ඒ කොහොම වුණත් මේ වෙද්දි තිලකරත්න දිල්ශානුත් ඉන්නේ ඕස්ටේ්රලියාවේ. ඒ ලංකාවට එන්න විදියක් නැතිව. තමන්ගේ අවශ්‍යතාවයක් සඳහා ගිය ඔහුට මේ වෙද්දිත් ලංකාවට එන්න අවස්ථාව ලැබිලා නැහැ. මේ අතරේ ඕස්ටේ්රලියාවේ ඉන්න දිල්ශාන් එක්ක කතාබහ කරන්න “හරි ටී.වී.” යූ ටියුබ් නාළිකාව පසුගිය දවසක කටයුතු කරලා තිබුණා. ඉතාම රසවත් වගේම හරවත් වූ ඒ සංවාදය ඔබ වෙනුවෙන් මේ විදියට ගෙන එන්න අපි තීරණය කළා.
කොරෝනා වසංගතයත් එක්ක ඕස්ටේ්රලියාවේ තත්ත්වය මොන වගේද?
වැඩිපුර එළියේ පාර්ක්වල, රෙස්ට්ටුරන්ට්වල කාලය ගත කරන්න තමයි ඕස්ටේ්රලියානු ජනතාව සාමාන්‍යයෙන් හුරු වෙලා ඉන්නේ. ඒත් මේ වෙද්දී සියලුම වැඩ කටයුතු ගෙදර ඉඳන් කරන්න රජය නියම කරලා තියෙනවා. ඉතිං සමහරු ගෙදර ඉඳන් වැඩ කරනවා. සමහරු වැඩට යනවා. සුපිරි වෙළෙඳසැල් සහ ඖෂධහල් ඇරෙන්න අනෙක් සියලුම තැන් වහලයි තියෙන්නේ. ඊට අමතරව දැන් ඕස්ටේ්රලියාවට ටික ටික ශීත කාලය උදා වෙනවා. ලංකාවට එන්න විදියක් නැතිව මාත් මෙහෙට වෙලා ඉන්නවා.
එතකොට ඕස්ටේ්රලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය මොන වගේ කියලද දැන ගන්න ලැබෙන්නේ?
එක්කෙනෙක් දෙන්නෙක් හැර ඕස්ටේ්රලියාවේ ඉන්න අනෙක් සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බව තමයි දැන ගන්නට ලැබෙන්නේ. ඔවුන් සියලු දෙනාම නිවෙස්වලට වෙලා ඉන්නවා. ඒත් උසස් අධ්‍යාපනය සඳහා පැමිණි බොහෝ දෙනෙක් මේ වෙද්දි අසරණ වෙලා ඉන්නවා. ඒ රැකියා නොමැතිකමින්. මම ඒ අය ගැන ශ්‍රී ලංකාවේ තානාපතිතුමා එක්කත් සාකච්ඡා කළා. රජයත් එක්කත් කතා කරලා ඔවුනට ලබා දෙන්න පුළුවන් උපරිම සහනය ලබා දෙන බව තමයි තානාපතිවරයා සඳහන් කළේ.
ඔබ ඕස්ටේ්රලියාවේ හිටියත් ශ්‍රී ලංකාව තුළ බොහෝ වැඩකටයුතු කරන බව දැනගන්නට ලැබුණා. විශේෂයෙන් අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන වැඩ. ඒ ගැන පොඞ්ඩක් කතා කළොත්.
මේ වෙද්දි ඉතාම හොඳින් ඒ වැඩකටයුතු සිද්ධ වෙනවා. ඒක මීට අවුරුදු දහයකට දොළහකට කලින් ඉඳන් කෙරුව දෙයක්. මම ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කාලේ ඉඳන්ම මගේ මාමට තමයි ඒ වැඩකටයුත්ත බාර දීල තිබුණේ. ඉතිං මම ලංකාවේ නැතත් ඒ වැඩකටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා. ඒ හරහා අසරණ වුණු ගොඩදෙනෙකුට පිහිට වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා.
කොරෝනා පැමිණීමත් එක්ක ලෝකයේම මිනිසුන්ගේ ආහාර රටාව සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. ක්ෂණික ආහාර සමාජයෙන් තුරන් කිරීම ගැන කතා වෙනවා. හැබැයි සමාජයට අහිතකර ක්ෂණික ආහාර සමාජගත කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් ලොකු චෝදනාවක් එල්ල වෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
ඇත්තටම මට කියන්න සංතෝෂයි මගේ අවුරුදු 17ක් 20ක් විතර වෙන ක්‍රිකට් ජීවිත කාලය පුරාම මම දරුවන්ට හානිකර කිසිම ආහාර ද්‍රව්‍යයක වෙළෙඳ දැන්වීමක් සඳහා පෙනී ඉඳලා නැහැ. ඕන කෙනකුට ඒක හොයලා බලන්න පුළුවන්. එවැනි දැන්වීම සඳහා ආව ඉල්ලීම් සියල්ල මම ප්‍රතික්ෂේප කළා. ඒත් මං හිතන්නේ මේ චෝදනාව ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් එල්ල කරන එක සාධාරණ නැහැ. අනෙක් ක්‍රීඩාවල නිරත වෙන්නන්, කලාකරුවන් පවා එවැනි දැන්වීම්වල පෙනී ඉඳලා තියෙනවා. මම හිතන්නේ අලුත් පරපුර හරි මේකෙන් ආදර්ශයක් ගන්නවා නම් හොඳයි. සමාජයට යහපත් දේ විතරක් කරන්න. ඒත් මං හිතන්නේ මේකට කාටවත් දොස් කියන්න බැහැ. හැබැයි ඒ චෝදනාවෙන් මම නිදහස් කියන එකනම් බොහොම පැහැදිලිව කියනවා.
මීළඟ අයි.පී.එල්. තරගාවලිය ඉන්දියාවේ පවත්වන්න බැරි වුණොත් එය ලංකාවේ පැවැත්වීම පිළිබඳ කතාබහක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොන වගේද?
මං හිතන්නේ අපි ඒකට ඉක්මන් විය යුතු නැහැ. ඉන්දියාවේ මේ වසංගතය ටිකක් දරුණු විදියට පැතිරෙනවා. මේ තරගාවලිය පැවැත්වුවොත් අඩුම ගානේ තුන් හාරසියයක පිරිසක්වත් අපේ රටට එනවා. අපේ රජය රට තුළ කොරෝනා වසංගතය ඉතාම හොඳින් මැඩපවත්වන බව දකින්න තියෙනවා. නමුත් අයි.පී.එල්. වගේ තරගාවලියක් හරහා ඒ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන නොසිතා එවැනි තරගාවලියක් පැවැත්වීම මේ මොහොතේ සිදු නොකළ යුත්තක් කියලයි මම පෞද්ගලිකව හිතන්නේ.
මීළඟ මැතිවරණයේදී ඔබේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව සඳහා ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟ මැතිවරණය ගැන ඔබ මොකද හිතන්නේ?
මං හිතන්නේ මේක අපි මැතිවරණ ගැන හිතන්න ඕනෑ වෙලාවක් නෙවෙයි. අපේ ජනතාව කොහොමද මේ කොරෝනා වසංගතයෙන් ගලවා ගන්නේ කියන එකයි අපි හිතන්නේ ඕනෑ. ඒ සියල්ල ඉවර වෙලා නිදහස් මනසකින් යුතුව තමයි අපි මැතිවරණය ගැන හිතන්න ඕනෑ. මං හිතනවා ජනාධිපතිතුමා ඒ තීරණය හරි වෙලාවට ගනියි කියලා. එතුමා මේ වසංගතය මැඩපවත්වන්න ගෙන යන උත්සාහය ලෝකයේම ඇගයීමට පත් වෙලා තියෙනවා. එතුමා ඒ තීරණයත් හරි වෙලාවට ගනියි කියලා මම හිතනවා.
මේ වෙලාවේ ඔබ වගේම ලංකාවේ හිටපු බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් සමාජය වෙනුවෙන් තම යුතුකම් ඉටු කරනවා. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට ඒ ගැන මොකද හිතන්නේ.?
මං හිතන්නේ මේක අපෙන් වෙන්න ඕනෑ යුතුකමක්. මොකද අපි වෙනුවෙන් ඒ අය ගෙදර ඉඳන් අත්පුඩියක් හරි ගහලා ඇති. ගෙදර කන්න නැතත් ක්‍රිකට් තරග බලන මිනිස්සු ගැන අපි දන්නවා. ඒ ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපි කළ යුතුයි. මේ වසංගතයත් එක්ක ගොඩක් ක්‍රීඩකයෝ ඇවිල්ලා වැඩ කරන හැටි මං දැක්කා. ඒ වගේම මින් ඉදිරියටත් රටේ එන ඕනෑම ප්‍රශ්නයකදී ඒ අය ඉදිරියට ඇවිත් වැඩ කරයි කියලා මං හිතනවා. ඒ වගේම මේ වැඩ සාර්ථකව කර ගෙන යන්න මං ඒ අයට සුබ පතනවා.
මුළු ලෝකයේම ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට ඔබ මේ මොහොතේ දෙන පණිවුඩය මොකක්ද?
මේ වසංගතය තවමත් ඉවර වෙලා නැහැ. තමන් ඉන්න රටෙන් දෙන උපදෙස් පුළුවන් තරම් පිළිපදින්න. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. අපි දන්නවා අඩුපාඩු තියෙනවා. අපි නිතරම එළියට යන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒත් මේ වෙලාවේ මේ කැපවීම කරන්න. ඊට පස්සේ අපිට සංතෝෂයෙන් ඉන්න පුළුවන්. තම තමන් අදහන ආගමකින් පිහිටක් ලැබිලා සියලුම ශ්‍රී ලාංකිකයන්ට වගේම ලෝකයේ සියලුම ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාලයක් ඉක්මනටම උදාවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
චන්දන පොන්නම්පෙරුම











