පෞද්ගලික නාළිකාවකින් සංවිධානය කළ රූ රැජින තරගාවලියකින් කලාවට මුල් පියවර තැබූ විනූ සිරිවර්ධන “පිපෙන මල්” ටෙලිනාට්‍ය තුළින් ඇරැඹූ ගමනට මේ වන විට වසර හතක් ගතවී අවසන්ය. ගෙවී ගිය වසර හත තුළ ඈ පියවරෙන් පියවර ප්‍රේක්ෂක හදවත් ආකර්ෂණය කරගනිමින් අද පුංචි තිරයට නැතිවම බැරි නිළියක් වී හමාරය.
විනූගෙ ළමා කාලය මතක් කළොත්?
මං පෙරපාසල් ගියේ අනුලා ළදරු පාසලට. ඒ කාලේ මගේ අම්මත් එහි ගුරුවරියක් විදියට කටයුතු කළා. ඉන්පස්සෙ මගේ පාසල වුණෙත් නුගේගොඩ අනුලා විද්‍යාලයමයි. ඒ වගේම පාසලේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ කියන අංශ දෙකේම ශිෂ්‍ය නායිකාවක් විදියට වැඩ කරලා තියෙනවා. ඒ කාලේ මං තමයි පෙරදිග තූර්යවාදන කණ්ඩායමේ නායිකාව වුණෙත්. ඉතින් බාහිර කටයුතු ගොඩකට සම්බන්ධ වෙලා සතුටින් පාසල් ජීවිතය ගතකළා. ඒ වගේම ඉගෙනගත්තා.
පවුලෙ තොරතුරු මතක් කරමු?
රජයේ රැකියාවක් කළ තාත්තටයි, ගුරුවරියක් වෙච්ච අම්මටයි දරුවො තුන්දෙනයි. ඒ මමයි, අයියයි, නංගියි. අපි පස්දෙනා හරිම සතුටින්, සමඟියෙන් තමයි ජීවත් වුණේ.
කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
2012 වසරේදී එක්තරා රූ රැජන තරගයකින් මම ජයග්‍රහණය කරනවා. එදා ඒ කිරුළ දිනාගැනීමත් සමඟ තමයි මට රංගනයට දොරගුළු විවර වෙන්නේ. හැබැයි තවත් විශේෂ දෙයක් ඒ කාලේ සිද්ධ වුණා. මම ඒ තරගයේ ඉන්න කාලෙත් මට ආරාධනා ලැබුණා. රඟපෑමට යොමුවෙන්න කියලා. ඒත් මම තරගය සඳහා කැපවෙලා සිටි නිසා එය අවසන් වෙනකම් ඒ ආරාධනා පිළිගත්තෙ නැහැ.
විනූගෙ ටෙලිනාට්‍ය ජීවිතය?
දෙරණ නාළිකාවේ විකාශය වුණු “පිපෙන මල්” තමයි මගේ පළමු ටෙලිනාට්‍යය. එතැනින් පස්සෙ මං වසර හතක් පුරාවට ටෙලිනාට්‍යවලට දායක වෙනවා. ඒ අතරින් මාව ගොඩාක් ජනප්‍රිය වුණේ “තරුමලී’‘ ටෙලිනාට්‍යයෙන්. හැබැයි මම ගොඩාක් කැමැති “ශ්‍රී රජ” නාට්‍යයේ සීගිරි අප්සරාවකගේ චරිතයටයි. ඒ කියන්නේ කාශ්‍යප රජ්ජුරුවන්ගේ බිසවගේ චරිතයට.
විවේකයක් ලැබුණම කරන දේ?
ඒ වෙලාවට මගේ හොඳම විනෝදාංශය තමයි චිත්‍රපටයක් නරඹන එක. ඒ සඳහා කාලය වෙන්කරගෙන සිනමා ශාලාවකට යන එක තමයි ඉතින් මං කරන්නේ. එහෙම නැත්නම් ඉතින් විවේක කාලය පවුලෙ අයත් එක්ක විනෝදෙන් ගතකරනවා.
ජීවිතේ ගොඩාක්ම සතුටට පත්වූ දවස?
ඒ දවස උදාවූයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. ඒ තමයි මට විශේෂ සම්මානයක් ලැබුණු දවස. එය මට ලෝකයෙන්ම ලැබුණු සම්මානයටක් කිව්වත් වරදක් නැහැ. භැකිදබ ඵ්බාැක් ඡැ්ජැ ්අ්රාි 2019 කියලා හඳුන්වන ඒ සම්මාන උළෙල තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. එහිදී මටත් සම්මානයක් ලැබුණා. ඇත්තටම එය මට ලොකු සතුටක්.
සැබෑ කරගන්න බැරි වෙච්ච හීනය?
විලාසිතා පැත්තෙන් අලුත් දෙයක් කරන්න මගේ ලොකු ආශාවක් තියෙනවා. ඒක මගේම නිර්මාණයක් අලුත් දෙයක් විදියට කරන්නයි මං උත්සාහ කරන්නේ.
විනූ දකින්න ලැබෙන නිර්මාණ?
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “සුසුමක ඉම” සහ “සුද්දෙ” කියන නාට්‍යවල මාව දකින්න පුළුවන්. ඊට අමතරව නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශනය වෙන්නත් තියෙනවා. තව අලුත් නිර්මාණ කිහිපයකට ආරාධනාත් ලැබිලා තියෙනවා.
විනූ කියන්නේ කවුද?
මම ගොඩාක් සංවේදී කෙනෙක්. ඒ කියන්නේ ඕනෑවටත් වඩා උපරිම සංවේදී කෙනෙක් කිව්වත් වරදක් නැහැ. ඒ වගේම මම කෙළින් කතා කරන්න කැමැති අවංක කෙනෙක්. කාගේ හරි හොඳක් දැක්කොත් මම ඒක ඒ වෙලාවෙම කියනවා. ඇත්තම කිව්වොත් විනූ කියන්නේ සතුටින් හිනාවෙලා ඉන්න කැමැති කෙනෙක්.
ටෙලිනාට්‍ය කලාව දකින විදිහ?
අද බොහෝ පිරිසක් ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඈත්වෙලා කියලා පේනවා. ඒ වගේම සමහර දේවල් අලුත් නොවීමත් එයට හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ දේවලුත් වෙනවා. ඒ අතර අලුත් අධ්‍යක්‍ෂවරු බිහිවෙනවා. හොඳ ටෙලිනාට්‍ය හැදෙනවා. හැබැයි හැම දේම මුදල් මත තීරණය වීම මත සියල්ල වෙනස් වෙමින් තිබෙනවා.
ලංකාවේ කලාකාරිනියක වීම ගැන හිතෙන දේ?
ලංකාවේ පුරවැසියෙක් වීම ගැන සතුටුයි. ඒත් කලාවට රජයකින් ලැබිය යුතු දේ ලැබෙන්නේ නැද්ද කියලා හිතද්දී දුකයි. විශේෂයෙන්ම කලාකරුවා කියන්නේ තමන්ගේ මහන්සියෙන් යමක් කරගතයුතු කෙනෙක් බවට පත්වෙලා.
සම්මාන ගැන විනූගෙ අදහස?
සම්මාන ගැන බලාපොරොත්තුවක් නැහැ. පසුගිය කාලේ ජනප්‍රිය සම්මාන ගැන විවිධ කතා අහන්න ලැබුණා. සම්මානයක් ගන්නවා නම් ප්‍රේක්‍ෂක හදවතින්ම ලැබෙන සම්මානයක් තමයි වටින්නේ. එහෙම නැතිව ගන්න සම්මානයකින් කිසි වැඩක් නැහැ.
කුමාර රත්නායක