යම් පිරිසකගේ විවිධ වූ මත අනුව රූපවාහිනිය සහ අන්තර්ජාලය නිසා සිංහල සිනමාවට විශාල අලාභහානියක් සිදුවිය. සරලව කියනවා නම් ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය හතරගාතේ දමා බිම ඇදවැටිණි. එලෙසම හොලිවුඞ්, බොලිවුඞ් සහ කොලිවුඞ් සිනමාවද එම ව්‍යසනයට මුහුණපෑවෝය.
හැබැයි, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය තරමටම ඉන්දියානු සහ හොලිවුඞ් සිනමාවට එම ව්‍යසනය බලපෑම් එල්ල කළේ නැත. හේතුව කුමක්දැයි අටුවා ටීකා වශයෙන් ලියන්නට බැරි වුවද පසුගිය වසර කිහිපය තුළ විශේෂයෙන් ඉන්දියානු චිත්‍රපට පෙළක්ම බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙළමින් ප්‍රේක්ෂක සිත් උන්මාදයට පත්කළේ වරක් දෙවරක් නොවේය. නාමිකව ලියන්නට ගියහොත් ඇත්තෙන්ම එය සුවිශාල දිගුවක් විය හැකි නිසා අප එයට තිත තබමු.
එහෙත්, කොවිඞ් 19 උවදුර ලෝකය ඉතා රුදුරු ලෙස ගිලගැනීමේ ව්‍යසනයේදී නම් ආකර්ෂණීය පාට පාට චිත්‍රපට සිහිනයන් අහුරු ගණන් ප්‍රේක්ෂකයන්ට මුදාහරින ඉන්දීය සිනමාව, අද මුහුණපා සිටින ඛේදවාචකයට නම් පහසුවෙන් තිත තැබිය නොහැකි බව කනගාටුවෙන් වුවද කිව යුතුවේ.
පසුගිය දිනෙක සමාජ ජාලා වෙබ් අඩවියක සඳහන්ව තිබුණේ කොවිඞ් 19 උවදුර හේතුකොටගෙන උතුරු ඉන්දීය සිනමාව ඉන්දියානු රුපියල් කෝටි 1300ක අලාභයක අතරමං වීමට නියමිතව ඇති බවය.
නිදසුන් ලෙස එය දක්වන්නේ නම් කටවුට්වලට පවා දැනටමත් කෝටි ගණනක් වියදම් කර මාර්තු, අප්‍රේල් මාසවල තිරගත වීමට සියල්ල සැලැසුම්කොට තිබූ ‘රාදේ’ :ඍ්ායැ* සහ ‘සූරියවන්ෂි’ :ීදදරහ්අ්බියස* යන යෝධ චිත්‍රපට නිර්මාණයන් තාවකාලිකව අකුළා ගන්නට සිදුවීමත් සමඟම අතිවිශාල පාඩුවක් සිදුවිය. දළ වශයෙන් එහි එකතුව රුපියල් කෝටි 1300කි. පසුගිය වසර දෙක තුළ අප්‍රේල් සිට ජුනි, ජුලයි දක්වා ඉන්දීය සිනමා කර්මාන්තය ලද ශුද්ධ ආදායම රුපියල් කෝටි 850 – 900 අතර වේ.
ඉන්දියාවේ හින්දි විනෝදාස්වාද කර්මාන්තයේ වෙළෙඳ විශ්ලේෂක අතුල් මොහාන් පවසා තිබෙන්නේ එවැනිම හෝ එයට වැඩි පාඩුවක් මේ වසර තුළ උතුරු ඉන්දීය සිනමා කර්මාන්තයට අත්විඳින්නට සිදුවන බවය. සත්තකින්ම එය ඉන්දියානු කලාකරුවන්ට තරු පෙනෙන තරමේ අතුල් පහරකි.
කෝටි ප්‍රකෝටි ගණන් වැයකර පාට පාට සැලෝලයිට් රෝල්වල තම හෙට දවස උකස් කළ චිත්‍රපට නිෂ්පාදකයන් අද මුව අයා උඩ බලාගෙන සිටින්නේ ‘දෙවියනි ඔබ කොහිද?’ යන අසරණ වචන කාණ්ඩය සිත තුළ දස දහස් වාරයක් උච්චාරණය කරමින් විය හැකිය.
සුපිරි වීර චරිත ලේබලය තුළින් ප්‍රේක්ෂකයන් විසිල් පාර නිසා නිතර උද්දාමයට පත් සල්මන් ඛාන් .ඍ්ාැහ. තාවකාලික ලද විරාමය නිසා දැඩි කනස්සල්ලට පත්ව ඇත.
‘සත්තකින්ම සැඩ පහරකට හසුව මම ඔහේ ගසා යමින් සිටින්නේය යන හැඟීම තුළ මම ඉච්ඡාභංගත්වයට පත්ව සිටීමිය.’ යනුවෙන් හෙතෙම සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත.
සරලව නැවතිල්ලේ සිතා බලන විට බොහෝ චිත්‍රපටවල රූගත කිරීම් ඇනහිටලාය. තවත් චිත්‍රපටවලට ප්‍රදර්ශනය කිරීමට නියමිත දින ගණන් කඩාකප්පල් වී ඇත. ප්‍රදර්ශනය ඉතා සාර්ථකව ආරම්භ කර තාවකාලිකව නවතා තැබූ චිත්‍රපටද ඒ අතර වේ.
ඉන්දියානු රිදී තිරය මත දිගහැරෙන පාට පාට හීන පොකුරු බෙදාදෙන හින්දි චිත්‍රපට නැරඹීමට ප්‍රේක්ෂකයන්ට ඇත්තේ බොළඳ වූ ආශාවකි.
නමුත්,
කොවිඞ් උවදුර නිසා කායිකව සහ මානසිකව හෙම්බත්ව සිටින එකී ප්‍රේක්ෂකයන් තුළ එදා වූ ආතල් එක හෝ ගැම්ම හෙට දිනයේද තිබේ යැයි සිතිය හැකිද?
චිත්‍රපට හෝල් විවෘත කරන දිනයක් තවම පෙනෙන මානයක නැත. අවුරුද්දෙන් අඩක් පමණ දැනටම ගෙවී යෑමට ආසන්නව ඇත. එම කෙටි කාලය තුළ චිත්‍රපට නැරැඹීමට කවදා නිදහස ලැබෙයිද?
ඉතිරිව තිබෙන්නේද සීමිත සිකුරාදා දවස් කිහිපයක් පමණකිය. (සමස්තයක් ලෙස අලුත් චිත්‍රපටයක ආරම්භය සේම තිරගත වෙමින් තිබූ චිත්‍රපටයක් තාවකාලිකව නැවැතී තිබීමෙන් පසුව නැවත ආරම්භ වන්නේද සිකුරාදා දිනයකදීය)
දූරදර්ශන් රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට පැමිණි වෙළෙඳ විෂ්ලේෂකයකු වූ තාරන් ආදර්ශ් පවසා තිබුණේ, ‘ඊළඟ තත්පරය අවිනිශ්චිතයි. බොහෝ විට අපට යම් අහිමිවීම් දරාගැනීමට සිදුවේවි. වැදගත්ම කාරණය වන්නේ මෙම වල්මත්වීම හේතුකොටගෙන ඇඟිල්ල දිගු කළ හැකි කිසිවකු අප ඉදිරියේ නැහැ. ඒ මන්දයත් සොබාදහමට හෝ දෙවියන් හමුවේ නඩුවක් ෆයිල් කිරීමට තරම් අප බලවත් නැති නිසාය.’
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











