පිය සෙනෙහස ලබන්න අපි කවුරුත් කැමැතියි. ඒ වගේම පිය සෙනෙහස නොලැබූ දරුවන් අපේ රටේ කොතරම ඇතිද. ඒ විතරක් නෙවේ පිය සෙනෙහසේ වටිනාකමක් නොදන්නා දරුවන් අද කාලේ පියවරු මංමාවත්වල අතරමං කරනවා. පිය සෙනෙහසක වටිනාකම පසුගියදා සුමති සම්මාන උළෙලේත් ඇගයීමට ලක්වුණා. ඒ “තාත්තා” ටෙලිනාට්‍ය වසරේ හොඳම ටෙලි නාට්‍ය කරමින්. තාත්තා කෙනෙක්ගේ වටිනාකමක් රටට කියා දුන්න තවත් දරුවෙක් තමයි ලලිත් රත්නායක.
ලලිත් කාලෙකට පස්සේ නැවත සම්මානයක් ලබාගත්තා නේද?
මම හිතන්නේ අවුරුදු විස්සකින් විතර තමයි මම සම්මානයක් ලබාගත්තේ. මම මෙයට පෙර නිර්මාණය කළ “අරුංගල්” ටෙලිනාට්‍යයත් සම්මාන ගත්තා. ඒ නාට්‍යයේ තිබුණු වටිනාකම ගුණාත්මකභාවය නිසා සම්මාන 40ක් විතර ලැබුණා.
‘තාත්තා’ ටෙලිනාට්‍ය හොඳම නිර්මාණය වීමට විශේෂ හේතු තිබුණද?
මම හිතන්නේ තාත්තා ටෙලිනාට්‍ය කොටස් 30කින් අවසන් වීම විශේෂයෙන් බලපාන්න ඇති. ඒ වගේම තාත්තා වෙනස්ම කතාවක්. තාත්තලාට ආදරේ නැති අයත් මෙම ටෙලිනාට්‍යයෙන් පස්සෙ තාත්තලට ආදරය කරන්න ඇති. හදවතට දැනෙන සංවේදී කතාවක් නිසා මෙයට සම්මාන ලැබෙන්න ඇති.
ලලිත් හිරේට නොගියා නම් තාත්තා බිහිනොවන්නත් ඉඩ තිබුණා. ඒ ගැන මතකය අවදිකළොත්?
මමත් හිතනවා එහෙම නම් මෙවැනි කතාවක් කාටවත් අහුවෙන් නැති වෙයි කියලා. මම වාර්තා වැඩසටහනකට බන්ධනාගාරයට ගියා. එහිදී මට බන්ධනාගාරගතව අවුරුදු 12ක කාලයක් සිටි පුද්ගලයෙක් හමුවුණා. මම ඔහු සමඟ කතා කළා. ඔහුගේ විස්තර මට පැවසුවා.
ඉතින් ඊට පස්සේ මොකද වුණේ?
ඔහුගේ කතාව මම ගෙදර ඇවිත් කල්පනා කළා. ඔහු බන්ධනාගාරගතව සිටින හේතුත් සාධාරණ වෙන්නත් පුළුවන්. අසාධාරණ වෙන්නත් පුළුවන්. එය මට අදාළ දෙයක් නෙවේ. ඒත් පැවසූ කතාව මට පීඩනයක් වුණා. නිතර දෙවේලේ මතක්වෙන්න ගත්තා. මම හිතාගත්තා ඔහු ඉන්න ඒ අවස්ථාව මට මුහුණපාන්න සිද්ධවුණා නම් මම මොන තරම් මානසික පීඩනයකින් ඉඳීවිද කියලා. හැබැයි ඒ මම නම් බන්ධනාගාරගත වෙනවාට වඩා හොඳයි මැරෙනවා කියලා මම හිතාගත්තා. ඒ තරමට ඔහුගේ කතාව මට බලපෑවා. ඒ හරහා තමයි මම පිටපතක් ලිව්වේ.
හැබැයි ඔබේ උත්සාහය අපතේ ගියේ නැහැ නේද?
සුදුස්සාට සුදුසු දේ ලැබෙන එක ගැන නිහතමානීව සතුටු වෙනවා. මම හිතුවේ නැහැ තාත්තට හැමෝම ආදරේ කරයි කියලා. බලන් ගියාම මම නොහිතපු දෙයක් තමයි තාත්තාට වුණේ.
ලැබුණු ගෞරවයත් එක්ක දැන් ඉතින් දිගට හරහට වැඩ කරයි?
මම එහෙම එක දිගට නිර්මාණ කරන්නේ නැහැ. හොඳට හිතලා බලලා හොඳ පිටපත් සකස් කරලා තමයි මම නිර්මාණයක් කරන්නේ. මොකද මට බැහැ නිෂ්පාදකවරු අමාරුවෙ දාන්න. ඔවුන් නිර්මාණයකට මුදල් යොදවන්නේ යම් ප්‍රයෝජනයක් සඳහා. ඔය අතර තවත් සමහරු ඉන්නවා මුදල් ගැනවත් නොහිතා වැඩ කරන්න කැමැති අය. ඉතින් සැලසුම් කරලා හොඳ නිර්මාණයක් කරනවා.
හැබැයි ලලිත් ගුණාත්මක නිර්මාණ කළත් අද කාලේ රූපවාහිනී නාලිකාවල ඉල්ලුමක් නැහැ නේද?
ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නය. රූපවාහිනී නාලිකාවල ගුණාත්මක වැඩවලට කිසිම ඉල්ලුමක් නැහැ විකුණන්න බැහැ කියලා. ඒ විතරක් නෙවේ බලන පිරිසත් අඩුයි. ලංකාවෙ තිබෙන ආර්ථික තත්ත්වයත් එක්ක නිර්මාණ කරලා විකුණාගන්න තමයි අපහසුව.
වසන්ත විතාරණගේ











