නිරන්තරයෙන්ම සොඳුරු සිනහවකින් මුව සරසාගත් ප්‍රවීණ රංගණ ශිල්පිනියක වූ මියුරි සමරසිංහ මහත්මිය මුළු කලා ලෝකයම කඳුළේ ගිල්වමින් පසුගියදා දැයෙන් සමුගත්තා. වසර ගණනාවක් පුරා වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ත්‍රිවිධ මාධ්‍යයෙන්ම සම්මාන ලැබූ ප්‍රතිභා පූර්ණ නිළියක් ලෙස ඇය සෑම දෙනාගේම ආදරය දිනා ගෙන සිටියා.
1939 වසරේ මාර්තු 15 දින මොරටුවේදී උපත ලද මියුරි සමරසිංහ මහත්මිය මුල් වරට රංගන ශිල්පිනියක් බවට පත්ව ඇත්තේ 1966 වසරේදී. ඒ අලුත් දවසක් වේදිකා නාට්‍යය හරහා. එහෙත් ඊට පෙර කුඩා අවධියේ සිටම උඩරට සහ පහතරට නර්තන ශිල්පිනියක් ලෙස ඇය කලාව සමඟ සම්බන්ධ වී තිබෙනවා.
රන් කන්ද, ඔතෙලෝ, සිවම්මා ධනපාල, නැට්ටුක්කාරයෝ, ඇතුළු වේදිකා නාට්‍ය තුන්සියයකට අධික ප්‍රමාණයකට තම දායකත්වය ලබා දුන් මියුරි සමරසිංහ මහත්මිය පසුව වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක ලෙසද කටයුතු කළා. 999 වේදිකා නාට්‍ය සඳහා 1981 වසරේදී හොඳම නිළියට හිමි ජනාධිපති සම්මානය දිනා ගැනීමට හැකි වීම ඇයගේ කලා ගමනේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
අමරසේන කුමාරසිංහ අධ්‍යක්ෂණය කළ මිරිඟුව චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි ඇය ඉන් පසු අධිෂ්ඨානය, මඩොල්දූව, විරාගය, යහළු යෙහෙළි වැනි සිනමා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට සමත් වුණා.
මිය යන තුරුම රූප පෙට්ටිය හරහා ජනතාවට සමීප වුණු මියුරි සමරසිංහ මහත්මිය ඉරට හඬන මල්, ඉරපායා, සන්නාලියනේ, දූ දරුවෝ, නැදෑයෝ, සිහින නිම්නය, සුර අසුර, දාමිණී, කෙම්මුර වැනි ටෙලිනාට්‍ය පන්සියයකට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒ අතරින් බන්දුල විතානගේ අධ්‍යක්ෂණය කළ එරබදු මල් ටෙලිනාට්‍යයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. අවසනාවන්ත ලෙස පිළිකා රෝගයට ගොදුරු වීමෙන් කලක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගියදා ඒ සොඳුරු සිනහව සඟවා ගනිමින් සදහටම දෙනෙත් පියා ගත්තා. ඒ ප්‍රවීණ කලාකාරිනියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
වසන්ත විතාරණගේ











