කළු කෝට් එක දාලා උසාවියේ තර්ක කරන නීතිඥයෙක්, රිදී තිරයේ ‘සොහොන්පල්ලා‘ වෙලා අපේ හිතේ බියත්, වේදනාවත් එකවරම ඇවිස්සුවා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. ඒ රංගනය ඇතුළේ තිබුණේ රඟපෑමකට එහා ගිය ඇත්තම ඇත්ත ජීවයක්. ඔහු නමින් මැල්කම් මචාඩෝ. නීතියේ අකුරු අස්සේ ජීවිතේ හොයන අතරේ, රංගනයෙන් හදවතට කතාකරන මේ අපූරු මිනිසා, අද අපේ ‘හාට්’ එක්ක සම්මුඛ වෙන්නේ මෙහෙමයි…Sri Lanka Latest News
මේ දවස්වල මැල්කම් සොහොන්පල්ලෙක් වෙලා කියලා ආරංචියි?
ඔව්, කතාව ඇත්ත. හැබැයි ඒ ‘ධර්මයුද්ධය 2’ චිත්‍රපටය ඇතුළේ. මුළු ෆිල්ම් එකම කුතුහලයයි ත්‍රාසයයි මැද ගලාගෙන යන්නේ. මගේ චරිතය සුළු එකක් වුණත්, මීට කලින් මට ලැබුණු චරිතවලට වඩා ඒක හරිම වෙනස්.
නීතිඥයෙක් විදියට සැබෑ ජීවිතේ නීතිය රකින ඔබ, සොහොන්පල්ලෙක්ගේ ඒ රළු බව ඇතුළට ගියේ කොහොමද?
ඇත්තටම අපි නිර්මාණයකට දායක වෙන්නේ කාලයක් තිස්සේ ලබාගත්ත අවබෝධයත් එක්කයි. නිකම්ම මූණෙන් රඟපානවාට වඩා ඒ සිදුවීම්වලට රියැක්ට් කරන එකයි වැදගත්. මගේ ජීවිත කාලය පුරාම රංගනය ගැන කරපු අභ්‍යාසයයි, අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීමයි තමයි මාව ඒ සොහොන්පල්ලාගේ චරිතය ඇතුළට අරන් ගියේ. ඒක රංගන ජීවිතයේ මම ලබපු ලොකු අත්දැකීමක්.
‘ඇල්බොරාදා’ ගැන කතාකරමු. ලෝක ප්‍රකට කවි පැබ්ලෝ නෙරූඩාගේ සේවකයා වෙන්න ලැබීම අභියෝගයක් නෙවෙයිද?
ඒක මාරම අභියෝගයක්. මොකද මේක 1920 ගණන්වල ලංකාවේ සිද්ධ වුණු ඇත්තම කතාවක්. නෙරූඩාගේ පෞද්ගලික ජීවිතය පවා හොඳට දැනගෙන හිටපු සේවකයෙක්ගේ චරිතයයි මම කළේ. නෙරූඩාගේ ජීවිතයයි ප්‍රේක්ෂකයායි අතරේ තිබුණේ හීනි හුයක් වගේ සම්බන්ධයක්. ඒක ගොඩනැගුවේ මගේ චරිතයෙන්.
ඉතිහාසගත චරිතයකට පණ දෙන එක ලේසි නැහැ, ඒකට කොහොමද සූදානම් වුණේ?
ඒ ඉතිහාසය ගැන හොයලා බලලා, කාලයක් තිස්සේ අභ්‍යාස කරලා තමයි මම ඒකට ලෑස්ති වුණේ. නිකම්ම ඇක්ට් කරන්නේ නැතුව ඒ සිද්ධිවලට රියැක්ට් කරන එකයි වැදගත්. මගේ රංගන ජීවිතේ අත්දැකීම් ඒකට මට ගොඩක් උදව් වුණා.
ඒ අභියෝගයට ලැබුණු ප්‍රතිඵලය ගැන මොකද හිතෙන්නේ?
ඒක මගේ රංගන ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්. සිග්නිස් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා වුණෙත්, දෙරණ සිනමා උළෙලේ නිර්දේශ වුණෙත් ඒ චරිතය නිසා. මම ඒකට කරපු කැපවීම මිනිස්සු පිළිගත්තා කියලා ඒකෙන් තේරුණා.
‘අමුතු දොස්තර’ එකේ ඔබව දකින්නේ රෝහල් පරිපාලකයෙක් විදියට. ඒකත් වෙනදා වගේම පීඩිත චරිතයක්ද?
මට ගොඩක් ලැබෙන්නේ පීඩාවට පත්වුණු චරිත. හැබැයි මේ වෛද්‍යවරයා ඊට වඩා වෙනස්. ඔහු කලාවට ඉවක් තියෙන, ලෝකය දිහා හරිම නිර්ව්‍යාජ විදියට බලන කෙනෙක්.
ඒ කියන්නේ අපි සමාජයේ දකින සාමාන්‍ය වෛද්‍යවරයෙක් නෙවෙයි?
කොහෙත්ම නැහැ. තමන්ගේ ස්වාමියා මියගිය කාන්තාවක් එක්ක සම්බන්ධයක් පවත්වලා, ඇයව විවාහ කරගන්න තරම් මානුෂික, හරිම විවෘත මනුස්සයෙක් ඔහු. පිටපත කියවද්දී මටත් හිතුණා ”මට මේක කරන්න පුළුවන් වෙයිද?” කියලා. ඒත් අධ්‍යක්ෂවරයා මාව විශ්වාස කළා.
නිර්මාණ ලබාගැනීමේදී ඔබ හරිම තෝරාබේරා ගැනීමක් කරනවා නේද?
මට ආරාධනා කරන්නේම මම ඒ චරිතයට සුදුසු නිසයි. මම ගොඩක් වෙලාවට සාධනීය මැදිහත්වීමක් කරන්න පුළුවන් ඒවට තමයි යන්නේ. කාලය කළමනාකරණය කරගන්න බැරි වෙලාවට විතරයි නිර්මාණ අතහරින්නේ.
අශෝක හඳගම වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කිරීම ගැන මොකද හිතෙන්නේ?
ඔහු මේ කාලයට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්න කෙනෙක්. සමාජය කියවන්න ඔහුට පුදුම හැකියාවක් තියෙන්නේ. ලබන මාසෙත් ඔහුගේ අලුත් චිත්‍රපටයක් එනවා. ඒකත් වෙනස්ම අත්දැකීමක් වෙයි. සිනමාවේ වාරණයන්ට ලක් වුණත්, හඳගම කියන්නේ අපේ සිනමාව නව මාවතකට ගෙනාපු සන්ධිස්ථානයක්.
හිමාෂි මධුවන්ති











