේ. රත්නායක. තාත්තා සහ මම නිර්මාණය කීපයකම රඟපාලා තියෙනවා. ප්‍රථම වතාවට තමයි මම ටෙලිනාට්‍යයක චරිත දෙකක් රඟපාන්නේ. මට එය අභියෝගයක් වුණා. ඉදිරියේදී අපි ඒ ගැන කතා කරමු.
ඔබ ප්‍රථම වතාවට රාජ්‍ය සම්මානයක් ලබාගත්තා. මොකද හිතුණේ?
එදා නම් මට හිතාගන්න බැරි වුණා. මට එය වෙනස්ම අත්දැකීමක්. 2024 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ඉංග්‍රීසි අංශයෙන් හොඳම නළුවා දෙවැනි ස්ථානය. ඒ සම්මානය අතට ගත්තු කෙනෙක් දන්නවා ඒ හැඟීම කොයි තරම්ද කියලා. ඒ අවස්ථාවේ දැනුණු හැඟීම වචනයෙන් කියන්න බැරි තරම්.
පසුගියදා වැලන්ටයින් සැමරුවේ නැද්ද?
ආදරයට මොකටද දවසක්. අවංකව ආදරය කරනවා නම් මම හිතන්නේ නෑ එයට විශේෂ දවසක් ඕනෙ කියලා.
මවුපියන් හරහාද ඔබ කලාවට සම්බන්ධ වුණේ?
මගේ මවුපියන් ලොකු රුකුලක් වුණා. ඒ අතර මම ඔඩිෂන් පවා ගියා. හැම මොහොතකම මම ජීවිතය දකින්නේ ඉස්සරහට යන්න තමයි. මගේ මවුපියන් හැම මොහොතකම මම කැමැති දේවල් කරන්න මට ඉඩ දුන්නා. ඒ විතරක් නෙවෙයි මට යන්න පාර හදලා මට ශක්තියක් වෙලා මගේ ළඟින්ම හිටිය එක මට ආශීර්වාදයක් වුණා.
තේනිය අලුත් නිර්මාණයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා නේද?
ඔව්. මිනි සීරීස් වැඩක්. කොටස් 10ක ටෙලිනාට්‍යයක්. එය අධ්‍යක්ෂණය කරන්නේ මම. රාජ්‍ය නාට්‍ය උළෙලට පිටපතක් ලියාගෙනත් යනවා. ඉතින් මේ දවස්වල ඔය වැඩ කටයුතු ටික තමයි කරන්නේ.
වසන්ත විතාරණගේ











