ශ්‍රී ලාංකේය සිනමාවේ බොහෝ කලාකාරයන් ගැන කතාකරන්නේද සම්මාන පුදන්නේද ඔවුන් මියගියාට පසුවය. එහෙමත් නැත්නම් රෝද පුටුවට හෝ ඇඳට වැටුණාට පසුවය. (Sri Lanka Latest News)
එවැන්නක් එලෙස සිදුවන්නේ ඇයිද කියන ප්‍රශ්නයට අදටවත් පැහැදිලි උත්තර නැත. ඒවාට උත්තර හොයලා ඵලකුත් නැත. එලෙසම ඒ සංසිද්ධීන් අතර කඩිමුඩියේ මේ කෙටි සටහනක් ලියන්නට තනන්නේද කිසිදුම අගැයීමකට ලක් නොවුණු තවත් එක් ඇසූපිරූ තැන් සපිරි අද්විතීය පුද්ගලයෙක් ගැන කියන්නටය.
ඒ, ප්‍රවීණ නිර්මාණකරු ටයිටස් තොටවත්තයන්ය.
උප්පැන්නයේ හැටියට ඔහුගේ නම තොටවත්තගේ දොන් මැනුවෙල් ටයිටස් ද සිල්වාය. හැට හැත්තෑව දශකවල සිනමාවට එනකොට ඔහු ටයිටස් තොටවත්ත විය. තව ටික කලකින් ටයි මහත්තයා විය.
‘හඳයා’ ළමා චිත්‍රපටය හැදුවාට පස්සේ ‘ටයි මාමා’ විය. කාටූන් කලාව හරහා ‘දොස්තර හොඳ හිත’ව ටීවී එකට ගෙන එනකොට ඔහුට ‘ටයි අංකල්’ කියන්නත් හුරු පුරුදු විය. ඉංග්‍රීසියෙන් යන කාටූන් කලාව සිංහල බසට හරවා කුඩා දරුවන්ගේ සිත් පිනවීමේ සොඳුරු කාර්යයට පළමුව උරදුන්නේ ටයිටස් තොටවත්තයන්ය.
නිර්මාණකරුවකු ලෙස ටයිටස් තොටවත්ත සූරීන් සිංහල සිනමාවට ආවේ අධ්‍යක්ෂණය සහ තිර නාටක කලාව හරහාය. සටන්කාමී වාණිජ චිත්‍රපට මෙන්ම නිර්මාණශීලී චිත්‍රපට කලාව තුළද ඔහු සිය ප්‍රතාපවත් ප්‍රතිරූපය තනාගත්තේය. චිත්‍රපට අධ්‍යක්ෂණය වාගේම සංස්කරණය සහ තිර රචනය තුළ සිය හැකියාව මොනවට මෙහෙයවූයේය. සංස්කරණ ශිල්පියකු ලෙස ඔහු මුල් අවදියේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ විය. එවක ඔහුගේ හිතැති සගයන් අතර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ විලී බ්ලේක් සුවිශේෂව සිටියහ. ‘රේඛාව’ වැනි විශිෂ්ට ගණයේ නිර්මාණයක් බිහිවූයේ ඒ මිතුරුකම හරහාය. ඒ, 1956 අවුරුද්දය.
එයට පසු තොටවත්තයන් වැඩිපුරටම ඇබ්බැහිව සිටියේ සංස්කරණයටය. එය ඔහුට ප්‍රිය විය.
‘මරුසිරා’ යන නම ආරූඪ කරගත් සිරිපාලගේ චරිතය අලළා අමරනාත් ජයතිලක, ‘සිරිපාල සහ රන්මැණිකා’ හදන කොට ටයිටස් තොටවත්ත 1977දී ‘මරුවා සමග වාසේ’ හැදුවේය. ‘සිරිපාල සහ රන්මැණිකා’ සේම ‘මරුවා සමග වාසේ’ද ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ අතර, බොක්ස් ඔෆිස් වාර්තා බිඳදැමීමටද සමත් විය.
දරුවන් වෙනුවෙන්ම වූ නිර්මාණ කාර්යයට ඔහු අතගැසුවේ ‘හඳයා’ තුළිනි. ‘හඳයා’ සිංහල සිනමාවට සුන්දරතම මතකයක් එක්කළ සිනමා පටයක් වූ අතර, ළමයින් වෙනුවෙන් තැනූ ඒ සොඳුරු නිර්මාණය ඇස්වලින් දකින්නට දරුවන් සේම වැඩිහිටියන්ගෙන්ද සිනමාහල් පිරී ඉතිරී ගියේය. ඒ අතර එය බොක්ස් ඔෆිස් වාර්තාවලින්ද බොහෝ සිනමා පටයන්ට අභියෝගයක් විය. සම්මාන පිට සම්මාන ලැබීම අතින්ද හඳයා සුවිශේෂ වාර්තා තැබුවේය.
රූපවාහිනිය ලංකාවට ආවාට පසුව මේ සොඳුරු නිර්මාණකරුවා එයටද එබිකම් කළේය. ලස්සන ටෙලි කතා තැනුවේය. ඒ අතර ‘රන් කහවණු’ ප්‍රාසාංගික සහ ‘පින් මඳ පුතුන්’ ඒකාංගික ටෙලි කතා සුවිශේෂ විය.
ඔහු ගෙන ආ කාටූන් කලාව අතිශයින්ම මනහර වූයේය. ‘හා හා හරි හාවා’, ‘දොස්තර හොඳ හිත’ ‘ලොකු බාස් පොඩි බාස්’ වැනි තව තව ඔහුගේ නිර්මාණශීලීත්වයෙන් මැවුණු කාටූන් කතා බලන්නට පොඩි දරුවන් විතරක් නොව පැන්ෂන් ගෙන ගෙදරට වී සිටින වැඩිහිටියන්ද මැද සාලේ අසුන් ගත්හ. 80-90 ආච්චිලා සීයලාද එහි සිටියහ.
ෂර්වුඩ් වනාන්තරයේ වීරයා වූ ‘රොබින්’ චරිතය ඇසුරෙන් නිර්මාණය වූ ‘ෂර්වූඩයේ රොබින්’ කතා මාලාව ඔහු ශ්‍රී ලංකේය ළමා පරපුරට දායාද කළ අමරණීය නිර්මාණයකි. අදටත් ඒ සොඳුරු මතකයන් අපගේ හිත්වල නොමැකී තිබේ. එසේම සම්භාව්‍ය බටහිර නවකතා ඇසුරෙන් නිර්මාණය වූ රූපවාහිනී චිත්‍රපට රැසක් ඔහුගේ කඬකැවීම් දායකත්වය යටතේ එකල ජාතික රූපවාහිනියෙන් විකාශය විය.
සරලව දිවි රටාව ගෙනගිය ටයිටස් තොටවත්ත නම් මේ සරල සොඳුරු ටයි මාමා සිදුකළ කලාකාමී මෙහෙවර මේ යැයි ප්‍රමාණ කරන්නට බැරි තරම්ය.
ඒ අමිල මෙහෙවර වෙනුවෙන් එතුමන්ට දුන් අගය ගැන සෑහීමකට පත්වන්නට පුළුවන්ද? බැරිය කිව්වත් ටයි මහත්තයා එහෙම පඬුරු පාක්කුඩම් බලාපොරොත්තු වූ මහත්මයකු නොවීය. ඒත් ඔහු වෙනුවෙන් මීට වැඩි යමක් කළ යුතුව තිබිණි.
ඒ හින්දා අපි ඔහුටත් මෙහෙම කියමු.
‘ටයි මහත්තයා කලාකාරයෙක් විදියට නම් ලංකාව වගේ රටක ආයේ ඉපදෙන්න එපා….’
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











