නිර්මාණ වර්ග කරනවට මම කැමැති නෑ…
පහළම තැනේ ඉඳල කොළඹ හත වෙනකම් මම සින්දු කියනවා…
දිමංක වෙල්ලාලගේ අපට හඳුනාගත හැක්කේ නව පරපුරේ ජනප්‍රිය ගායකයකු ලෙසයි. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ළයාන්විත හඬක හිමිකරුවකු වන දිමංක තවත් පිරිසකගේ චෝදනාවකට ලක්වන්නේ කඳුළු මාකට් කරන ගායකයකු ලෙසයි. එම සියලු චෝදනා බොරු කරමින් ඕනෑම ශෛලියක ගීත ගායනයට තමා සතු හැකියාව පෙන්වූ අවස්ථාවක් පසුගියදා රූපවාහිනී වැඩසටහනකදී අපට දැකගත හැකි විය. මේ ඒ ගැන අප ඔහු සමඟ කළ කතාබහක්.
පසුගිය දවසක සහභාගි වුණු සංගීත වැඩසටහනකින් පසුව ඔබ බොහෝදෙනාගේ කතාබහට ලක්වුණා?
ඇත්තටම දෙරණ නාලිකාවෙ විකාශය වන ‘මා නොවන මම’ වැඩසටහනට සහභාගි වීමට ලැබීම මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඒ වැඩසටහනට සහභාගි වෙන්න මට ආරාධනා ලැබුණම මම හිතපු දෙයක් තමයි මට ලැබෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනෙ කියන එක. ඉතින් ඒ අනුව ඉතාම කල්පනාකාරීව තමයි එදා ගායනා කළ ඒ ගීත ටික තෝරගත්තෙ. එයින් පස්සෙ මං ගැන බොහෝදෙනා කතා කරන්න ගත්ත. අනිත් එක තමයි මම හිතනව ඒ හරහා මට ලොකු වටිනාකමක් එකතු වුණා කියල.
ඒ වැඩසටහන නරඹන බොහෝදෙනෙක්ට ඔබ ආධුනිකයෙක්?
මම හිතන්නෙ ‘මා නොවන මම’ වැඩසටහන වටා රොක්වෙලා ඉන්නෙ වෙනම රසයකට හුරුවුණු රසික පිරිසක්. ඔවුන් රසවිඳින්නෙ වෙනම සංගීතයක්. ඉතින් මේ වැඩසටහනට සහභාගි වුණාට පස්සෙ මට වෙනම රසික පිරිසක් එකතු වුණා. ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරත් මට ඉතාමත් වටිනව. ඔවුන් නොයෙක් තැන්වල මම ගැන කතා කරල තිබුණ. මගේ ගායනය ගැන සමාජ මාධ්‍යවල පෝස්ට් ෂෙයා කරල තිබුණ. ඇත්තටම ඒ ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.
ඒ වැඩසටහනින් ඔබව හඳුනගත්ත කෙනෙක් ඔබේම ගීත පිළිබඳ වැඩිදුර සොයා බැලුවොත් ඔහුට අහන්නෙ ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් ගීත ටිකක්?
මම ක්ෂේත්රයට එන්නෙ ‘නිදුකින් ඉනු මැන’ ගීතය හරහා. මගේ ගීත ගොඩක් අහන්නෙ බහුතරයක් වුණ සාමාන්‍ය ජනතාව. මගේ ගීතවලට ආදරය කරන, මගේ හඬට ආදරය කරන වෙනම රසික පිරිසක් ඉන්නව. අනිත් කාරණය තමයි අපි ගොඩක් වෙලාවට සහභාගි වෙන්නෙ එළිමහන් සංගීත ප්‍රසංගවලට. ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගිවෙන රසික පිරිසක් නෙමෙයි මගේ ගීත වටා ඉන්නෙ. ඉතින් මම ගායනා කරන ශෛලියෙ ගීතවලට තමයි ලොකු රසික පිරිසගෙ කැමැත්තක් තියෙන්නෙ. ඉතින් ඒ ඕඩියන්ස් එක ටාගට් කරගෙන තමයි මෙච්චර කල් මගේ නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ.
ඒ කියන්නෙ සුභාවිත ගීත සඳහා ඔබේ කැමැත්තක් තිබුණත් බහුතරයේ කැමැත්ත මත ඔබ අඬන ගීත කියනව කියන එකද?
ඇත්තටම නිර්මාණකරුවෙක් විදිහට මම කැමති නෑ කිසිම නිර්මාණයක් ඒ විදිහට වර්ගීකරණය කරනවට. ලෝකය දිහා බැලුවමත් අපිට විවිධ සංගීත ශෛලීන් දකින්න තියෙනව. අපි නොදන්න ගොඩක් දේවල් මියුසික්වල තියෙනව. ඉතින් එහෙම දේවල් නොදැන අපිට කවදාවත් කාගෙවත් නිර්මාණයක් වර්ගීකරණය කරන්න අයිතියක් නෑ. එක එක්කෙනා හුරුවෙලා ඉන්න රසඥතාවය අනුව තමන්ට හොඳ මොකක්ද, නරක මොකක්ද කියල තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට තියෙනව. අනිත් එක තමයි මට ඔය කියන ඕනෑම රටාවක ගීත කීමේ හැකියාව තියෙනව. මම එකම සංගීත රටාවකට කොටුවෙලා නෑ. අහන අය කොයි විදිහට කිව්වත් ඒ සින්දුව මට ෆීල් වෙනව නම් ඒක මල් සින්දුවක්ද කියන එක මට අදාළ වෙන්නෙ නෑ.
අඬන ගීතම ගායනා කරන්නේ ඒ ගීතම ඉල්ලන නිසාද?
මම රසිකයන් අතරට ගියේ මගේම ගීතවලින්. ඒවා කොයි විදිහට හඳුන්වනවද කියලා කියන්න මම දන්නෙ නෑ. මොකද මම සංගීත ක්ෂේත්රයට මුලින්ම ආවෙ එළිමහන් ප්‍රසංග වේදිකාවෙන්. ඉතින් පහළම තැනේ ඉඳල කොළඹ හතේ තැන්වලට වෙනකම් මම ගීත ගායනා කරන්න යනව. මට රසිකයන්ගෙ තියෙන කැමැත්තත් එක්ක මම කවදාවත් ප්‍රසංග වේදිකාවෙන් අයින් වෙන්නෙ නෑ. මට ඒක කවදාවත් කරන්න බැරි දෙයක්. මම අදටත් ජීවත් වෙන්නෙ ඒ හම්බුකරපු සල්ලිවලින්.
මියුසික් වීඩියෝවකින් ඔබ උත්සාහ කරන්නෙ ගීතයේ තියෙන අඩුපාඩු වහගන්නද?
ඇත්තටම මගේ ගීත හරියට අහල බැලුවොත් තේරෙනව ඔය කියන තරම් පහළ තත්ත්වයක් ඒ ගීතවල නෑ. ලංකාවේ ජනප්‍රියම ගායකයන් වුණ එච්.ආර්. ජෝතිපාල, නාමල් උඩුගම, ප්‍රින්ස් උදයප්‍රියන්ත වගේ ගායකයන්ටත් මට අද තියෙන ඔය චෝදනාව තිබුණ. මං හිතන්නෙ බහුතරය ඒ නිර්මාණවලට කැමැති නම් ඒකට කාටවත් චෝදනා කරන්න බෑ. මගේ ‘අහිංසකාවි’ කියන ගීතය මේ වෙද්දි මාසයක් ඇතුළත ලක්ෂ 50ක පිරිසක් නරඹල තියෙනව. අසාර්ථක නිර්මාණයක් නම් ඒ විදිහට ජනප්‍රිය වෙන්නෙ කොහොමද කියන එක අපිට හිතන්න වෙනව. නිර්මාණයක් කියන්නෙ අපේ දරුවෙක් වගේ. ඉතින් එහෙම නිර්මාණයකට චෝදනා කරන එක සුදුසුයි කියල මම හිතන්නෙ නැහැ.
අලුතෙන් හඳුනගත්ත ඕඩියන්ස් එකට ගැළපෙන හොඳ නිර්මාණ කිරීමේ අදහසක් නැද්ද?
ඇත්තටම මේ වෙද්දිත් ඒවගේ නිර්මාණ කිහිපයක්ම කරල ඉවරයි. මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ මාව හඳුනන්නෙ නැති රසිකයන් අතරට මගේ නිර්මාණ ගෙනියන්න. ඉතින් ඒ වෙනස් රසඥතාවයකට හුරුවුණු රසිකයන් සඳහා මම මෙතෙක් ගායනා කරපු ගීතවලට තරමක් වෙනස් ගීත කිහිපයකම වැඩ මේ වෙනකොටත් අවසන් කරල තියෙන්නෙ. ඒ ගීත සඳහා ප්‍රවීණ සංගීතඥයන් පිරිසකුත් මාත් එක්ක සම්බන්ධ වුණා. ඉතාම ඉක්මනින් මගේ රසිකයන්ට ඒ නිර්මාණ රසඳවීමේ හැකියාව ලැබෙයි. මම හිතනව ඒ නිර්මාණ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල.
ඉන්දික වික්‍රමරත්න











