මේ දවස්වල සමාජ මාධ්‍ය අතිශය ජනප්‍රිය තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ. එනිසාම හැම කෙනකුම නොවුණත් බොහෝ පිරිසක් සිය පණිවුඩ මෙන්ම ආදරණීය ඉල්ලීම්ද සමාජ මාධ්‍ය හරහා යොමුකිරීමට කටයුතු කරන බවක් පෙනෙනවා. එහෙම යොමුකළ තවත් අපූරු ඉල්ලීමක් අපට හමුවුණා. ඒ ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා අන්තර්ජාලයට නිකුත් කළ වීඩියෝවකින් අපේ රටේ අපේ මිනිසුන්ට තේරෙන විදියට ඔහු හරි අපූරුවට තම පණිවුඩය සමාජගත කරලා තිබුණෙ මෙන්න මේ විදියට.
“මේ වෙලාවේ මුළු ලෝකෙම බය වෙලා ඉන්නෙ. ගණන්කාරයෝ බයවෙලා. ප්‍රොෆෙසර්ලා බයවෙලා. වෛද්‍යවරු බයවෙලා. හඳට ගිය තැන ඉඳන් හඳෙන් පහළට ආපු තැන ඉඳන් මිසයිල හදන අයගෙ ඉඳන් සියල්ල බයවෙලා. එහෙම එකේ අපේ අය හැංගෙනවා. පුදුම වැඩක්නෙ මේක. මුළු ලෝකෙම වෛද්‍යවරු විශේෂඥවරු ඔය ප්‍රොෆෙසර්ලා කියන අය ඔය හැමෝම බයවෙලා. එහෙම වෙලාවක අපේ අය සුළු පිරිසක් හැංගෙනවා. හැංගිමුත්තන් කළේ පොඩි කාලෙනෙ. ඒ කාලෙ හැංගිමුත්තන් කරපුවාම ආ මේ ඉන්නෙ කිව්වාම අහුවෙනවා. දැන් එහෙම අහුවෙන්නේ නෑ. එහෙම හැංගෙන්න ගියොත් මුළු ජීවිතේම නැහැ. අපේ විතරක් නෙවේ අපේ දරු මුණුපුරන්ගෙ ජීවිතත් ආරක්ෂා කරන්න ඕන කාලයක් මේක. මේක ගැස්සිලා ගියොත් මුළු මිනිස් සංහතියම නැති වෙනවා. හැංගුණාට කමක් නෑ. හොරකමක් කරලානම්. මේක හොරකමක් නෙවෙයි මළ ලෙඩක්නෙ. නිරෝධායනයට යන්න කියද්දි මොන මළදානයක්ද පිස්සු වැඩක්නෙ කියලා ගෙදර ඉන්න උන්දැට බනිනවා. මේකෙන් බේරෙන්න පක්ෂයක්වත් බලයක්වත්, බේතක්වත් නැහැ. ඉතින් මේ මහා විශාල කම්පනයෙන් අපිව බේරාගන්න ලැබෙත්වා. බේරෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ බුදු පුතුනේ, මහතුනේ කැස්සක්, හෙම්බිරිස්සාවක්, ඔළුවේ කැක්කුමක් හැදිලා නම් තමන්ගෙ දොස්තර මහත්තයා හමුවෙන්න. ඒ හමුවෙලා නිරෝධායනයට කැමැති වෙන්න. ගෙදර කෑම නැති වුණත් නිරෝධායනය කරන තැන කෑම ටික ලස්සනට හදලා තියෙනවා.
අනිත් කාරණය ඇඳිරි නීතිය ඉවත්වුණු සැණින්ම පිස්සො වගේ දුවන්න එපා. එතකොට පැටලෙනවා. මීටර් ගානක් ඈත තියාගෙන තමයි අපි යන්න ඕන. ඊළඟට කඬේට ගිය ගමන් කඬේ තියෙන බඩු සේරම ගන්න යන්න එපා ප්‍රවේශම් වෙන්න. එහෙම නැත්නම් මේ කොරෝනා රෝගය ප්‍රචලිත වීමට ඕවා හේතුවෙනවා. බඩගින්න තිබ්බ පළියට එකපොදියට කඩවලට බඩු ගන්න යන්න එපා. මේ ලෙඬේ හැදෙනවට වඩා එක දවසට එක වේලක් කෑවත් ඇති කියලා හිතන්න. මේ ලෙඬේ බඩගින්න වගේ නෙවෙයි. මේ ලෙඬේ හැදුණොත් ඒකෙන් ගැලවෙන දවස කියන්නත් බෑ. මොන වාසනාවකට ගැලවෙයිද නැද්ද කියලා කියන්නත් බැහැ. පෙර බවයේ වාසනාවේ හැටියට බේරුණොත් තමයි. නමුත් මේ රෝගය හැදෙන එක අවම කරගන්න පුළුවන්. ප්‍රවේශම් වෙන්න පුළුවන් නම් අනෙක් අහිංසක මිනිසුන්ට මේ රෝගය හැදෙන එක වළක්වා ගන්න පුළුවන්. නැත්නම් මුළු ලෝකයම ඉවරයි. ලෝකයම බයවෙලා ඉන්න මොහොතක අපි වගේ චූටි රටකට මේක ව්‍යාප්ත වුණොත් හිතාගන්න බැහැ. ලෝක සිතියම උඩින් දිමියෙක් ගියොත් වැහිල යන රටක් තමයි ලංකාව කියන්නේ. ඒ නිසා අපිට හැදුණොත් එහෙම සේරම බුහ් ගානකොට ඉවරයි. ඒ නිසා හැමෝම ප්‍රවේශම් වෙන්න. මේ රෝගය පාලනය කරන්න කටයුතු කරන සියලුම දෙනාට පිං.
කුමාර රත්නායක











