“යමුද මුඩුක්කුවක ට්‍රැවල් එකක්?” කවුරු හරි ඔබට එහෙම යෝජනාවක් කළොත් ඔබගෙ ප්‍රතිචාරය කොයි වගේ එකක් වෙයිද? බොහෝ විට එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ඔබගෙන් ලැබෙන එකක් නෑ. මොකද එහෙම ට්‍රැවලින් අත්දැකීමක් අපිට නුහුරු හින්ද. නමුත් අද වන විට ලෝකයේ මුඩුක්කු ආශ්‍රිතව ක්‍රියාත්මක වන සංචාරක ව්‍යාපාරයකුත්, ඒ සඳහා පහසුකම් සපයන්න විශාල ට්‍රැවලින් ඒජන්සි ප්‍රමාණයකුත් සූදානමින් ඉන්නව කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ කියන්න යන්නෙ ඔබට එහෙම අලුත් සංචාරක අත්දැකීමක් ලබාගන්න පුළුවන් තැනක් ගැන. ඒ තමයි ‘ධරාවි’ මුඩුක්කුව.
ඉන්දියාවේ අගනුවර වන බුම්බාහි තමයි ධරාවි මුඩුක්කුව පිහිටල තියෙන්නෙ. වර්ග කිලෝමීටර් 2.1ක වෙච්ච මේ ප්‍රදේශයේ ජනගහනය ලක්ෂ 7ත් 10ත් අතර ප්‍රමාණයක්. ලෝකයේ වැඩිම ජන ගණත්වය තියෙන ප්‍රදේශයක් විදිහටත් ධරාවි හඳුන්වන්න පුළුවන්. ධරාවි ආසියාවේ විශාලම මුඩුක්කුව වෙනකොට ලෝකයේ විශාලම මුඩුක්කුව තියෙන්නෙ කොහොද. ඇත්තටම ලෝකයෙන්ම විශාලම මුඩුක්කු අනුපිළිවෙළ ගත්තොත් ධරාවිට හිමිවෙන්නෙ තුන්වෙනි තැන. දකුණු අප්‍රිකාවෙ කේප්ටවුන්වල පිහිටි ‘කයිලිට්ෂා’ හා කෙන්යාවේ නයිරෝබිහි පිහිටි ‘කිබෙරා’ මුඩුක්කු තමයි ලෝකයේ විශාලම මුඩුක්කු ලැසිය්සතුවේ පළමු හා දෙවැනි තැන ගන්නෙ. ධරාවි ඇතුළු ලෝකයේ විශාලම මුඩුක්කු පහ තුළ පුද්ගලයන් මිලියන 5.7ක් ජීවත් වන බව සඳහන් වෙනව. හැබැයි ඒක මිලියන 900ක් වෙච්ච ලෝක මුඩුක්කු ජනගහනයත් එක්ක බැලුවම ඉතාම සුළු ප්‍රමාණයක්.

වර්තමානයේ ග්‍රාමීය මිනිසුන් නගර කරා සංක්‍රමණය වී පැල්පත් බිහිවීම ගැටලුවක් බවට පත්ව තිබුණත් 1884 තරම් ඈත කාලයකත් ඒ ප්‍රශ්නය එහෙම්මම තිබිල තියෙනවා. මොකද ධරාවි මුඩුක්කුවල ආරම්භය සටහන් වෙන්නෙ 1884 තරම් ඈත කාලයක. ඒ බි්‍රතාන්‍ය යටත් විජිත සමයේදී මධ්‍යම නගරයෙන් කර්මාන්තශාලා ඉවත් කර ගැනීම නිසා ඒවායේ සේවය කළ දුප්පත් ග්‍රමීය වැසියන්ට යන එන මං නැතිවීම. ඉන්පසු එම ජනතාව නාගරීකරණය වූ මුම්බායි වෙත සංක්‍රමණය වීමත් සමඟ මෙම ධරාවි මුඩුක්කුවල ව්‍යාප්තිය ආරම්භය සටහන් වූ බව තමයි සඳහන් වෙන්නෙ.
පටු අපිරිසුදු මංමාවත්, විවෘත මලාපවහන පද්ධති, අවහිර වූ පැල්පත්වල හිරවෙමින් දුර්වර්ණ වූ මුහුණුවලින් පිරිච්ච ධරාවි වැසියන් වසරකට ඩොලර් මිලියන 650ක මුදලක් නොයෙකුත් කර්මාන්තවල යෙදෙමින් උපයනවා. ඒ විදිහට කිව්වොත් ධරාවි කියන්නෙ කර්මාන්තපුරයක් වගේම සල්ලි ආකරයක්. ධරාවිහි සාම්ප්‍රදායික මැටි සහ රෙදිපිළි කර්මාන්තවලට අමතරව, අපද්‍රව්‍ය එකතුකරන්නන් 2,50,000ක් පමණ සේවයේ යෙදීසිටිනව. මුම්බායිහි අනෙකුත් ප්‍රදේශවලින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය ඒ කියන්නෙ කුණු එකතු වෙන්නෙ ධරාවිවලට. මේ විදිහට කුණු ප්‍රතිචක්‍රීකරණය ප්‍රධාන කර්මාන්තයක් වුණත් එයින් ප්‍රදේශයේ අධික පරිසර දූෂණයක් ඇති කරනව. මෙම වර්ග කිලෝමීටර් 2.1ක කුඩා ප්‍රදේශය තුළ ඇස්තමේන්තුගත ව්‍යාපාර 5,000ක් සහ තනි කාමර කර්මාන්තශාලා එහෙම නැත්නම් ස්වයං නිෂ්පාදන කර්මාන්ත 15,000ක් පමණ තියෙනවා. මේ විදිහට මේ තරම් ව්‍යාපාර ප්‍රමාණයක් පහසුවෙන් කරගෙන යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙන්නෙ ධරාවි හරහා ප්‍රධාන තදාසන්න දුම්රිය මාර්ග වැටිල තියෙන එක. ඒ හරහා ඔවුන්ගේ නිෂ්පාදන මුළු ඉන්දියාව පුරාමත්, එයින් එහාට ගොස් එක්සත් ජනපදය, යුරෝපය සහ මැදපෙරදිගටත් අපනයනය වෙනව.

ලෝකෙ අනෙක් මුඩුක්කු ජනතාව එක්ක සන්සන්දනය කරද්දි ධරාවි ජනතාවගෙ ශාක්ෂරතාවය ඉහළ අගයක් ගන්නව. මෙහි වැසියන්ට 69%ක් විතර ශාක්ෂරතාවක් තියෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. සුප්‍රකට ‘ස්ලම්ඩෝග් මිලියනය’ චිත්‍රපටයට පවා පාදක වෙන්නෙ මේ මුඩුක්කුවල ජීවත් වන තරුණයෙක් මුඩුක්කුවෙන් ලබාගන්නා ප්‍රායෝගික දැනුම නිසා තම ජීවිතය ගොඩදාගන්නා ආකාරය ගැන. එහෙම බැලුවම ඉහත අගයන්වල සත්‍යතාවක් තියෙන බව තමයි පේන්න තියෙන්නෙ. අඛණ්ඩ විදුලි සැපයුමක් සහ කේබල් රූපවාහිනී සබඳතා ඇති මෙහි වැසියන්ගෙන් 63%ක්ම හින්දුන්.
මේ විස්තර දැනගත්තට පස්සෙ මේ තරම් සංකීර්ණ ජීවන රටාවක් මේ තරම් කුඩා ඉඩ ප්‍රමාණයක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියල බලන්න කුතුහලයක් ඕනම කෙනෙක්ට ඇතිවෙනව. අන්න ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් තමයි ධරාවිවල සංචාරක ව්‍යාපාර දියුණු වෙන්නෙ.
“මෙම සංචාරයේ අරමුණ වන්නේ ධරාවි දුක්ඛිත ස්ථානයක් වීම පිළිබඳව මිනිසුන්ට ඇතිවිය හැකි ඕනෑම මතයක් දුරු කිරීම සහ අහිතකර තත්ත්වයන් මධ්‍යයේ වුවද මිනිසුන්ට ළඟා කර ගත හැකි දේ ඔබට පෙන්වීමයි”
එක් සංචාරක ඒජන්සියක් තමන්ගේ ධරාවි සංචාරය පිළිබඳ කරන හැඳින්වීමේ සඳහන් කරල තියෙන්නෙ එහෙමයි. ඉන්දියානු රුපියල් 2000කට මුඩුක්කුවල ආහාර පිසින ආකාරය ගැන අත්දැකීමක් ලබාගන්න ඔබට පුළුවන් වගේම මුළු ධරාවිය පුරාම පාගමන් සංචාරයක්, වීදි චිත්‍ර නැරැඹීමේ අවස්ථාව, ධරාවි පවුලක් සමඟ දහවල් ආහාරයක්, ඔවුන්ගේ කර්මාන්ත ආශ්‍රිත සංචාර, ආදී නොයෙකුත් වර්ගීකරණ යටතේ මෙම සංචාර පැකේජයන් සැකසිලා තියෙනවා.

“පැය දෙකහමාරක ධරාවි ඇවිදීමේ චාරිකාවට ප්‍රතිචක්‍රීකරණ ප්‍රදේශය, පපඩම් සෑදීම සහ කුඹල්කරුවන්ගේ ජනපදවලින් අරමුදල් සපයන ප්‍රජා මධ්‍යස්ථානය අයත් වේ. චාරිකා දිනකට දෙවරක් පිටත්වේ. උදේ සහ දහවල් නියමිත වේලාවට. එක් පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් 900ක් වැයවේ. උදෑසන සංචාරයෙන් පසු ධරාවි පවුලේ නිවසක දිවා ආහාරය ගත හැකිය (සංචාරය ඇතුළුව එක් පුද්ගලයෙකුට ඉන්දීය රුපියල් 1,500ක් වැය වේ). මේ තවත් සංචාරක ඒජන්සියක් තමන්ගේ විශේෂ සංචාරක පැකේජයක් පිළිබඳ අන්තර්ජාලයේ විස්තර කරල තියෙන ආකාරය.
කොතරම් මුදල් ගැවසුණත්, කොතරම් කර්මාන්තශාලා පිරුණත් ධරාවි කියන්නෙ සෞඛ්‍ය ගැටලු, සනීපාරක්ෂක ගැටලු, විපත් පිරි ප්‍රදේශයක්. සොර සතුරන්, අපචාර, නීති විරෝධී ක්‍රියා පිරි ප්‍රදේශයක්. ධරාවි ඉවත් කරන්න ඉන්දීය රජය නොයෙක් නොයෙක් අවස්ථාවල උත්සාහ දැරුවත් එයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත් කරන්න ඉන්දීය රජයට තවමත් හැකිවෙලා නැහැ. වර්තමානයේ ලෝකය තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගත නිසා ධරාවි වැසියන් දැඩි අවදානමකට මුහුණදීල තියෙනවා. කොහොම වෙතත් ග්‍රාමීය ජනතාව නගරවලට සංක්‍රමණය වීම වැළැක්විය නොහැකි නිසාත්, රජයන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගන්නා නිසාත් ධරාවි තවත් බොහෝ කාලයක් පවතීවි. ඉතින් වෙනසකටත් එක්ක වෙලාවක් තියෙනව නම් කොරෝනාවෙන් පස්සෙ ධරාවිවල රවුමක් ගහල එන්න.
ඉන්දික වික්‍රමරත්න











