2018 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රූ රැජිනිය තරගාවලිය හරහා ලංකාව වෙනුවෙන් කිරුළක් හිමිකරගෙන පැමිණි නුවන්දිකා සිරිවර්ධන පසුගියදා ලංකාවේ ප්‍රථම වතාවට ලෝක රූ රැජින තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළා. සංවිධායකවරියක්, වෛද්‍යවරියක් විදියට කටයුතු කරන ඇය කලාවටම වගේම රටටත් එකසේ ආදරය කරන්නියක්. ඇය ගත් උත්සාහය ගැන ‘හාට්’ සමග දොඩමලු වුණේ මේ විදිහට.
පසුගිය දවසක ඔබ පොදු රාජ්‍ය මණ්ඩලීය පැජන්ට් තරගාවලියක් ලංකාවේ පැවැත්වීමට සංවිධානය කළා නේද? ඒ අභියෝගයට කාන්තාවක් විදියට මුහුණ දුන්නේ කොහොමද?
මම මේ හැම අභියෝගයකටම මුහුණ දුන්නේ මගේ රට වෙනුවෙන්. එය මට ආඩම්බරයක්. 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ලෝක රූ රැජින තරගාවලිය ජයග්‍රහණය කළේ මම. එය ජයග්‍රහණය කරපු නිසා මෙවර ඒ තරගාවලිය මගේ රටේ පැවැත්වීමට මටත් අවස්ථාව ලැබුණා. ලංකාවේ මෙවැනි ලෝක රූ රැජින තරගාවලියක් පවත්වපු පළමු අවස්ථාව තමයි මේ.
මෙවැනි තරගාවලියක් පැවැත්වීමට ලොකු පිරිවැයක් දරන්නට සිදුවන්නට ඇති නේද?
රජයෙන් මෙයට කිසිම අනුග්‍රහයක් දැක්වූයේ නැහැ. මගේ වැඩකටයුතු සැලැසුම් සහගතව පිළිවෙළකට ගියා. පෞද්ගලික මල් සැරසිලි ආයතනයකින් අලංකරණ කටයුතු සඳහාත්, ප්‍රසිද්ධ හෝටලයක් ඉඩ පහසුකම් සඳහාත් අනුග්‍රහයක් ලබාදුන්නා. මෙවැනි තරගාවලියක් අපේ රටේ පළමු වතාවට පවත්වද්දී රජය මෙයට වඩා මැදිහත් විය යුතුයි කියලා මම හිතනවා.
මෙවැනි තරගාවලියක් පැවැත්වීමේදී එයට අනුග්‍රාහක භවතුන් සම්බන්ධ කරගැනීමේදී ප්‍රශ්නවලටත් මුහුණපාන්න ඇති නේද?
එය ගැන නම් මම කලකිරුණා. පැජන්ට්වලට තරග කරන අයයි, එය සංවිධානය කරන අයත් සමහර අනුග්‍රාහක භවතුන් සම්බන්ධ කරගන්න ගියාම නිරූපිකාවන් ඉල්ලුවා. මම ආයතන කියන්න කැමැති නැහැ. මම නිරූපිකාවන් කිසිම දෙයකට සම්බන්ධ කරන්නේ නැහැ. ඔවුන් අපට අනුග්‍රහය දෙනවා නම් අපි කරන්නේ අපි ඔවුන්ගේ ආයතනයට පබ්ලිසිටිය ලබාදෙන එක විතරයි. ඉතින් ඔය හේතූන් මත නිරූපිකාවන් ආරක්ෂා කරගන්න බැරිවෙයි කියලා මම ඔවුන්ව සම්බන්ධ කරගත්තෙම නැහැ.
පසුගිය කාලේ රටේ තිබුණ තත්ත්වයත් එක්ක විදේශීය සංචාරකයන් පැමිණීම අඩුවක් අප දැක්කා. මේ හේතූන් මත ඔවුන් කැමැති වුණාද ලංකාවේ මෙවැනි තරගාවලියක් පැවැත්වීමට?
ඒ බිය නැති කරන්න තමයි මට උවමනා කළේ. සංචාරය සඳහා ශ්‍රී ලංකාව සුදුසු හොඳ තත්ත්වයක තිබෙන බව කියන්නයි මම මේ උත්සාහ කළේ. ගොඩදෙනෙක් මට එපා කියද්දී මම මේ තරගාවලිය සංවිධානය කළේ. අවසානයේ මම හිතුවාටත් වඩා සාර්ථක වුණා. පැමිණි රටවල් ප්‍රමාණය අඩු වුණත් විදේශීය නිරූපිකාවන් තිහක් විතර පැමිණියා. සමහරුන්ට මේ තරගාවලියට පැමිණීමට බියක් ඇතිවන්නට ඇති රටේ තිබුණ තත්ත්වය නිසා. ඒත් පසුව ඔවුන් තේරුම් ගත්තා ශ්‍රී ලංකාවේ එහෙම බියක් ඇතිකර ගතයුතු වාතාවරණයක් නැති බව.
ඔබගේ මේ පැජන්ට් තරගාවලිය බොලිවුඞ් රංගන ශිල්පී ගගන් මලික් සම්බන්ධ වීමට විශේෂ හේතුව මොකක්ද?
ගගන් මලික් විදේශීය නිරූපණ ශිල්පියෙක්. ඔහු ලංකාවේ ජනප්‍රියම රංග ශිල්පියෙක් බවට පත්වුණේ ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය හරහා. ඔහුට නිරූපණ ක්ෂේත්‍රය ගැන හොඳ වැටහීමක් වගේම දැනීමක් තිබෙනවා. ඉන්දියාවෙනුත් නිරූපිකාවන් මේ තරගාවලියට ඉදිරිපත් වුණ නිසා ගගන් මලික් විනිශ්චය මණ්ඩලයෙන් ලොකු සහායක් ලබාදුන්නා. අනික ඔහු නැවැත ලංකාවට පැමිණියා කියා ලොව පුරා පැතිරෙද්දී මේ තරගාවලිය තවත් ආලෝකමත් වුණා.
නුවන්දිකා ඉදිරියේදී බොලිවුඞ් චිත්‍රපටයක රඟපෑමට නේද කටයුතු සූදානම් කරගෙන යන්නේ?
බොලිවුඞ් නිර්මාණකරුවන් කිහිපදෙනකු සමඟ ඒ ගැන කතා කරගෙන යනවා. ලංකාවේ සිනමාවත්, බොලිවුඞ් සිනමාවත් එකතු කරලා සුන්දර නිර්මාණ කිහිපයක් කිරීමට තමයි අපේ සැලැසුම. එය ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. විස්තරාත්මකව කරුණු කාරණා අනිවාර්යයෙන් ‘මව්රට’ට මම කියන්නම්.
වසන්ත විතාරණගේ











