තම විවාහ සංවත්සරය ඉතාම සුන්දරව ගත කළ ඉන්දීය සුපිරි තාරකාවක වූ අනුෂ්කා ෂර්මාගේ අලුත්ම තොරතුරු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පැතිර ගියේ මෙයට සති ගණනාවකට පෙරය. 2019 සීතල උඳුවප් මාසයේ උදාවත් සමඟ ප්‍රියංකා චොප්රාද තම විවාහ සංවත්සරයේ ආනන්දනීය වූ ප්‍රීති ප්‍රමෝදය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ බෙදා හදා ගත්තාය. විවිධාකාර වූ සුපිරි නඵවන් සමඟ සම්බන්ධතාවන් ඇති කරගත් සරාගී ගිනි සිඵවක වූ ලස්සන ප්‍රියංකා විවාහයත් සමඟ සම්පූර්ණයෙන් වෙනස් වූයේ නික් ජොනාස්ගේ අසීමිත වූ ප්‍රේමණීය ස්වාමිත්වය හරහා වන්නට ඇත.
දීපාවලිය ද හරිම සංවේදී පින්තූර රාමු පෙළක් සමඟ සිය ට්විටර් යහ`ඵවන් සමඟ බෙදා හදාගත් ප්‍රියංකා පළමු විවාහ සංවත්සරය සඳහාද අලංකෘත වූ පින්තූර සමූහයක් එළි දැක්වීය.
එහි එක් පින්තූරයක වූයේ, ප්‍රියංකා නික් සමඟ අලුත උපන් දරුවකුට සමීපව සිටින දසුනකි. දින ගණනක පෙනුමක් ඇති කුඩා බිලිඳාව නික් සිය දෑතෙහි හොවා සිටි අතර ප්‍රියංකා නික්ට ඉතා සමීපව හැඟීම්බර දෑසින් බලා සිටින සෙයක් එහි දැක්විණි.
“මගේ සහ මට ආදරණීයව සිටින ඔහුගේ බලාපොරොත්තුව මෙයයි.” යන්න ප්‍රියංකා එහි සටහන් කොට තිබිණි.
ප්‍රියංකාගේ ට්විටර් මිතුරු පිරිස මෙයින් දැඩි උද්දාමයට පත් වූයේ නොසිතූ ලෙසය. එයට හේතුව වූයේ, ප්‍රියංකා බොහෝ මාධ්‍යයන්වල
“දරුවකු ගැන සිතන්නට තමාට සහ නික්ට තව වසර 4ක හෝ 5ක විවේක කාලයක් ඕනෑ.” යැයි පවසා තිබූ නිසාය.
ට්විටර්හි පළමු ඉහත කී ඉතා හැඟීම්බර සේයාරුව වෙනුවෙන් දස දහස් ගණනක කමෙන්ට්ස් සටහන්ව තිබිණි.
“දඟකාරියක වූ ඔබ මවක වීමේ මෙහෙවරට දායකවීම ගැන අප දැඩිව හැඟීම්බර වූයෙමු.”
“ඔබේ ලස්සන සිනහව හිමි දුවක බිහිකරන්නට වාසනාව ලැබේවා.”
“ලස්සන ප්‍රියංකා ඔබ වැනිම දඟකාර දුවක් ඔබට හිමිවේවා.”
එවන් වූ විවිධාකාර අදහස් ඒ කමෙන්ට්ස් අතර විය.
ප්‍රියංකාගේ ජංගම දුරකතනය නිස්කාංසුවක් නැතිව දිගින් දිගට නාද වන්නට ගත්තේද ඔය අතරමය. බොහෝ විට කවුරුත් සිතුවේ ප්‍රියංකා ගැබ්ගෙන හෝ ගැබ් ගැනීමට ආසන්නව සිටින බවකි. ප්‍රියංකා තම සේයාරුවට ලැබුණු ප්‍රතිචාරයන් හමුවේ යම් දෙගිඩියාවකට පත්වුණා දැයි යන්න දන්නේ නැත.
නමුත්, “යම් අවස්ථාවක මාපියන් වීමේ ප්‍රීතිය සහ බලාපොරොත්තුව මා සහ නික් තුළ නොතිබේ යැයි කීම මුසාවකි. එහෙත් මේ ඒ සඳහා වෙලාව නොවන බව මෙහිදී පවසමි”යනුවෙන් ඈ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තැබුවේ යම් චකිතයක් දැනුණු නිසා වන්නට බැරි නැත.
ප්‍රියංකා චොප්රාට දැන් වයස අවුරුදු 37කි. ඉතින් මවක වීමේ ආසාව ඉටුකර ගැනීමට තවම අවස්ථාව පැමිණ නැතැයි ඈ පැවැසීම අසාමාන්‍ය කතාවකි. එලෙසම ප්‍රියංකා චොප්රා කියන්නේ බොහෝ විට පාට පාට හීන තුළ ජීවත්වන බොළඳ ගැහැනියකි. ඈ පවසන සමහර දේ තුළ සහ මුදා හරින සමහර රූප රාමු තුළද ඇත්තේ හරසුන් දේය.
සමහර විටෙක දරුවකු අරන් හදා ගැනීමේ හෝ ටියුබ් බේබි සංකල්පය තුළ ඈ යම් හීනයක් දකිනවා වෙන්නට බැරි නැත.
කෙසේ වුවද සොඳුරු පින්තූර පෙළකින් සහ අපූරු කමෙන්ට්ස් තුළ ගෙවී යමින් තිබූ ප්‍රියංකාගේ සංවත්සර සතුට හමුවේ තවත් අපූරු යමක් සිදුවිය.
ඒ…, “නික් ජොනාස්ව” ඈ විසින් අපූරු අහඹුවකට පත් කිරීමය. අහඹුව සඳහා ප්‍රියංකා භාවිතයට ගෙන තිබුණේ සුපිරි පන්නයේ හරිම අපූරු ජර්මන් ෂෙපර්ඞ් බලු සුරතලෙකි.
ප්‍රියංකාගේ කම්මුල් රත් පැහැ යන තරමේ හාදුවක් දෙමින් ඇයට සුබ පතන්නට හිමිදිරියේම එලාමය සටහන් කොට තැබූ නික්ගේ දෑසට හසුවූයේ තමා අසල උණුසුමට ගුළි වී සිටින ලස්සන පැහැයකින් සමන්විත ‘ජර්මන් ෂෙපර්ඞ්”සුරතලාය.
එක තත්පරයක් හෝ පමා නොවූ නික් “සුනඛ සුරතලා සිටින සේයාරුව” තම ට්විටර් ගිණුමට මුදා හැරියේය. එයට පහළින් මෙවැනි සටහනක්ද විය.
“මගේ බිරිඳ ඉන්දියානු හින්දු කතකි. ඈ පුදුමාකාරය, පළමුව දෙවියන්ටත්, දෙවනුව ප්‍රියංකාටත් මාව ඇගේ සැමියා වෙනුවෙන් තෝරාගැනීම ගැන මම නිතරම ස්තුතිවන්ත වෙමි.”
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











