ගිය සතියේ ‘මව්රට’ හාට් පිටුවේ සිංහල සිනමාවේ ජනප්‍රියම ප්‍රවීණ නිළියන් දෙදෙනකුගේ උපන්දින සැමරුමක් ගැන ලිව්වා මතකයි නේද? මේ සූදානම් වෙන්නෙත් සිංහල සිනමාව දිග්විජය කළ තවත් ප්‍රවීණ අතිදක්ෂ නිළියකගේ පැටිකිරිය ගැන අකුරු කරන්නයි. Sri Lanka Latest News
ඈ ගීතා සමන්මලී කුමාරසිංහ. පසුගිය ජුනි 20 වැනිදා ගීතා සිංහල සිනමාවට ඇවිදින් අවුරුදු 50ක් පිරුණා. ලබන ජූලි මාසේ 05 වැනිදාට ඇයට අවුරුදු 70ක් පිරෙනවා. එතකොට ඈ සිනමාවට එන්නේ වයස අවුරුදු 20ක් වැනි තරුණ වයසකදී. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්. පෙරේරා ඔහුගේ ‘වාසනා’ ෆිල්ම් එකට ප්‍රධාන නිළියට අමතරව තවත් අලුත් මුහුණක් හොයන්න ‘සරසවිය’ පත්තරයට දැන්වීමක් දාන වෙලාවේ ඒ ඔඩිෂන් එකට ගීතත් එනවා. කුලුඳුලේම ඈ රඟපාන්නේ එවක ජෝඩු විලාසිතාවට රඟපාලා අතිශයින්ම ජනප්‍රිය වෙලා හිටපු සිත්කලු තරු දෙපළක් වූ හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකා සහ ජනකාන්ත නළු විජය කුමාරතුංගත් එක්කයි. හැබැයි ගීතාගේ කුලුඳුල් රංගනය ‘වාසනා’ වුණාට පළමුවෙන් හෝල්වලට එන්නේ ‘ලස්සන කෙල්ල’ ෆිල්ම් එක.
කොහොම වුණත් ගීතා සිනමාවට පය තියලා ඇගේ ගමන පටන්ගන්නේ ‘වාසනාවන්ත ලස්සන කෙල්ලක්’ විදියටයි. සරලවම කියනවා නම් ජනප්‍රිය තරු දෙපළකගේ සහාය නිළිය විදියට රංගනයට එන ඈ වාසනාවට වාගේ ජනප්‍රියම ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු නීල් රූපසිංහයන්ගේ ‘ලස්සන කෙල්ල’ ෆිල්ම් එකේ මේන් රෝල් එකට තෝරාගන්නවා. තවත් අපූරු සිදුවීමක් වෙන්නේ ඈ එහි රඟපාන්නේ 70 දශකයේ ගැහැනු සිත් මුසපත් කළ ආකර්ෂණීයම නළුවකු වූ තිස්ස විජේසුරේන්ද්‍රත් එක්කයි. ‘ලස්සන කෙල්ල’ හිතුවටත් වඩා හිට් වුණා. බොක්ස් ඔෆිස් වාර්තා එක්ක ලස්සන කෙල්ල මාස ගණන් එක දිගට ආරම්භක හෝල්වල දුවනකොට ගීතා කුමාරසිංහට ‘ලස්සන කෙල්ල’ කියන නම පටබැඳුණා. සරසවිය ඇතුළු ජාතික පුවත්පත්වලත් ඈ ගැන ලියැවුණු රසබර ලිපි එක දිගට පළවුණා. බෙන්තොටින් නිළියක වෙන්න හිතාගෙන කොළඹට ආපු කුමාර විදානලාගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ හෙවත් ගීතා සමන්මලී කුමාරසිංහටවත් හිතාගන්න බැරි විදියට ඈ සිංහල සිනමාවේ ජනප්‍රියම නිළියක් වුණේ, තෝරාගන්න බැරි තරමට ඇගේ දෝතට චිත්‍රපට පොකුරු ගණන් ලැබෙන කොටයි.
දකුණු ඉන්දීය සිනමාවේ කිරුළ දරපු ශිවාජි ගනේෂන් සමග රඟපා ජාත්‍යන්තර සිනමාවද ස්පර්ශ කළ මේ අතිදක්ෂ ලස්සන කෙල්ල සරසවිය ජනප්‍රිය මෙන්ම හොඳම නිළි සම්මානයටද කිහිප වතාවක්ම හිමිකම් කීවා. බොහෝ නිළියන් භාරගැනීමට මැළිකමක් දක්වන, කරුමක්කාරයෝ, පොඩි මල්ලි, පෙම්බර මධූ වැනි සරාගී චරිත රැගත් චිත්‍රපට ඇතැම් විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වුවද සත්තකින්ම කියනවා නම් ගීතා කුමාරසිංහ කියන්නේ අතිවිශිෂ්ට රංගන ශිල්පිනියක බව පාලම යට, හිම කතර, ලොකු දුව වැනි චරිතයන් තුළින් මොනවට කියාපෑවා.
ඉතින් මේ අද්විතීය වූ ලස්සන කෙල්ලට ඇගේ 50 වැනි සිනමා සැමරුම වෙනුවෙනුත්, තව දින කිහිපයකින් යෙදෙන 70 වැනි උපන්දින සැමරුම වෙනුවෙනුත් ‘මව්රට’ අපි ඇයට ශුභාශිංසන එක් කරනවා.
ගීතා ඔබට සුබ අනාගතයක්…
මල්මි කෞෂල්‍යා











