පසුගිය දවස්වල අන්තර්ජාලයේ සැරිසැරූ පැවිදි රුවක් කාගෙත් නෙත් සොරා ගත්තා. එය දුටු සැණින් අදහාගත නොහැකි වුවත් එහි සිටි සූර්යා දයාරුවන් හඳුනා ගන්නට අපහසු වුණේ නැහැ. පසුගිය දවස්වල ඔහු සද්ද බද්ද නැතුව හිටියේ මේ හේතුව නිසාද කියලත් සැක සහිතයි. ඉතින් ඔහු චීවරයක් දරාගෙන ඉන්න ඒ ඡායාරූප පෙළක් ගැන ඇත්ත නැත්ත සොයා ගැනීමට අපි ඔහුව සම්බන්ධ කරගත්තා.
සූර්යා හිටිගමන් පැවිදි වුණු බව අපට දැගන්න ලැබුණා. මොකද ජීවිතය සසර කලකිරුණාද?
ඔව්නේ මම මහණ වුණා. හැබැයි ජීවිතය කලකිරිලා නෙවේ. එය මගේ රංගන ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ තමයි අරුණ ජයවර්ධනගේ සල්මල් ආරාමය ටෙලිනාට්‍යයේ මට ලැබුණු චරිතය ලබන මාසයේ සිරස රූපවාහිනියේ එය දැක බලා ගන්නට පුළුවන්. මම එහි ආනන්ද හාමුදුරුවන්ගේ චරිතය තමයි නිරූපණය කරන්නේ.
පුංචි තිරයේ සිනමාවේ ප්‍රේම කුරුල්ලා වුණු ඔබට පැවිදි චරිතයක් ජීවමානය කිරීම බැරෑරුම් කාර්යයක් වෙන්න ඇති?
ඇත්තටම හිතන තරම් පහසු කටයුත්තක් නෙවේ ඒක. මඟතොටදී පැවිදි පූජකවරු දැක තිබුණත් චීවරයක් දරාගෙන නැහැනේ. එය ඉතින් වෙනස්ම අත්දැකීමක්. සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න සිද්ධ වුණා. පෙර පුහුණු වීම් ඇතිව තමයි රූප ගතකිරීම් සඳහා සම්බන්ධ වුණේ.
චීවරයක් දැරූ පසු ඔබට මොනවගේ හැඟීමක්ද දැනුණේ?
මේ මමද කියලා වෙලාවකට හිතුණා. මොකද වෙන චරිතයක් වගේ නම් විහිළුවක් කරලා කණ්ඩායමත් එක්ක විනෝදයෙන් ඉන්නවා. චීවරයත් එක්ක මමත් සංවර වුණා. රූප ගතකිරීම් ඉවර වෙලත් දවස් දෙක තුනක් යනකම් ආනන්ද හාමුදුරුවන්ගේ චරිතයෙන් මිදෙන්න බැරි වුණා මට. වෙනස්ම විදියේ චරිත කිරීමේ උණක් මට තිබෙනව. ඒ වෙනසේ පටන් ගැන්ම තමයි මේ.
ඔබ හිටිගමන් තෝඩු ටෙලිනාට්‍යයෙන් මඟහැරලා ගියේ මේ පැවිදි වීම එක්කද?
නැහැ. එහෙම හේතුවක් නිසා නෙවේ. කතාවේ හැටියට මම අම්මාත් එක්ක විදේශගත වෙනවා ඕස්ටේ්රලියාවට. ඉතින් නැවැත මම ලංකාවට එනවා. ඒ හරහා නැවැත කතාවට අවශ්‍ය විදියට මගේ චරිතය දිගහැරෙනවා.
ඔබ මේ ක්ෂේත්රයට ඇවිත් වසර දහයක් පමණ වෙනවා. සිනමාවෙන් ගමන පටන් ගත්ත ඔබ දැන් ටෙලි තරු අතර රජ කරනවා?
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘සමනල සංධ්වනිය’ හරහා ආරම්භ කරපු මගේ කලා දිවිය ටෙලිනාට්‍ය, චිත්‍රපට විතරක් නෙවේ ගායනය පැත්තෙනුත් යම්තාක් දුරට පැමිණ තිබෙනවා. මේ වන විට මම චිත්‍රපට හයක විතර රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මම සිනමාවෙන් ඈත්වෙලා නැහැ. ආරාධනා ලැබුණත් මම ඒවට කැමැති වුණේ නැහැ.
චිත්‍රපට පැත්තෙන් ඉදිරියට යෑම ගොඩ දෙනෙක්ගේ සිහිනයක්. ඔබ එය ප්‍රතික්ෂේප කරනවා. මෙයට හේතුව?
පිටපතේ චරිතය කළුද, සුදුද කියන එක නෙවේ ප්රශ්නය. ඕනෑම චරිතයක් මම කරන්න සූදානම්. නමුත් මට වගේම ප්‍රේක්ෂකයන් දැනෙන චරිතයක් විය යුතුයි. නැතුව නිකම් සාරයක් නැතුව නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩක් නැහැ. හොඳ නිර්මාණයක් නම් මම දෙවරක් නොහිතා භාර ගන්නවා.
තවම සූර්යාගේ අනුරාගිනි ඇවිළුණේ නැහැ නේද. ඇයි ප්‍රමාද?
කාලයත් එක්ක එය වෙලාවට එළියට ඒවි. මගේ දෙවැනි ගීතය අනුරාගිනි. මගේ පළමු ගීතයට වඩා අනුරාගිනි සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙයි. එහි රූප රචනා කටයුතු සිදුකරලා ඉක්මනින්ම රස විඳින්න ඉඩකඩ සලස්වනවා.
ඔබට ගුරු පත්වීමක් ලැබුණු කතාව මොකද්ද?
කරන වැඬේ හරියට කරන්න ඕනෑ. මට බැහැ ළමයින් පිරිසක් අමාරුවේ දාන්න. මොකද ගුරු වෘත්තිය කරන ගමන් සමහරු කලාව කරනවා වෙන්න පුළුවන්. ඒත් මට බැහැ වැඩ දෙකක් පටලවාගෙන වැඩ කරන්න. එක්කෝ කලාව නැතිනම් ගුරු වෘත්තිය. මගේ ලොකු ආසාවක් තියෙන්නේ මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න තමයි.
වසන්ත විතාරණගේ











