කොරෝනා වසංගතය හින්දා ගෙදරට කොටු වෙලා ඉන්න ලෝකවාසී හැමදෙනාටම අපූරු ප්‍රසංගයක් නැරඹීමේ අවස්ථාව පසුගිය සතියේදී උදා වුණා. ඒ හරියටම 18 වැනිදා රාත්‍රියේ. One World: Together At Home නමින් නම් කරලා තිබුණු මේ ප්‍රසංගය ලොව පුරා රූපවාහිනී නාළිකා ඔස්සේ එකවර විකාශනය වුණා. පැය 06කට වැඩි කාලයක් විකාශනය වූ එම ප්‍රසංගය නැරඹූ පිරිස අති විශාලයි. ජනප්‍රිය ගායන ශිල්පිනියකගේ අදහසක් අනුව සංවිධානය වුණු මේ ප්‍රසංගයට මේ වෙද්දී ලෝකයේ ජනප්‍රියම ගායක ගායිකාවන් සියල්ලම පාහේ එකතු වෙලා හිටියා. ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් මෙන්ම නව පරපුරේ ගායක ගායිකාවන්ද ඒ අතර වීම විශේෂයි. ඔවුන් සියලු දෙනාම තම නිවෙස්වල සිට තමයි මේ සඳහා එකතු වුණේ. කලින් පටිගත කළ දර්ශන සහිතව විකාශනය වුවත්, මේක හැම දෙනාටම අලුත් අත්දැකීමක් වෙලා තිබුණා.
One World: Together At Home ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේත් යහපත් අරමුණක් වෙනුවෙන්. මේ වෙද්දී ලෝකය පුරා කොවිඞ් වසංගතයට එරෙහිව සටන් වදින සෞඛ්‍ය සේවකයන්ට ස්තුති කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම තමයි එහි අරමුණ වෙලා තිබුණේ. එම ප්‍රසංගයෙන් ලැබුණු ආදායමත් කොරෝනා මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දීමට නියමිතයි. ඒ හරහා උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 127කටත් වඩා වැඩියි.
බටහිර ගායක ගායිකාවන් පමණක් නෙවෙයි ශාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා වැනි බොලිවුඞ් තරු කිහිපයක්ද එකතු වූ මේ ප්‍රසංගය අතරතුරේදී බොහොම රසවත් සිදුවීම් රැසක්ම දැක ගන්න ලැබුණා.











