අපි මෙතෙක් කල් ආදරය කළේ ජීවිතවලට. ඒත් අපිට ජීවත් වීමට හුස්ම පොදක් දුන්න ස්වභාවධර්මයට ඔබ අප ආදරය කරනවද? නැහැ. අද මේ ස්වභාවධර්මය විනාශ වී හමාරයි. ඒ පිළිබඳ සමාජගත කිරීමට, ඔබ දැනුවත් කිරීමට එන සුවිශේෂී සිනමා නිර්මාණයක් තමයි ‘සුපර්ණා’ චිත්‍රපටය. ‘සුපර්ණා’ ලොව වටා සැරිසරන්න මොහොතකට පෙර එය ගැන දුලිකා මාරපන ඔබගෙන් ඉල්ලීමක් කළේ මේ විදියට.
දුලිකා සූදානම් වන මේ අරගලය මොකක්ද?
ස්වභාවධර්මය වෙනුවෙන් තමයි අපි මේ සටන් කළේ. මේ මහපොළොව අපේ. ඒ මහපොළොව නිසා තමයි අපි දෙපයින් හිටගෙන ඉන්නේ. ගහ-කොළ නිසා අපි නිවී සැනසිල්ලේ හුස්ම ගන්නවා. ඒත් මේ හැම දේම විනාශ වෙලා ඉවරයි. කාටවත් නොපෙනුණු ලෝකයත් බේරගන්න තමයි උත්සාහ කරන්නේ.
ඇත්තටම ‘සුපර්ණා’ කියන්නේ කවුද?
‘සුපර්ණා’ කියන්නේ සුවිශේෂී චරිතයක්. එය විස්තරාත්මකවම තේරුම් ගන්න පුළුවන් ‘සුපර්ණා’ චිත්‍රපටය නරඹන විට. එම චරිතයේ වටිනාකම මෙහෙමයි කියලා කියන්න අපහසුයි. ‘සුපර්ණා’ මතුවන්නේ එක්තරා ග්‍රහලෝකයකින්. මෙවැනි ජීවීන් අපේ පෘථිවියෙන් එපිට ග්‍රහලෝකවල ජීවත් වන්න පුළුවන්. මතු පරපුරට මේ ස්වභාවධර්මය බේරා දෙන්න තමයි ‘සුපර්ණා’ උත්සාහ කරන්නේ.
මෙවැනි සිනමා නිර්මාණයක් නිර්මාණය කිරීමට මූලාශ්‍රය වුණේ කිනම් කරුණක් නිසාද?
‘සුපර්ණා’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ බවට පත්වන්නේ මගේ ස්වාමිපුරුෂයා. ඔහු මම සමඟ විවාහ වුණාට පස්සේ මාත් සමඟ මගේ ගමට යනවා. මගේ ගමේ අය කෘෂිකර්මය නඟාසිටුවීමට ගන්න උත්සාහය, ඒ වගේම මම මේ කෘෂිකර්මාන්තය, ස්වභාවධර්මය රැක ගැනීමට ඔවුන්ව දැනුවත් කරන විදිය ඔහු දැක්කා ඒ තරම. ඉතින් ඔහු පැවසුවා මෙය මූලාශ්‍ර කරගෙන නැති වීමට යන මේ ස්වභාවධර්මය ගැන අපි චිත්‍රපටයක් කරමු කියලා. නැතිනම් ඔහුට තිබුණා තාරුණ්‍ය මූලාශ්‍ර කරගෙන ආදර කතා හදන්න. ඒත් අපි ලෝක වාසීන්ට කියලා දෙන එකම පාඩම ස්වභාවධර්මයට ආදරය කරන්න කියලා.
‘සුපර්ණා’ චිත්‍රපටය ජාත්‍යන්තරයෙන් පවා පැසසුම් ලැබුවා නේද?
අපි චිත්‍රපටය හැදුවේ ජාත්‍යන්තරයට තරග කරන්න නොවේ. නමුත් මුළු ලෝකයම කතා කරන මාතෘකාවක් බවට ‘සුපර්ණා’ පත්වෙලා. ස්වභාවධර්මය පිළිබඳ ලංකාවේ නිර්මාණ හැදුවත් මෙවැනි මාතෘකාවක් මූලාශ්‍ර කරගෙන හදපු එකම චිත්‍රපටය බවයි විද්වතුන්ගේ ප්‍රතිචාරවලින් අදහස් ලැබුණේ.
ඇයි ‘සුපර්ණා’ මෙයට කලින් තිරගත නොවුණේ?
මේ තමයි කතා කළයුතු හොඳම කාලය. රටේ ජනතාවට දැනුණු වේදනාව රටේ ප්‍රභූවරුන්ට දැනුණා. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ටත් මෙය දැනුණේ නැති එක පුදුමයක්. එදා අපි කිරි ටික, මී පැණි ටික අපේ ගෙවත්තෙන් ගත්තේ. ඒත් දැන් ඒ සියල්ල විදේශීය රටවලින් අපට අපනයන කරනවා.
මොනවයින් අඩුව තිබුණු රටක්ද මේ. හෙට, අනිද්දා වතුර ටිකත් මිලදීලා පිටරටකින් අපට ගන්න සිදුවෙයි. ප්‍රමාද නැහැ තවම අපට කාලය ඉතිරිව තියෙනවා. අපි සියලු දෙනා මේ ස්වභාවධර්මයට ආදරය කරමු කියලා මම ඉල්ලා සිටිනවා.
දුලිකා ‘සුපර්ණා’ චරිතය වෙනුවෙන් හිස මුඩුගෑවා නේද?
අධ්‍යක්‍ෂතුමාගේ ඉල්ලීමක් මත එය කරන්න සිද්ධ වුණා. මොකද ගිනියම් අව්වේ රූපගත කිරීම් කළා. ඒ වගේම මට මෝටර් බයිසිකල් පවා පදින්න සිදුවුණා. ඉතින් ඔය කරුණු කාරණා එක්ක තට්ටයක් දාගෙන කරන්න අපහසුයි. මම විතරක් නෙවේ තවත් ශිල්පීන් කිහිප දෙනෙක් චරිතය වෙනුවෙන් හිස මුඩු කළා.
වසන්ත විතාරණගේ











