පානා සෙනෙහස ගැන, ජේත්තු නෝනල ගැන, ඔමරි ලතාල ගැන සින්දු කිව්ව තරුණ පරපුරේ ජනප්‍රියම ගායකයෙක් වගේම නර්තන ශිල්පියෙක් වන දුෂ්‍යන්ත් වීරමන් මේ වෙනකොට අතගහල තියෙන්නෙ වෙනස්ම වැඩකට. සින්දු කීමයි, නර්තනයයි පැත්තකට තියල දුෂ්මන්ත් අලුතින්ම පටන් අරන් තියෙන්න සිංහල ක්ලාස් එකක්. ක්ලාස් එකේ ඉගෙන ගන්න අයයි, ටියුෂන් දෙන හැටියි දුෂ්‍යන්ත් අපිට කිව්වෙ මේ විදිහට.
දුෂ්‍යන්ත් කොහොමද මේ දවස්වල ජීවිතේ?
රටේ තියෙන වාතාවරණයත් එක්ක ඇත්තටම මේ දවස්වල විශේෂ වැඩ නම් මුකුත් නෑ. ඒත් ලංකාවේ නිර්මාණවල බුද්ධිමය දේපළවලට තියෙන නීති සම්පාදනය පැත්තෙන් නිරවුල් වෙන්න ඕන තැන් ටිකක් හදන්න සහෝදර ශිල්පීන් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරගෙන යනව.
ඔය අතරෙ සිංහල ක්ලාස් එකක් පටන් ගත්ත නේද?
ඔව්. මගේ වයිෆ් ගොඩක් කල් ජීවත් වුණේ පිටරටවල්වල. ඉතින් එයාට සිංහල කතා කිරීමේ පොඩි ප්‍රශ්නයක් තිබුණ. මේක පටන් ගන්න හිතුවෙ ඇත්තටම වයිෆ් ‘වොයිස් ටීන්’ වැඩසටහනට සම්බන්ධ වීමත් එක්ක ඇතිවුණ ප්‍රශ්න ටිකක් නිසා. ඔය වැඩසටහනෙදි එයාට හරියට සිංහල කතා කරන්න බැරි වීමත් එක්ක සමාජයේ ටික පිරිසකගෙන් එයාට විවේචනයක් එල්ලවෙන්න ගත්ත. අපි ඊට පස්සෙ කතා වුණා ඒ විවේචනයත් එක්ක ලස්සන වැඩක් කරමු කියල. ඉතින් ඒ විවේචනයට ධනාත්මක විදිහට ප්‍රතිචාර දක්වන්න තමයි අපි මේ වැඩෙ පටන් ගත්තෙ.
කොහොමද මේ අදහස එන්නෙ?
මටත් උවමනාවක් තිබුණ මොකක් හරි නිර්මාණයකින් මිනිස්සු අතරට යන්න ඕනෙ කියල. අපි කලාකාරයො විදිහට නිකම්ම ඉඳල හරියන්නෑ කියල අදහසක තමයි මම හිටියෙ. ඉතින් අපි පොඩි උත්සාහයක් ගත්ත ස්ටෙෆිනිට සිංහල කියන්න පුරුදු කිරීම හරහා සිංහල උගන්වන්න. ඒ සඳහා අපි ගන්න උත්සාහය තමයි අපි යූටියුබ් එක හරහා අපි ගෙනල්ල තියෙන්නෙ.
වැඬේට ස්ටෙෆිනි කැමැති වුණාද?
ඇත්තෙන්ම එයාගෙන් මේකට ලොකු සහයෝගයක් ලැබෙනව. අපි දෙන්නගෙ තියෙන සම්බන්ධතාවත් මේ වැඬේට ගොඩක් ගැළපෙනව. මොකද මන් දන්නෙ නැති දෙයක් මං එයාගෙන් ඉගෙන ගන්නව. එයා දන්නෙ නැති දෙයක් මගෙන් ඉගෙන ගන්නව. අපි අතර තියෙන ඔය අවබෝධයත් මේක සාර්ථකව කරගෙන යන්න ගොඩක් උදව් වෙනව. මේක අපි හිතනවට වඩා ගොඩක් අමාරු වැඩක් කියල තේරුණේ කරගෙන යනකොට. මොකද අපේ පෞද්ගලිකත්වයත් නිරාවරණය වෙන හින්ද මේකෙදි අපි පොඩි අවදානමකට පවා මුහුණදෙනව.
බොහෝ අයගෙ චෝදනාවක් තියෙනව යූටියුබ් හරහා වීඩියෝ කරන්නෙ ජනප්‍රිය වෙන්න හිතාගෙන කියල?
මේ වැඬේ කරද්දි අපේ මූලික අදහස තිබුණෙ මිනිසුන්ට ධනාත්මක දෙයක් දෙන්න. අපි ජනප්‍රියත්වය පස්සෙ යනව නම් මීට වැඩිය කරන්න ඕනෙ තරම් වැඩ තියෙනව. ඒ තැනට කවදාවත් මමවත්, මගේ වයිෆ්වත් වැටෙන්නෙ නෑ. අපේ රසිකයන් එක්ක තියෙන සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යමින් හොඳ යමක් දෙන්න උවමනාව තමයි අපිට තියෙන්නෙ. අනිත් එක තමයි මම මේ රටට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඉතින් ජනප්‍රිය වෙනවට වඩා අපේ භාෂාව, සංස්කෘතිය ගැන මගේ තියෙන හැඟීමත් ලෝකයට දෙන්න පුළුවන් අවස්ථාවක් විදිහට තමයි මම මේක දකින්නෙ.
ළඟදිම අපිට ස්ටෙෆිනි සිංහල සින්දුවක් කියනව අහන්න ලැබෙයිද?
ඇත්තටම අපි මේ වෙනකොට සින්දුවක් රෙකෝඩින් කරල තියෙන්නෙ. ඒ රෙකෝඩින් එකේ වීඩියෝ එක ළඟදිම රිලීස් කරන්න තමයි හිතාගෙන ඉන්නෙ.
මේ වෙද්දි සිංහල පන්තියට හොඳ ප්‍රතිචාර ලැබෙනවද?
ඇත්තටම අපි හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනව. මේ වැඬේ ඉස්සරහට යන්නෙ වීඩියෝවලට යූටියුබ් එක හරහා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. ඉතින් අපේ ක්ෂේත්‍රයේ ඉන්න සහෝදර ශිල්පීන් පවා යෝජනා කරල තියෙනව ඔවුන්ගෙ ගීත කියන්න කියල. තව කට්ටියක් කියනව මේක මෙතනින් නවත්තන්න එපා දිගමට කරගෙන යන්න කියල. ඉතින් මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපිට තවත් වැඬේ ඉදිරියට කරගෙන යන්න ආසාවක් තමයි ඇතිවෙන්නෙ.
ඉන්දික වික්‍රමරත්න











