⬤ ටෙලිනාට්‍යවල අද කලාවක් තියෙනවද…?
⬤ සිස්ටම් එක හොඳටම අවුල්…
⬤ දෙබස් ටික දෙන්නේ උදේ සෙට් එකට ආවම…
‘සිහිනි’ සම්භාව්‍ය ගණයට අයත් නොවුවද ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ටෙලිනාට්‍යයකි. එහි සීලරත්න නම් වූ ඇස්ට්‍රොලජිකාරයාගේ චරිතයට ජීවය දුන්නේ සරත් කොතලාවලය. රංගනය, කැමරාවක් ඉස්සරහා රඟනොදක්වන ආකාරයට හරි අපූරුවට රඟදක්වන සරත් කොතලාවල අති සුවිශේෂී වූ හැබෑම දක්ෂ චරිතාංග නළුවෙකි. චරතයකට බැස්ස විටෙක ඔහු සරලය. සෙට් එකේදි කා සමගත් සුහදය. ‘හාට්’ එක සමඟ කතාබහකට එන්නැයි කී විටද හෙතෙම ඒ ආරාධනය පිළිගත්තේද ඉතාම සුහදවය. ඉතින් මේ දිගහැරෙන්නේ ඒ සුහද කතාබහෙහි රසමුසු තැන්ය.
🔴 අනුමාන කළ විදියට නම් මේ දවස්වල ඔබ කාර්යබහුලයි?
ඔව්. තරමකට වාගේ මම සිටින්නේ කාර්යබහුල වටපිටාවකයි.
🔴 වැඩිදුර විස්තර කියනවා නම්?
නාට්‍ය කිහිපයක්ම විකාශනය වෙනවා. විකාශනය වන ඒ ඩ්‍රාමාවල ඉතිරි රූගත කිරීම්ද සිදුවෙනවා. මම තිරනාටකය ලියූ තවත් අලුත් ටෙලියක රූගත කිරීම් ආරම්භ වීමට නියමිතයි. එහි අධ්‍යක්ෂණය සමන් කුමාර ලියනගේ අතින් සිදුවෙනවා. ඒ අතර සිනමාව පැත්තෙන් ගත්තම සුනිල් ආරියරත්න මහත්තය විසින් නිර්මාණය වන ‘ක්ෂිර සාගරය කැළඹේ’ චිත්‍රපටයටද මම රංගනයෙන් දායක වී සිටිනවා. එය සකස් වී තිබෙන්නේ සයිමන් නවගත්තේගම මහතාගේ උසස් කෘතියකට අනුවයි. ඒ සියලු වැඩ කටයුතු තුළ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් එක්ව කරන චිත්‍රපටයකටද මට ආරාධනා ලැබී තිබෙනවා.
🔴 වැඩකටයුතු අධික වීම කලාකරුවකුට සතුටක්, එහෙම නේද සරත්?
නැතුව කොහොමද? වෘත්තීමය ලෙස අප ක්‍රියාකාරී වන්නේ නම් එය අපේ අනන්‍යතාවයට වාගේම සාර්ථකත්වයටද හොඳ පසුබිමක්.
🔴 කෙටියෙන් අහනවා නම් ඔබ ආවේ වීදි නාට්‍ය හරහා?
ඔව්. මෑතකදී අපෙන් වියෝ වූ ප්‍රවීණ කලාකරු ජයලාල් රෝහණ මහතතාගේ නාට්‍ය කණ්ඩායමට තමයි මම බැඳුණේ. එයට පසු ලංකාවේ පැවැති හැම වර්ක්ෂොප් එකකටම වාගේම එකතු වෙලා හිටියා. සිනමාව යන විෂය තුළදී මගේ ගුරුවරයා වූයේ ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු ෂෙල්ටන් පයාගල මහතායි. ඒ විශිෂ්ට ප්‍රවීණයන් දෙදෙනා සමඟ කලා ලොවේදී මට හමුවූ මිතුරු මිතුරියන්ගේද සහයෝගයෙන් සරත් කොතලාවල රංගනය සහ කලාව කියන ට්‍රැක් එකට වැටිලා හෙමින් ගමනක් යනවා.
🔴 ඒ කියන්නේ ඔබට සතුරු බලපෑම් හෝ කැපිලි කෙටිලි තිබුණේ නැහැ?
කවදාවත් නැහැ. කිසිම කෙනෙක් මාව කපලත් නැහැ. මාව වට්ටලත් නැහැ. බොහොම ෂේප් එකේ මගේ ගමන යනවා.
🔴 බොහෝ විට වීදි නාට්‍ය කලාව හරහා බිහිවන රංගවේදීන් වඩා සුවිශේෂී හැකියාවන් පෙන්වනවා නේද?
පෙන්වනවා නෙමෙයි. ඒ සුවිශේෂී හැකියාවන් ඔවුන් වෙතින් ඉබේම මතු වන්නක්. එය සිදුවන්නේ නිරායාසයෙන්. ඒ නිරායාසයට පසුබිම් වන්නේ වීදි නාට්‍ය කලාව හරහා ඔවුන් ලද අසීමිත පුහුණුව ප්‍රායෝගික දැනුම. අනික රංගනය යනු කුමක්දැයි ඔවුන් හොඳින්ම හඳුනා ගැනීම මෙහි ප්‍රබලම සාධකයක්. දෙබසක් කියන ආකාරය ගැන ඒ වාගේම දෙබස් අංග චලනයන් ගැනද හොඳ පන්නරයක් වීදි නාට්‍ය කලාවෙන් ඔවුනට ලැබෙනවා.වේදිකාව තමයි එයට පසු වීදි නාට්‍යකරුවන්ගේ තෝතැන්න වන්නේ. එතැනද රංගනය සමඟ නර්තනය සහ ගායනයද ප්‍රගුණ කරනවා. වීදි නාට්‍ය හරහා මමද වේදිකාවට ආවා. ආරම්භක ස්ථානය වූයේ වේදිකා පරිපාලක සහායකු ලෙස කටයුතු කිරීමයි. එයට පසුව රංගනයට යොමුවුණා.
🔴 ‘පාදඩයා’ වෙතින් සිනමාවට ආවේ එයට පසුවයි?
ඔව්. ලින්ටන් සේමගේ විසින් තමයි මාව පාදඩයාට තෝරා ගත්තේ. කොහොමත් එතැනදී මට සිනමාව ගැන ලොකු ප්‍රියතාවයක් ඇතිවුණා. තණ්හා, රතී, රඟා කියන නිවුස් පේප මම කළේ ඉතාම ලොකු ඇල්මකින් කිව්වොත් එය හරියටම හරි.
🔴 ටෙලි කලාවට ඔබ මැදිව සිටින්නේ කැමැත්තකින් නෙමෙයිද?
ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ වෘත්තීය මට්ටමෙන් පමණයි. සිනමා නිර්මාණයක මම රඟන්නේ අසීමිත සතුට සහ තෘප්තිය වෙනුවෙනුයි.
🔴 ටෙලිනාට්‍ය කලාව ගැන ඔබ කලකිරීමෙන්ද?
ටෙලි නාට්‍යවල අද කලාවක් කියලා දෙයක් තියෙනවද? මට හිතෙන්නෙ අද එය ගනුදෙනුවක් පමණයි. සිස්ටම් එක හොඳටම අවුල්. දෙබස් ටික අතට ලැබෙන්නේ සෙට් එකට ගියාට පස්සේ. ඒ කියන්නේ සඳුදා උදේට රූගත කිරීමක් තියෙනව නම් එදාට නියමිත දෙබස් ටික ලැබෙන්නේ සඳුදා උදේට සෙට් එකට ආවමයි. රංගනය කියන්නේ එහෙම ක්ෂණිකව කඩාපැනලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
චරිතයක් ගොඩනැගීමට යම් දත්ත අවශ්‍යයි. හිතන්න මම චරිතයට අවතීර්ණ වෙනවා. ඒ චරිතයට අයිති පුද්ගලයා ඇවිදින විදිය, අඳින පලඳින විදිය, කන බොන විදිය කතා කරන විදිය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස මම අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා කාලය, විරාමය අවශ්‍යයි. අසූව, අනූව දශකයේ ටෙලිනාට්‍ය කලාව කොයි තරම් අභිමානවත්ද? තිර නාටකය කියලා ඉවර වෙනකල් ගිවිසුම් ගහන්නෙ නැහැ. නාට්‍ය කණ්ඩායමේ සියල්ලන්ම රූගත කිරීමට පළමුව හමුවෙනවා. තම තමන්ගේ චරිත ගැන සමාලෝචනයක යෙදෙනවා. අධ්‍යක්ෂ වාගේම කැමරාකරණය, වේශ නිරූපණයද ඒ සමඟ එකතු වෙනවා. ඇත්තටම සිදුවිය යුත්තේ එයයි.
නමුත් අද සිදුවන දෑ කොයි තරම් වෙනස්ද? නාට්‍ය කොටස් කීයද? තම චරිතය දිවයන්නේ කොතැන දක්වාද? කියලාවත් කවුරුත් දන්නෙ නැහැ.
🔴 වරද සිදුව ඇත්තේ කොතැනද?
වගකිවයුත්තන් බොහොමයි. නිර්මාණකරුවනට හෝ නළු නිළියනට පමණක් දෝෂාරෝපණය කරන්න බැහැ. 1977 වසරේ සාහිත්‍ය ඉතිහාසය විෂය නිර්දේශයෙන් අයින් කළා කිසිවකුට අමතක නැතුව ඇති. 1956 බණ්ඩාරනායක මහත්තයා සාහිත්‍ය ඉතිහාසයට මුල්තැන දුන්නා. ඒ කාලවකවානුව තුළ බිහිවූ සිනමාපට, වේදිකා නාට්‍ය, කෙටිකතා, නවකතා කොතරම් නම් ආශ්වාදනීයද.
🔴 ඔබ කියන්නේ නිර්මාණ රැල්ල කණපිට හැරුණේ ඒ නිසා කියලද?
ආරම්භයට මුල පෑදුණේ එතැනින් තමයි. එය නොදන්නා කෙනෙක් ඉන්නට බැහැ. බොහෝ විට බොහෝදෙනකු කරන්නේ සියල්ල දැන දැනම එයට අනුගත වීමයි.
🔴 ඔබ ඒ අනුගත වීම අනුමත කරනවද?
නැහැ. මම එය අනුමත කරන්නේ නැහැ. ඒ නිසයි මම චිත්‍රපට කලාවට ප්‍රිය කරන්නේ. ඒ නිසයි මම සිනමාවට ඇලුම් කරන්නේ. තව ඉදිරියට ‘නිවුස් පේපර්’, ‘තණ්හා රතී රඟා’ වැනි චිත්‍රපට නිර්මාණය කිරීමට මගේ හිතේ තියෙන බලාපොරොත්තු අප්‍රමාණයි.
🔴 ඔබ නිර්මාණ තෝරා බේරා ගැනීමට පරෙස්සම් වෙනවද?
ගුණාත්මක චරිත පමණක් රඟපාන්නට පුළුවන් නම් එය ඇත්තෙන්ම භාග්‍යයක්. හැබැයි අවාසනාව කියන්නේ එහෙම තෝරා ගැනීමක් කරන්න තරමට ශ්‍රී ලාංකේය සිනමා හෝ නාට්‍ය කලාව පොහොසත් නැහැ. වෘත්තීය වශයෙන් කලාකරුවන් වූ අප එවැනි තෝරා බේරා ගැනීමකට නතුවුණහොත් හැමදාටම ගෙදර තමයි ඉන්න වෙන්නෙ. අනිත් කාරණය දක්ෂ රංගවේදියෙක් කියන්නේ ඕනෑම චරිතයකට ඔට්ටු විය යුතු කෙනෙක් කියන එකද මෙහිදී කිව යුතුයි.
🔴 ‘මානව හිමිකම්’ ගැනද කියැවෙන චිත්‍රපට කතාවකට ඔබ සූදානම්ව සිටිනවලු?
ඔව්. මානව හිමිකම් ගැන කතා කරන, මානව හිමිකම් යනු කුමක්ද? ඒ තුළ අපට ලැබිය යුතු දෑ ලැබී ඇත්දැයි යන තේමාව රැගත් නිර්මාණයකට මම සූදානම්ව සිටිනවා. නිෂ්පාදකවරයකු ඒ වෙනුවෙන් මා සොයා එනතුරු මම කැමැත්තෙන් බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











