රන්ජන් රාමනායක කියන්නේ මෑත කාලයේදී වැඩියෙන්ම
කතාබහට ලක් වුණු චරිතයක්. නළුවෙක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම ගිය රන්ජන් මේ වෙද්දී වැඩි දෙනා හඳුනන්නේ දේශපාලනඥයෙක් විදියට. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීත් සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවැනියා විදියට මනාප ඡන්ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් හිමි කර ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන්න රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට හැකියාව ලැබුණා. දශක ගණනාවක් පුරා රංගන ශිල්පියෙක් විදියට රන්ජන්ට ආදරය කෙරුව බොහෝ රසික රසිකාවියන් පිරිසක් හිටියා. හැබැයි තමන්ගේ ආදරණීය කලාකරුවා දේශපාලනයට යොමු වීමත් එක්ක ඔවුන්ගෙන් එක්තරා චෝදනාවක් එල්ල වන විදියත් අපිට දකින්න ලැබුණා. රන්ජන් දැන් රඟපෑමට වෙලාව වෙන් කරන්නේ නැද්ද කියන එක තමයි ඒ චෝදනාව. මේ ගැන දැන ගන්න අපි රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට කතා කළා. මැතිවරණ උණුසුමෙන් මුළු රටම ගිනියම් වෙලා තියෙන මොහොතක අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්ක දේශපාලනය අමතක කරලා කලාව ගැන කතා කළා.
මන්ත්‍රීතුමා අපි දේශපාලනය ගැන නෙවෙයි කලාව ගැන කතා කරමු. කොහොමද මේ දවස්වල කලා කටයුතු?
කොරෝනා වසංගතයත් එක්ක කරන්න හිටපු වැඩ ඔක්කොම නැවතුණානේ. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එක වගේ බලපෑවා.
ඒ කියන්නේ ඉදිරියේදී රන්ජන්ව අපිට කලා නිර්මාණයකින් දැක ගන්න ලැබෙන්නේ නැහැ කියන එකද?
නැහැ. නැහැ. මම රඟපෑව සුරංග අල්විස් අධ්‍යක්ෂණය කළ ඔයැ ඨ්පැ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒකත් කොරෝනා හින්දා තමයි පහුවෙලා තියෙන්නේ.
කවදා වගේද ඒ නිර්මාණය රසිකයන්ට දැක ගන්න ලැබෙන්නේ?
මේ දවස්වල හැමෝම තමන්ගේ නිර්මාණ එළිදක්වන්න ටිකක් බයවෙලා ඉන්නේ. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා නිෂ්පාදනය කළ “ද නිවුස්පේපර්” විතරයි තවමත් ප්‍රචාරය වෙන්නේ. ඒ හින්දා ඒ චිත්‍රපටය සිනමා ශාලාවලට එන්න තව ටික දවසක් ගත වේවි කියලයි මට හිතෙන්නේ.
ඊට අමතරව ඔබ සම්බන්ධ වුණු වෙනත් නිර්මාණ මොනවද?
දැනටනම් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කෙරුව චිත්‍රපටයකට තියෙන්නේ ඒක විතරයි. ඒත් කරන්න හිටිය වැඩ ගොඩක් නැවතුණා. ඒ වගේම තව වැඩ කිහිපයක් බාර අරගෙනත් තියෙනවා. ඉදිරියේදී ඒවත් එක්ක සම්බන්ධ වෙනවා.
දේශපාලනඥයෙක් විදියට කාර්යබහුල වුණාට පස්සේ රන්ජන් රඟපෑමෙන් ඈත් වෙලා කියලා රසිකයන්ගේ චෝදනාවක් තියෙනවා?
නැහැ. නැහැ. එහෙම දෙයක් නැහැ. මේ දවස්වල රටේ ඇති වුණු තත්ත්වය හින්දයි කලා නිර්මාණ සඳහා සම්බන්ධ වෙන එක අඩුවෙලා තියෙන්නේ.
නමුත් දේශපාලනඥයෙක් කියන්නේ බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ අතරේ රඟපාන්න වෙලාව වෙන් කර ගන්න පුළුවන්ද?
අපෝ පුළුවන්. මම බොහොම නිදහස් මනුස්ස-යෙක්නේ. මොකද මට බැඳීම් නැහැ. යුතුකම් ඉටු කරන්න පවුලක් නැහැ. ඒ හින්දා කලාව වෙනුවෙන් වෙලාව වෙන් කර ගන්න එක මට අමාරු දෙයක් නෙවෙයි.
රන්ජන් රාමනායක තවමත් කලා නිර්මාණ සඳහා ලැබෙන ආරාධනා ප්‍රත්ක්ෂේප කරන්නේ නැහැ කියන එකද ඒකෙන් කියන්නේ?
පැහැදිලිවම ඔව්. මට ලැබෙන ආරාධනා මම කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.
චන්දන පොන්නම්පෙරුම











