“අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබපැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ…”
ප්‍රේමයේ, විරහවේ සුන්දරත්වය ගැයූ ඒ හඬ සුබ පැතුමක් සේ යළි අප වෙත නොඑනු ඇත. ප්‍රේමයේ අත්වැල ගිලිහී ගිය පසු ඒ වෙනුවෙන් කළ උතුම් කැපකිරීමක් ලෙස මේ සුගායනීය මධුර හඬ ඇයම නිහඬ කරගෙන දැන් දශකයක් පමණ ගෙවී ඇත. ජීවිතය ගීතයක් සේ මිහිරිවත්ව සෑම විටම ගලායන්නේ නැත. එවන් වූ තම සංගීත දිවිය ගැන ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී අප සමඟ අතීතාවර්ජණයක යෙදුණේ මේ ආකාරයටයි.
මුලින්ම කුඩා අවධියේ ඉඳන් ඔබේ සංගීත ගමන ගැන කතා කරමු…?
මම පාසල් යන කාලෙ ගුවන්විදුලියෙ කරු අයියගෙ ‘ළමා පිටිය’ වැඩසටහනට මගේ සහෝදරියන් දෙදෙනෙක් සම්බන්ධ වෙලා හිටිය. මමත් ඉතින් ඒ කාලෙ නිතරම ඒගොල්ලන් එක්ක ගුවන්විදුලියට යනව එනව. ඒ ඔස්සේ තමයි මට පොඩි වයසෙදිම ගුවන්විදුලියෙ සංගීත සන්ධ්‍යාව, ළමා රංග පීඨය වගේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.
ඔය අතර ඔබ නන්දාමාලනියගෙන් සංගීතය හදාරනව?
පාසල් යන කාලෙ එතුමිය කරපු ‘රුවැති ළඳක්’ කියන ගීත නාටකයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණ. එයින් පස්සෙ තමයි මම නන්දා මාලනී මහත්මියගෙන් සංගීතය හදාරන්නෙ. නන්ද අක්ක තමයි මගේ කටහඬ හරියට හසුරුවල එළියට ගත්ත මුල්ම ගුරුවරිය වෙන්නෙ.
ඊට පස්සෙ ගුවන්විදුලියෙ ‘ඒ’ ශ්‍රේණියෙ ගායිකාවක් විදිහට සමත් වෙනව නේද?
ඔය විදිහට මම ළමා පිටියෙ අවුරුදු පහක් හයක් ඉන්නකොට 1974 මට අවස්ථාව ලැබෙනව ‘ඒ’ ශ්‍රේණියෙ සරල ගී ගායිකාවක් විදිහට සමත් වෙන්න.
අබේ – නිරෝෂා ආදර කතාව පටන් ගන්නෙ කොහොමද?
මම පොඩි කාලෙ ඉඳලම එයාව අඳුරනව. එයා සනත් නන්දසිරි අයියව හම්බුවෙන්න අපේ ගෙදර යනව එනව. ‘අබේ අයිය’ කියල තමයි මම එයාට ඒ කාලෙ කතා කළේ. ඔය විදිහට කාලයක් ඇසුරු කරන්න ලැබුණට පස්සෙ ඒක ආදරයට පෙරළිලා අවුරුදු දහයකට විතර පස්සෙ 1981 අපි විවාහ වෙන්නෙ.
ඊට පස්සෙ අබේවර්ධනයන්ගෙන් ඔබේ සංගීත දිවියට ලොකු එළියක් ලැබෙනව?
මගේ හැකියාවයි හඬයි තිබුණට හරි මාර්ගයට මාව යොමු කළේ අබේ තමයි. මම සරල ගී ශිල්පිනියක් වෙන්න කලින්ම තමයි එයා මගේ හැකියාවන් හඳුනගෙන එයාගෙ සරල ගී වැඩසටහනකට යුග ගීතයක් ගයන්න මට අවස්ථාව සලසල දෙන්නෙ 1973 අවුරුද්දෙ. ‘කවුද ආවේ කවුද ආවේ’ කියන සුනිල් ආරියරත්න ලියල, වික්ටර් රත්නායක සංගීතවත් කළ ගීතය තමයි මගේ පළමුවැනිම යුග ගීතය වෙන්නෙ. මගේ හැකියාව ඉදිරියට අරන් යන්න එයා මට ලොකු ශක්තියක් වෙනව.
ඔබ බොහෝ ශිල්පීන් සමඟ යුග ගීත ගායනා කළත් බණ්ඩාර අතාවුද සමඟ කියන ගීත බොහෝ ජනප්‍රිය වෙනව නේද?
අබෙයි, මායි කිසි දේකට වාරණ දාගත්තෙ නෑ අපි දෙන්න විතරක් යුග ගීත ගයන්න ඕනෙ කියල. මම පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, එඞ්වඞ්, සුනිල් එදිරිසිංහ, රෝහණ සිරිවර්ධන, ප්‍රියා සූරියසේන, බණ්ඩාර අතාවුද වගේ බොහෝ ශිල්පීන් සමඟ යුග ගීත ගායනා කරල තියෙනව. අබෙත් ගොඩක් ගායිකාවන් එක්ක යුග ගීත ගායනා කරල තියෙනව. ඒ සම්බන්ධයෙන් අපි හොඳ අවබෝධයකින් වැඩ කරපු නිසා ඒ ගීතත් ගොඩක් ජනප්‍රිය වෙලා ක්ෂේත්‍රයෙත් ඉදිරියට එන්න අවස්ථාවක් හම්බුණා.
ඔය අතරෙ ‘අබේ – නිරංජලා විශිෂ්ට ගී’ කියල සීඩී තැටියක් නිකුත් කරනව?
මේ වෙනකොට අපි දෙන්න එකතු වෙලා සංයුක්ත තැටි 13ක් අපේ ස්වතන්ත්‍ර නිර්මාණ විදිහට එළිදක්වල තියෙනව. ඒකට අපිට ගොඩක් ප්‍රවීණ ගීත රචකයො සහ සංගීත අධ්‍යක්ෂවරුන්ගෙ සහයෝගය ලැබුණ.
ගායිකාවක් වුණු ඔබ පසුකාලෙදි නිවේදිකාවක් වෙනව?
මම උසස් පෙළ ඉවර වෙලා ඉන්නකොට ගුවන්විදුලියෙ සහාය නිවේදකයින් බඳවගන්න අයැදුම්පත් කැඳවල තිබුණ. ඒකට අයැදුම් කරල ඊට පස්සෙ 1978 ඉඳල මම සහාය නිවේදිකාවක් විදිහට ගුවන්විදුලිය වැඩ කරනව. ඒ කාලෙ හිටපු ප්‍රවීණම ශිල්පීන් එක්ක වෙළෙඳ වැඩසටහන් මෙහෙයවීමේ ලොකු අවස්ථාවක් එතැනදි මට ලැබුණා.
රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් ඔබ කටයුතු කරනව?
1982 අපිට රූපවාහිනිය එනකොට රූපවාහිනියෙ ප්‍රවෘත්ති නිවේදිකාවන් ගන්නව කියල තිබුණ දැන්වීමට මම ඇප්ලයි කරල තමයි මට ඒ අවස්ථාව හිමිවුණේ. ඊට පස්සෙ මම 84 ඉඳල 87 වෙනකම්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට වැඩ කළා. එයින් පස්සෙ රටේ ඇතිවුණ කලබලත් එක්ක අපිට එංගලන්තෙ යන්න වුණා. මාස හයකට විතර පස්සෙ අපි ආයි ලංකාවට ආවට පස්සෙ ඒ වෘත්තීන් එකක්වත් අපි කළේ නැහැ.
අබේවර්ධනයන් රූපවාහිනියෙ සංගීත ඒකකයෙ ප්‍රධානියා වෙලා ඉන්නකොට ඔබට රූපවාහිනියෙ වැඩි ඉඩක් ලැබුණද?
නෑ. කවදාවත් එහෙම දෙයක් වෙලා නෑ. එයා කොයිම වෙලාවකවත් මාව ඉස්මතු කරන්න ඕනෙ කියල වැඩ කළේ නෑ. ගුවන්විදුලියෙ ශ්‍රේණිගත ශිල්පීන්ගෙ නාමලේඛනය ගෙනල්ල ඒ අනුව තමයි හැමෝටම අවස්ථාව දුන්නෙ. මටත් හම්බුණේ අනිත් අයට දෙන අවස්ථාවම තමයි. ඒ කාලෙ රූපවාහිනී සංවත්සරවල ඇරෙන්න එයත් වෙන කිසිම අවස්ථාවක ගීත ගායනා කළේ නෑ.
ඔය අතරෙ චිත්‍රපටවලට ගීත ගයන්න ආරාධනා එනව?
ඔව්. මුලින්ම මම කේමදාස මාස්ටර්ගෙ ආරාධනයෙන් ‘මුවන්පැලැස්ස’ චිත්‍රපටයෙ මාලනී බුලත්සිංහල එක්ක ගීත ගායනා කරනව. ඊට පස්සෙ 70 – 80 කාලෙ සරුංගලේ, එක්ටැම්ගේ, සසර චේතනා, බඹා කෙටූ හැටි, කදිරා, බදුලු කෝච්චිය වගේ චිත්‍රපට 25ක පමණ ගීත ගායනා කරනව.
අබේවර්ධනයන්ගේ අභාවයත් එක්ක ඔබේ හඬත් නිහඬ වෙනව?
සංගීත ක්ෂේත්‍රයෙ අපි දෙන්නම එකට ආපු ගමනක් තිබ්බෙ. එයා නැතිවුණාට පස්සෙ මට හිතුණ තනියම මේ ගමන යන්න බෑ කියල. මම මගේ හඬ ඔහු වෙනුවෙන් කැප කළා කිව්වොත් හරි. ස්නායු ආබාධයකින් ඔහුගෙ හඬ නැතිව ඔහු දුක් වුණ හැටි මම දැක්කට පස්සෙ මම තීරණය කළා මමත් නිහඬ වෙනව කියල.
ඒ තීරණය ගැන ඔහු දැනගෙන හිටියද?
නැහැ. එයා කවදාවත් ඒක දැනගෙන හිටියෙ නෑ. මේක මගේ ඒකමතික තීරණයක් අනුව ගත්ත දෙයක්. හඬ නැතුව ඔහු දුක්වෙනකොට මම හිතුව කවද හරි ඔහු නැති වෙච්ච දවසක මමත් මගේ ගායනයට සමුදෙනව කියල. මම හිතන්නෙ ඒක ඔහු වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් කියල.
ගීත ගායනය නතර කිරීම රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?
එක පැත්තකින් ඒක අසාධාරණයක් තමයි. මට ඒ ගැන සෑහෙන චෝදනා තියෙනව. රසිකයන්ගෙන් විතරක් නෙමෙයි සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගෙන් පවා මට ඒ චෝදනාව තියෙනව. ඒ හැමෝම කියන්නෙ මම ගත්ත තීරණය වැරැදියි කියල. ඔහු වෙනුවෙන් කරපු දෙයක් හින්ද මම කවදාවත් ඒ තීරණය වෙනුවෙන් දුක් වෙන්නෙත් නෑ.
ඉදිරියෙදි ඔබේ ගීතවල අයිතියට ගන්න පියවර මොනවද?
මම කාටවත්ම ගීතවල අයිතිය පවරන්න අදහසක් නෑ. මගෙන් කවුරුහරි ගීතයක් ගයන්න ඇහුවෙත් මම ඒකට ඉඩ දෙනව. මගේ අක්කල දෙන්නගෙ දුවල දෙන්න වන අනුරාධ දුවත්, සෙව්වන්දි දුවත් නිතරම මගේ ගීත ගායනා කරනව. මම ඉතාම සතුටු වෙනව මගේ ගීත ඔවුන් ගායනා කිරීම ගැන.
ඉන්දික වික්‍රමරත්න











