ශ්‍රී ලංකාවේ සිනමා වංශකතාවේ ස්වර්ණමය යුගයක් වූ 60 වැනි දශකයේ සිනමාකරුවන් හට කෘතගුණ සැලකීම වෙනුවෙන් පිදෙන ‘සිල්වර් ස්ක්‍රීන්’ (Silver Screen) උපහාර පිදීමේ උළෙල පසුගියදා ඉතා උත්සවාකාරයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. 60 දශකය යනු සිංහල සිනමාවේ නිර්මාණශීලී කලාකරුවන් රැසක් බිහිකරන ලද දශකයක් ලෙස සැලකෙයි. එසේම එම දශකය තවත් ජනප්‍රිය සිනමා කලාකරුවන් රැසක්ද බිහිකළ සමයක් විය. සිංහල සිනමාවට පසුගිය කාලයක් පුරා විවිධ අයුරින් විශාල මෙහෙවරක් ඉටුකරන ලද ‘සිල්වර් ස්ක්‍රීන් පදනම’ මෙම උත්සවය සංවිධාන කරන ලදී.
‘සිල්වර් ස්ක්‍රීන් පදනම (Silver Screen Foundation), මෙයට පෙර 50 දශකයේ සිනමා ශිල්පීන් වෙනුවෙන්ද උපහාර උත්සවයක් පවත්වනු ලැබීය. කෙසේ හෝ පසුගිය වසර 02කට වඩා කාලයක් පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් සිංහල සිනමාවේ බොහෝ කටයුතු අඩාළ විය. පසුගියදා පැවැති මෙම මහා උපහාර උත්සවයේදී 60 දශකය නියෝජනය කළ ප්‍රමුඛතම සිනමා ශිල්පීන් 30 දෙනකුට සම්මාන සහතිකපත් සහ මුදල් ත්‍යාගද පිරිනැමිණි. මෙහිදී අගැයීමට පාත්‍ර වූ ප්‍රවීණ, නිර්මාණශීලී සිනමාවේදිනියක වූයේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියයි. එසේම 60 දශකය ඔපවත් කළ සිනමා ශිල්පිනියන් (රංගන ශිල්පිනියන්) තිදෙනකු වූ අනුලා කරුණාතිලක, නීටා ප්‍රනාන්දු සහ සුවිනීතා වීරසිංහද මෙහිදී සම්මානයට සහ අගැයීමට පාත්‍ර වූහ. සම්මානයට පාත්‍ර වූ සිනමා ශිල්පීන් 30 දෙනා අතරෙහි මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන සිනමා ශිල්පී සුමින්ද සිරිසේන සහ චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන්ද වූහ. මෙම සිනමා ශිල්පීන් සියලු දෙනා බොහෝ සතුටින් යුතුව තමන්ට හිමි සම්මාන සහ මුදල් ත්‍යාගයන් ලබාගන්නා අයුරු දැකගන්නට ලැබිණි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, වත්මන් සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක සහ හිටපු අමාත්‍ය සහ ප්‍රවීණ සිනමා ශිල්පී ජීවන් කුමාරතුංගද සිනමා ශිල්පීන්ට උපහාර පිදීමට එක්වූහ. ‘සිල්වර් ස්ක්‍රීන් පදනමේ’ සභාපති ප්‍රමුඛ චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂ සුනිල් ටී. ප්‍රනාන්දු මහතා සහ එම පදනමේ ප්‍රධාන ලේකම් ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මෙනවියගේ අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ මෙම සිනමා ප්‍රණාම උළෙල සංවිධාන කෙරිණි. මෙම උළෙලේදී සම්මානයට පාත්‍ර වූ සිනමා ශිල්පීන් 30 දෙනා වෙනුවෙන්ම රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගද පිරිනැමිණි.
මෙම කර්තව්‍ය සඳහා විශාල ධනස්කන්ධයක් වැයකර ඇති අතර, ඒ සඳහා පෞද්ගලික දානපති ධන පරිත්‍යාගයන් ලබාදී ඇත. එහිදී සිංහල සිනමාවට බොහෝ ළැදියාවක් දක්වනු ලැබූ එස්. තරුමුරුගන් නමැති දෙමළ ජාතික ව්‍යාපාරිකයකුගේ ප්‍රධාන මූල්‍ය අනුග්‍රහය හිමිවී ඇත. සිංහල සිනමාවේ කලින් කලට නිරතව සිටි පැරැණි සිනමා ශිල්පීන් උදෙසා මෙලෙස අගැයීමක් සහ ප්‍රණාමයක් සිදුකළ යුතු යැයි මුලින්ම අදහසක් ඉදිරිපත් කර තිබුණේ මේ වන විට ජීවතුන් අතර නොමැති ප්‍රකට සිනමා ශිල්පියකු වන සුමිත් බිබිලේ මහතාය. ඔහු සිනමා රංගන ශිල්පිනී සනෝජා බිබිලේගේ පියාය.
ප්‍රියන්ත හෙට්ටිගේ