එක්තරා යුගයක සිංහල සිනමාව වසන්තයෙන් පිරුණු සමයක නෙතට රසඳුනක් වූ දෙසවනට අමා මිහිරක් වූ හද කොනක සිත්කලු හැඟුම් මැවූ සොඳුරු සංකලනයන් බොහොමයක් විය. ඒ බොහොමයක් වූ රසවත් සංකලයන් අතර ජෝඩු විලාසිතාව ජනකාන්ත නළු නිළියන්ව යොදා බයිස්කෝප් හදන එක වගේම ඒ ඒ නළු නිළියන්ට හිමි ප්‍රතිරූපය අනුව ගායක ගායිකාවන්ව තෝරා ගීත ගායනා කරවීමද ප්‍රසිද්ධියේ විලාසිතාවට සිදුවිය. නිදර්ශනයක්ව ගන්නවා නම් ගාමිණී – මාලනී නම් ජෝති – ඇන්ජලීන්ය. ‘සුදු පාට මීදුම් ගලාලා’ වාගෙම ‘පාට පොදක් තිලකලා’ද අදටත් තවමත් දස අත වාදනය වන්නේ ඒ ගැම්මටමය.
ගාමිණීට, මාලනීට වාගෙම මාලනීට, විජයටත්, ජෝති සහ ඇන්ජලීන්ම ගී හඬ කැව්වාහ. සංගීතා, සකුන්තලා වැනි ෆිල්ම්වල සින්දු අදත් ජනප්‍රියව ඇත්තේද ඒ ගැම්මට වන්නට ඇත. ජෝති සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් සින්දු කියන එකයි, ජෝති, විජය කුමාරතුංගට සින්දු කියන එකයි අතර ලොකු වෙනසක් තිබුණේය. ඒ වෙනසෙහි වූයේ විජය සහ ජෝති අතර මේ සින්දු ගනුදෙනුව හරහා හටගත් සෙනෙහෙවන්ත බැඳීමය. විජය කුමාරතුංග නම් සුන්දර මිනිසා ඉතා නිහතමානී චරිතයක් බව පුන පුනා මොකට කියන්නද? ඒ ගැන කලා ලෝකයෙහි නොදන්නා අයකු එදා වාගෙම අදත් සිටියේ නැත. (Sri Lanka Latest News -)
අන්න ඒ නිහතමානීකම නිසාම විජය හැමදාමත් වාගේ තම සිනමාමය ආලිංගනයට හඬ පෞරුෂය දෙන ජෝතිපාලට තම ස්තුතිය සහ ප්‍රණාමය පුද දුන්නේ බැති සිතිනි.
‘සින්දු කියන්නේ සල්ලිවලට ඩෝ. ඒක ප්‍රඩියුසරුයි මායි අතර ගනුදෙනුවක්. උඹ ඔහොම තෑන්ක් කරද්දී නම්බුනාම දෙනකොට මට ලැජ්ජයිනෙ මචං…’
ඒ, ජොතිපාලගේ කමෙන්ට් එකය.
‘එහෙම කියන්න එපා බං. උඹ ගැම්මට සින්දුව දෙන එකත් මගේ නළුකමට ලොකු ගෝ එකක්…’
විජය, ජෝතිගේ කරට අතදාන ගමන් කියන්නේ හදවතින්මය. ජෝතිත්, විජයත් අතර යාළුකම උඹ බං බොලන් මචං මට්ටමට ගිය එකකි. ගමේ ගොඩේ ක්‍රමයට ඒකට කියන්නේ ‘හැන්දේ වළඳේ වැටෙනවා’ කියලාය. සහතිකවම ඔවුන් අතර වූ යාළුකම ඊට වැඩිය බරය. කොයි තරම් බරදැයි කියනවා නම් පස්සේ පස්සේ දේශපාලනමය වශයෙන් පක්ෂ දෙකකට බෙදුණත් ඒ හිතවත්කම පයුරු පාසානය පලුදු වූයේ නැත. දේශපාලන වේදිකාවේදී යූ.ඇන්.පී. එක දෙකඩ වෙන්න පුරසාරම් දොඩන විජය වේදිකාවෙන් බැස ආවාට පසු මග තොටදී යූ.ඇන්.පී. එකට ආවඩමින් සින්දු කියන නටන ජෝති එක්ක බාර් එකට ගිහින් ඩ්‍රෑම් එකක් ගැහුවේය. ඌ යූ.ඇන්.පී.ය කියා හෝ මූ දම්පාට ඇඳගත්ත මහජන පක්ෂයේ කියා මේ අඹ යාළුවෝ දෙන්නා මඩ ගසාගත්තේ නැත. ස්ටේජ් එක උඩදීවත් එයින් බැස ගියාමවත් සම්මුඛ සාකච්ඡාවකදීවත් මාධ්‍ය හමුවකදීවත් දෙන්නට දෙන්නා කාටවත් බැණගත්තේ නැත. තම තමන් වෙනත් පක්ෂවල වේදිකාවලට නගින බවවත් නොදන්නා තාලෙට ඔවුන් සිය වේදිකා මතින් නික්ම ගිය පසුව එකට කෑවේ බිව්වේය.
හාට් ඇටෑක් එකකින් ජෝති මියගියේ නොසිතූ ලෙසය. එය විජයට දරාගන්නට බැරි හාට් ඇටෑක් එකක් විය. තම හදවතේ කොටසට ස්පන්දනය ඇනහිටියා සේ විජයට දැනුණේය. මුළු රටම සිය අතීසාර මිත්‍රයාගේ මරණයෙන් කම්පිතව හඬාවැටෙන ආකාරය දෙස විජය බලා සිටියේ මහත් ශෝකයෙන්ය. ඒ ශෝකය පුපුරා හැලෙද්දී ඔහු මාධ්‍යය හමුවේ සංවේදී කතාවක් කළේය.
‘ජෝති මමයි උඹයි මචං අඩෝ මට්ටමට හිටපු යාළුවෝ. මොකක්දෝ එකකට මං දවසක් ජෝතිට කිව්වා උඹ හදිසියෙවත් මට කලින් මළොත් මං උඹේ මිනිය බලන්න එන්නේ නෑ මචෝ. මොකද මට කවදාවත් උඹේ මිනිය බදාගෙන අඬන්න බැහැ. මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ජෝති කියන සුන්දර මනුස්සයව එකම එක දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්නයි. ඔහු හැමදාම මං වෙනුවෙන් සින්දු කියනවා අහන්න මට ඕනෙ වුණා. මම අවුරුදු 20ක් නළුකම කළා. ඒ නළුකමට හරියන විදියට සින්දුව දුන්නේ ජෝති විතරයි. ඒක හරියටම කළේ ජෝති. මටවත් බැරිවුණු මගේ හඬ පෞරුෂය හරියන තාලෙට සින්දුව දුන්නේ ජෝති. දැන් වගේ නළුකමත් එක්ක එන ආලිංගනයට හඬ දෙන්න කවුරුත්ම නැහැ….’
ජෝති ගැන ඒ ශෝකාන්තමය කතාව විජය කියලා තිබුණේ හදවතින්මයි. ඒක ඇත්ත නෙවෙයිද? සත්තකින්ම විජයගේ නළුකමට සින්දු හඬ දෙන්න ජෝති තරම් ගැම්මට කාටවත් බැරි වේවි. ඉන් පස්සේ ජෝතිගේ හඬට සමාන සින්දු හඬක් හොයන්න විජය වෙනුවෙන් චිත්‍රපට හදපු නිෂ්පාදකවරුන් සංගීතඥයන් මහන්සි වුණද ජෝතිගේ හඬ පෞරුෂයට මැච්වෙන විදියේ සින්දු තියෙන ආලිංගනමය රංගනයක් සඳහා විජයට ආරාධනා ලැබුණාද කියන්න හරියටම දන්නේ නැහැ. කොහොම නමුත් ජෝතිගේ මරණයෙන් මාස 7කට පස්සේ විජයගේ අකල් මරණය සිද්ධ වුණා. මතකය වැරැදි නැත්නම් එතකොට ‘කැඩපතක ඡායා’ නිම වෙමින් පවතිනවා. ඒකේ නම් ජෝතිට සින්දු කියන සීන් තිබුණෙත් නැහැ.
දේශපාලන පක්ෂ වෙනුවෙන් තම සහෝදර කලා ශිල්පීන්ට ශිල්පිනියන්ට මඩගහන කලහකාරී කලාකාරයන් ඉන්න අද වාගේ කාලෙක ජෝතිගෙයි විජයගෙයි යාළුකම මොන තරම් ආදර්ශයක්ද?
අන්න ඒ ටිකත් මේ කතාව අවසන් කරන්න කලින් නොකියාම බැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











