චරිත් අබේසිංහ කියන සිනමා නිෂ්පාදකවරයා සහ නළුවා තුළ සැඟවුණු දක්ෂ ගායකයෙක් ඉන්න බව බොහෝ දෙනකු දැන ගත්තේ “මා නොවන මම” වැඩසටහන හරහා. රූපවාහිනිය හරහා ප්‍රචාරය වීමෙන් පස්සෙත් යූ ටියුබ් හරහා ඒ වැඩසටහන බොහෝ දෙනකු නරඹලා තිබුණා. ඒ වගේම අදටත් නරඹමින් ඉන්නවා. හැබැයි ඒ විදියට යූ ටියුබ් හරහා වැඩසටහන නරඹපු බොහෝ දෙනෙක් එක්තරා චෝදනාවක් එල්ල කරලා තියෙන හැටිත් අපි දැක්කා. වැඩසටහන මෙහෙයවන කැළුම් ශ්‍රීමාල්ට තමයි ඒ චෝදනාව එල්ල වෙලා තිබුණේ. චරිත් සහභාගි වුණු වැඩසටහනෙදි කැළුම් ඔහුට නිසි වටිනාකම ලබා දුන්නේ නැහැ කියන එක තමයි ඒ චෝදනාව. ඒ වගේම වැඩසටහන අතරතුර චරිත්ට කතා කරන්න ඉඩ නොදී කැළුම් වැඩිපුර කතා කළා කියලත් ඒ චෝදනා අතරේ තිබුණා. “මා නොවන මම” වැඩසටහන හින්දා මීට පෙර කිසිම දවසක කැළුම්ට මේ තරම් විවේචන එල්ල වුණේ නැහැ.
ඒ වගේම තව දෙයක්. මා නොවන මම සඳහා සහභාගි වෙන ශිල්පීන් අගය කිරීම කැළුම් හැමදාම කරනවා. ඒත් සමහර අයට ඒ අගය කිරීම විශේෂයි. ඒ අතරින් නදිමාල් පෙරේරාට සහ අමල් පෙරේරාට හිමි වෙන්නේ විශේෂ තැනක්. මොකද මේ වෙද්දී “මා නොවන මම” වැඩසටහන් කිහිපයක් සඳහාම ඒ දෙන්නා සහභාගි වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදිම නදිමාල්ව වගේම අමල්වත්, කැළුම් අතිශෝක්තියකින් වර්ණනා කළා. නදිමාල් වගේම අමලුත් ඉතාම දක්ෂයි. ඒ හින්දා ඒ වර්ණනාවේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කැළුම්ගේ වර්ණනාවට ලක් වුණු තවත් ගායන ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. ඔවුන් සියලු දෙනාම ඉතාම දක්ෂයි.
හැබැයි “මා නොවන මම” හරහා අපි දැක්ක චරිත් අබේසිංහගේ දක්ෂතාවයත් ඒ කිසිවකට දෙවැනි නැහැ. ඔහු එහිදී ගායනා හැම ගීතයකටම උපරිම සාධාරණය ඉටු කෙරුවා. යූ ටියුබ් හරහා බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නෙත් ඒකයි. කොහොම වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන ප්‍රතිචාර ගැන කැළුම් ශ්‍රීමාල්ගේ අදහස විමසන්නත් අපි කටයුතු කළා. ඒ චෝදනා සම්බන්ධයෙන් ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි.
චරිත් අබේසිංහ සමඟ කරපු වැඩසටහනට එල්ල වන චෝදනා ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ?
චෝදනා නම් කාටද නැත්තේ. අනිත් එක සමාජ මාධ්‍ය ඔස්සේ හැම දෙයකටම බනිනවනේ. බුදුහාමුදුරුවෝ, ජේසු ගැන මොනවා හරි දැම්මත් බනින එක සාමාන්‍ය දෙයක්.
එතකොට ඒ චෝදනා බොරු කියලද ඔබ කියන්නේ?
එහෙම චෝදනා කරන අයට මට කියන්න තියෙන්නේ එකම දෙයයි. මේ වැඩසටහනට චරිත්ව ගෙනාපු එකම ඇතිනේ. ඒ හින්දා මම ඒ ගැන ඊට වැඩිය කතා කරන්නේ නැහැ. මේ වගේ කවුරුත් නොහිතපු කිහිප දෙනෙක්ම ඉදිරියේදීත් මේ වැඩසටහනට ගේන්න මම බලාපොරොත්තු වෙනවා.
චන්දන පොන්නම්පෙරුම











