⬤ මොකක්දෝ වාසනාවක් මටම ආරාධනා කරනවා…
⬤ කවුරුත් කියල නෑ මෙගාවල රඟපාන්න එපා කියලා…
ටෙලිනාට්‍ය ගණනාවකටම දරුවන් වෙනුවෙන් තම දහදිය, කඳුළු හෙළපු තවත් උත්තරීතර මවකි ඇය. අප සමාජයේ ජීවත් වන අම්මාවරුන්ගේ චරිත ජීවමාන කිරීම ඉතා පහසු කටයුත්තක් නෙවෙයි. ඇය විටෙක අහිංසකාවියක්. රටම අම්මා ලෙස ආදරයෙන් හඳුන්වන ඇය රංගන ශිල්පිනී පවිත්‍රා වික්‍රමසිංහ.
🔴 ඔබව ටෙලිනාට්‍ය සඳහා නැතුවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වෙලා නේද?
ඔව්… එය ගැන ගොඩාක් සතුටුයි. ඒ වගේම වෙහෙසකාරී මේ දවස්වල. සිඳූ, මැටිකඩුළු, අසංවර වැස්ස, රෑනගල වලව්ව, ඉරුදෙනිය, නීල පබළු ටෙලිනාට්‍ය සියල්ලටම මගේ දායකත්ව සපයා දෙනවා. එයට අමතර අලුත් ටෙලිනාට්‍ය, චිත්‍රපට සඳහා රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා මම ගොඩාක් කාර්යබහුල වෙලා. අඩු තරමේ මට ගෙදර ඇවිල්ලා විවේකයක් ගන්න බැහැ. ගෙදරට එන කොට අනෙක් ටෙලිනාට්‍යයෙන් මාව එක්කගෙන යන්න ගෙදරට ඇවිත්.
🔴 ඔබේ මේ තිබෙන කාර්යබහුලත්වයත් සමඟ කොහොමද ඒ සඳහා කාලවේලාවන් වෙන්කර ගන්නේ?
ඇත්තටම මට ඒ සඳහා ගොඩදෙනෙක් උදවු කරනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්ෂවරුන්ගෙන් මට ලැබෙන සහාය කියන්න වචන නැහැ. මාව ටෙලිනාට්‍යයට චරිතයට අත්‍යවශ්‍යම නම් මගේ අනෙකුත් නිර්මාණවලට බාධාවක් නොවන ලෙස ඉතා සැලසුම්සහගතව ඔවුන් කාලවේලාවන් හදලා දෙනවා.
🔴 ඔබ මේ දවස්වල නිරූපණය කරන චරිත එකිනෙකට වෙනස් බවක් අපි දකිනවා. කොහොමද ඒ චරිත සඳහා ඔබේ පෙරසූදානම?
මෙහෙම මම ඉන්න ටෙලිනාට්‍ය ගණනාවක් එක දිගටම විකාශය වන පළමු අවස්ථාව වීමත් සතුටට කරුණක්. ඒ වගේම ඔබ පැවැසූ පරිදි නිරූපණය කරන චරිත වුණත් එකිනෙකට වෙනස්. මට සමාජයේ චරිත සමඟ ගැටීමට කාලය අඩු නිසා මම අධ්‍යක්ෂකගෙන් වගේම ටෙලිනාට්‍ය රචකත් සමඟ කතාබහ කරලා චරිතය ගැන පුළුල් අවබෝධයක් අනිවාර්යයෙන් ලබාගන්නවා. එයට ගැළපෙන පරිදි චරිතයට ඔබින විදියට මම ඉරියව් ඉදිරිපත් කරනවා.
🔴 ටෙලිනාට්‍ය සඳහා තිබෙන කාර්යබහුලත්වයත් සමඟ ඔබ සිනමාවට, වේදිකාවට ඔබේ දායකත්වය ගැන කතා කළොත්?
මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට තිබෙනවා. මේ දවස්වලත් අලුත් චිත්‍රපට දෙකකට සම්බන්ධ වෙලා වැඩකරගෙන යනවා. හැබැයි වේදිකාවට මම ගොඩාක් කැමැතියි. එහෙත් පුහුණුවීම් කටයුතු සිදුකරන නිසා මට එයට කාලය වෙන් කරවා ගැනීමට අපහසුයි. ඒ නිසා වේදිකාවට මගේ දායකත්වයත් අඩු බවක් තිබෙනවා. ඉදිරියේදී ‘මල්සරාට වරෙන්තුවක්’ වේදිකා නාට්‍ය සමඟ රටවටා යනවා.
🔴 පුංචි තිරයට අම්මාවරුන් අඩු නිසාද ඔබට මේ තරම් ඉල්ලුම?
අපෝ නැහැ. ඕනෑ තරම් ඉන්නවා. අම්මාගේ චරිතයට ගැළපෙන දක්ෂ පිරිසක් මේ ක්ෂේත්රයේ. එහෙත් මොකක්දෝ වාසනාවකට මටම ආරාධනා කරනවා අම්මාගේ චරිතය සඳහා. මට යෑමට බැරි වුණොත් මම දන්න අයව සම්බන්ධ කරලා දෙනවා ඒ නිර්මාණ සඳහා.
🔴 ඔබේ තිබෙන නිහතමානීත්වයත් ඒ වාසනාවට ආභරණයක් වන්නට ඇති ?
ඒ දේ නම් ගොඩදෙනෙක් මට කියනවා. මේ ක්ෂේත්රයේ රැඳෙන්න නම් නිහතමානීත්වයත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මම මේ ක්ෂේත්රයේ වැඩ කරන සියලුම දෙනා සමඟ ඉතා සුහදශීලීත්වයෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා සියලුම දෙනාගේ ආදරය මට ලැබෙනවා.
🔴 මෙගා ටෙලිනාට්‍ය රඟපෑවා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම හිතලා බැහැනේ. මේ මගේ වෘත්තිය. ඒ නිසා අපේ ආර්ථිකය ගැන හිතලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා. මම රඟපාපු ටෙලිනාට්‍ය ගොඩාක්ම මෙගා ටෙලිනාට්‍ය තමයි. මට එහෙම කවුරුවත් කියලත් නැහැ මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න එපා කියලා. ප්‍රධාන චරිතවල අම්මාගෙ චරිතවලට තමයි මට කතා කරන්නේ.
🔴 ඔබ මේ ක්ෂේත්රයට නැවැත සම්බන්ධ වුණේ ඔබේ හොඳම කාලය මඟහැරලා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වන්නේ, 87 වර්ෂයේ බන්ධුල විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අත්ත බිඳෙයි’ ටෙලිනාට්‍ය හරහා. ඉන්පසු කඩුල්ල, ගොළු හදවත, හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යවල මම සුවිශේෂී චරිත නිරූපණය කළා. පසුකාලීනව මගේ විවාහයත් සමඟ මම කලාවෙන් ඈත්වෙලා සිටියේ. අවුරුදු දහහතකට පස්සේ තමයි මම චන්න පෙරේරාගේ ‘පුංචි හපන්නු’ ටෙලිනාට්‍යයේ අම්මාගේ චරිතයක් රඟපාලා නැවැත එන්නේ. එදා ඉඳලා මම ඉතින් කලා නිර්මාණ ගොඩකටම අම්මා වුණා.
🔴 එදා තරම් අද සුන්දර නැහැ නේද?
එය ගැන ගොඩාක් දුක හිතෙනවා. අපි ඒ දවස්වල සතුටින්, සැහැල්ලුවෙන් තමයි රඟපෑවේ. ඒත් අද රූපවාහිනි නාලිකා වැඩිවෙලා. එනිසා ටෙලිනාට්‍ය කරන ප්‍රමාණය වැඩිවෙලා. ඒ නිසා අපි හෙම්බත් වෙනවා. මොනවා කරන්නද ඉතින්.
වසන්ත විතාරණගේ











